ආර්ථිකයේ දසක හතරක්!

ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දී වසර හතළිහක් ගෙවී ඇත. මෙලෙස ගෙවී ගිය දසක හතර තුළ රට ආර්ථික වශයෙන් ලබා ඇති ප්‍රගතිය හෝ අගතිය හෝ විමසා බැලීමට සුදුසු අවකාශයක් දැන් උදා වී තිබේ. මේ විමර්ශනයට පෙර 1970 – 1976 කාලය ගැන ද සුළුවෙන් හෝ සලකා බැලිය යුතුය. එම කාලය හැඳින්වෙන්නේ රාජ්‍ය ඒකාධිකාරය සහිත ආවෘත ආර්ථික යුගයක් හැටියට ය. ආර්ථික ගැටලුවලට විසැඳුම ආයතන හා ව්‍යාපාර ජනසතු කිරීම යැයි එදා පිළිගැනිණි. මෙහි ප්‍රතිඵලය ලෙස අපට දකින්න ලැබුණේ රාජ්‍ය - ආයතනවල අකාර්යක්ෂමතාව, විරැකියාවේ වර්ධනය හා ජීවන වියදමේ ශීඝ්‍ර වර්ධනයයි. ඒ හැරෙන්නට ආහාර සඳහා දිග පෝලිම් ද දක්නට ලැබිණි.

ජේ. ආර් . ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය 1977 ජුලි 21 දා බලයට පත්වන්නේ පැවැති ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හා වැඩසටහන් විවේචනයට ලක් කරමින් ය. මේ අනුව නව රජය බලයට පත් වී මාස පහක් ඉක්ම ගිය තැන ආර්ථිකය හා මූල්‍ය හැසිරීම් පිළිබඳ නව මානයක් හඳුන්වා දෙන ලදී. එහි එක් ඉලක්කයක් වූයේ රාජ්‍ය අංශයට සමගාමී ලෙස පෞද්ගලික අංශය දියුණු කිරීම ය. තව ඉලක්කයක් වූයේ කාර්මික හා සේවා අංශය පුළුල් කිරීම ය. සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය හා හොංකොං රාජ්‍යයන් අනුගමනය කළ ආර්ථික හා මූල්‍ය උපාය මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාව ද දියුණු කළ යුතු යැයි ජේ. ආර්. ජයවර්ධන මහතා කියා සිටියේ ය.

1980 ගණන් වන විට අපේ ආර්ථිකයේ විශාල ප්‍රබෝධයක් දකින්නට ලැබිණි. භාණ්ඩ සුලබ විය. විරැකියාව පහළ අගයක් කරා යමින් තිබිණි. පහළ මධ්‍යම පන්තිය අතර පමණක් නොව; දුප්පත් ජන කොටස් අතර ද මුදල් ගැවසෙන්නට පටන් ගත්තේ ය. පරිමාවෙන් විශාල ව්‍යාපාර හා ආයතන බිහිවන්නට විය. අන්ර්ජාතික ගනුදෙනු බහුල විය. මුදල් හිමි තවත් අලුත් ව්‍යාපාරික පන්තියක් බිහිවූ අතර ඔවුන් කේන්ද්‍රකොට විශාල පිරිසකට රැකියා අවස්ථා උදා විය. සංචාරක ව්‍යාපාරය ද, හෝටල් කර්මාන්තයද ශීඝ්‍ර ලෙස දියුණු වන්නට පටන් ගත්තේ ය. ජනතාව අතර මුදල් හම්බකිරීමේ වුවමනාව ද, දියුණුවීමේ අපේක්ෂාවද වර්ධනය විය. මෙහි සමස්ත ආර්ථික ප්‍රතිඵලය ලෙස ගත හැක්කේ පෞද්ගලික අංශයේ වර්ධනය යි .

විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය අංශය ක්‍රියාත්මක කළ ප්‍රධාන වැඩසටහන් දෙකක් තිබිණි. එක කඩිනම් මහවැලි සංවර්ධන ‍යෝජනා ක්‍රමය යි. මෙය විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක් හැටියට ගත හැක්කේ; තත්කාලීන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පැහැදීම නිසා මහා බ්‍රිතාන්‍යය ඇතුළු දියුණු රටවල් කිහිපයක් මහවැලියට මූල්‍යාධාර ලබා දුන් නිසා ය . ආධාර හා ණය යන දෙකම මේ සඳහා ලැබී ඇත. දෙක; නව කාර්මිකකරණ ප්‍රතිපත්තියක් රටට හඳුන්වා දීම හා එය ක්‍රියාත්මක කිරීම ය. කටුනායක නිදහස් වෙළෙඳ කලාපය හා බියගම ආයෝජන කලාපය විවෘත ආර්ථික‍යේ ප්‍රතිඵල වේ. මේවායින් තරුණ පරපුර සඳහා විශාල වශයෙන් රැකියා සම්පාදනය නොවූයේ නම්; තවත් තරුණ කැරැලි කිහිපයක් ඇතිවීමට ඉඩ තිබිණි.

ජේ. ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික පිළිවෙත හඳුන්වා දුන්නේ ලෝක ආර්ථික ප්‍රවණතා හා එහි අනාගත ප්‍රතිඵල ගැන හොඳින් විමසා බලා යැයි සිතන්නට පුළුවන. ඉන්දියාව සිය ආර්ථිකය විවෘත කිරීමට පෙර ශ්‍රී ලංකාව විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ ය. මේ පිළිබඳ විවේචන පවතින්නේ වුව ආර්ථික විශේෂඥයන්ගේ මතය වන්නේ ජේ. ආර්. මහතා කල් - යල් බලා නිසි අවස්ථාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ බවය. ඒ අනුව අපට වාසිදායක තත්ත්වයක් උදාවූ බව ද ඔව්හු පෙන්වා දෙති. ජයවර්ධන මහතාගේ ආදර්ශවත් මොඩලය වූයේ සිංගප්පූරුවයි. සිංගප්පූරුව නාගරික ජන සමූහයක් සහිත කුඩා රටක් වුව ඉන්දියන් සාගරය කේන්ද්‍ර කොට දියුණුවීමේ අවස්ථාව තිබිණි. ශ්‍රී ලංකාවට එම වාසිය ඊටත් වඩා හොඳින් පවතී.

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ නායකයන්ගේ විශ්වාසය වූයේ කෘෂිකර්මයෙන් හා සාම්ප්‍රදායික අපනයන තුනෙන් අපට දියුණු විය හැකි බව ය. යටත් විජිතවාදයට හසු වූ බොහෝ රටවල නායකයන් එසේ කල්පනා කළ බව රහසක් නොවේ. එහෙත් කාර්මික විප්ලව කිහිපයකින් පසු කෘෂිකර්මයෙන් දියුණුවීම අවලංගු අදහසක් බවට පත් විය. අන්තර්ජාතික වෙළෙඳාම, මූල්‍ය ගනුදෙනු, සේවා සැපයුම්, කලාපීය ආර්ථික හා මූල්‍ය මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කිරීම, සාගර ආර්ථිකය, සංචාරක කර්මාන්තය හා කාර්මික භාණ්ඩ අපනයනය දියුණු‍වේ රහස් ලෙස ප්‍රචලිත වන්නට විය. 1977 වන ‍තෙක් ම ශ්‍රී ලංකාව විදේශ වෙළෙඳ පොළ සඳහා ඉදිරිපත් කර තිබුණේ ඉතා සුළු භාණ්ඩ ප්‍රමාණයකි. එහි එකතුව ගත් විට භාණ්ඩ විසිපහකට අඩු ය . එහෙත් 1980 ගණන් වන විට විදේශ වෙළෙඳ පොළ සඳහා භාණ්ඩ එක්දහස් ගණනක් නිකුත් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

මේ වනවිට ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ ලෝක ‍ආර්ථික ප්‍රවණතාවලට ගැළපෙන අයුරින් ශීඝ්‍ර ආර්ථික දියුණුවක් ලබන රාජ්‍යයක් හැටියට ය. ලෝක ආර්ථික සමුළු කිහිපයක දී ශ්‍රී ලංකාවට හා වියට්නාමයට පැසසුම් ලැබී ඇත. දකුණු ආසියා කලාපයේ ආයෝජනයට සුදුසුම රාජ්‍යය ලෙස ද ශ්‍රී ලංකාව සඳහන් වී ඇත. සංචාරක කටයුතු සඳහා ද අපේ රට ප්‍රසිද්ධ වෙමින් පවතී. කලාපීය ආර්ථික සහයෝගය හා ගෝලීය ආර්ථික සහයෝගය සහිත රාජ්‍යයක් ලෙස ද ශ්‍රී ලංකාව හැඳින්විය හැකිය. මෙබඳු වාසිසහගත පසුබිමක් ගොඩනැඟීමට හේතුසාධක වූ ප්‍රධාන ගතිකයක් ලෙස විවෘත ආර්ථිකය හැඳින්විය හැකිය. විවෘත ආර්ථිකය නොවන්නට ශ්‍රී ලංකාව ‍ගෝලීය අවකාශය තුළ කීර්ති නාමයක් දිනා ගන්නේ නැත.

විවෘත ආර්ථිකය ක්‍රියාත්මක කිරීමේ දී විවිධ අඩු පාඩු සිදුවන්නට ඇත. එක අතෙකින් මේ ක්‍රමය අපට ආගන්තුක ය. තව අතෙකින් ඊට එරෙහි දේශපාලන හා මහජන ව්‍යාපාර ද පැවැතිණි. ඒවා සිදුවන්නට ඇත්තේ අනවබෝධය හා දේශපාලන අභිලාස නිසා යැයි කියන්නට පුළුවන. විවෘත ආර්ථිකය යටතේ නව කර්මාන්ත සාර්ථක වූ අතර සාම්ප්‍රදායික කර්මාන්ත ගණනාවක් බිඳ වැටිණි. හේතුව ඒවා තරඟකාරී ලෙස පවත්වාගෙන යෑමට අසමත් වීමය. එහෙත් එය විවෘත ආර්ථිකයේ වරදක් ලෙස හුවා දැක්වීම වැරැදිය. මෙබඳු දුර්වලතා මතුවූයේ කළමනාකාරිත්වයේ අඩුපාඩු නිසා යැයි කියන්නට පුළුවන. සංස්කෘතියේ පිරිහීම, සාරධර්ම කඩා වැටීම වැනි චෝදනා ද විවෘත ආර්ථිකයේ ගිණුමට බැර කර තිබේ. ඒවා පිළිබඳ ශාස්ත්‍රීය සංවාදයක් සිදු වී නැත. කුමක් වුව නූතන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රබෝධය මුළුමනින්ම රැඳී ඇත්තේ ආර්ථිකයේ විවෘතභාවය මත ය. එය නොවෙනස් සාධකයකි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...