රට කරන්නෙ වෘත්තීය සමිති ද? | දිනමිණ

රට කරන්නෙ වෘත්තීය සමිති ද?

 ලෝකය ඉදිරියට ගෙන යෑම සඳහා නව ආර්ථික විද්‍යාවක් අවශ්‍ය යැයි කියන මතය සංවාදයට ගැනුණේ 1940 ගණන්වල ය. යුරෝපය ඒ වනවිටත් නව ආර්ථික දැක්මක් හා වැඩපිළිවෙළක් ගැන කැපවෙමින් සිටි බව පෙඩ්රික් හයික් වැනි ආර්ථික විශේෂඥයන්ගේ මත විමසන විට පැහැදිලි වේ. තවදුරටත් පරණ පාරවල්වල යමින් සංවර්ධනය සාක්ෂාත් කර ගත නොහැකි බව මේ සිදුවීම් මාලාව අපට පැහැදිලි කරයි. තවත් විශේෂයක් ගතහොත් අද අප ජීවත්වන්නේ ඩිජිටල් යුගයක ය. එය හතරවන කාර්මික විප්ලවය ලෙස ද සැලකේ. මේ යුගයේ නායකයන් හා පාලකයන් අනාගතය දකින අය විය යුතු බව ද කියති.

ලෝක තත්ත්වයෙන් ශ්‍රී ලංකාව දෙසට හැරුණහොත් අපේ රට වනාහී බලවත් දුෂ්කරතා මධ්‍යයේ ඉදිරි ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කරන රාජ්‍යයෙකි. බරපතළ ණය බර, නව උත්පාදන නැතිකම, ස්වාභාවික විපත්, දේශපාලන ගැටුම්, වර්ජන පමණක් නොව; සාම්ප්‍රදායික චින්තනය ද රට ආපස්සට ගෙන යන බලවේගයන් ලෙස පවතී. මේ අතරින් අලුත් ව්‍යාපෘතියක්, අලුත් වැඩසටහනක් ක්‍රියාවට නැංවීම අතිශය දුෂ්කර ය. ඒ සඳහා බලවත් සටනක් දෙන්නට සිදු වී තිබේ. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා තවත් ආයතන නවීකරණය කොට අලුත් ආර්ථික උපාය මාර්ග ඔස්සේ දියුණු කළ හැකි ය. එහෙත් ඊට එරෙහිව බාධා පවතී.

රටේ වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර හා තවත් මහජන සංවිධාන අතර ද සාම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාර අතර ද අන්තර් පරායන සම්බන්ධයක් පවතී. නිදසුනක් ගතහොත් වෘත්තීය සමිති තීන්දු හා තීරණ ගනු ලබන්නේ දේශපාලන නායකයන්ගේ උපදේශනයට අනුව ය. ශිෂ්‍ය ව්‍යාපාර ක්‍රියා කරන්නේ ද ඒ අනුවය. මහජන සංවිධානවල ද වෙනසක් නැත. අපේ වෘත්තීය සමිතිවලට ලෝක ආර්ථික ක්‍රියාවලිය ගැන නිරවුල් වැටහීමක් ඇතැ’යි සිතන්නට පුළුවන්කමක් නැත. බදු දීම, විකිණීම, ලාභ ලැබීම, කොටස් විකිණීම, හවුල් ව්‍යාපාර ආදිය ගැන පුළුල් අවබෝධයක් මේ ව්‍යාපාරවලට ඇත්තේ ම නැත. මේ අනුව ඔවුන් වෘත්තීය සටන් මෙහෙයවනුයේ පරණ තැනෙක සිටගෙන ය.

තහවුරු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ද දඩමීමා කරගෙන වර්ජන මෙහෙයවන්නට වෘත්තීය සමිති පෙලැඹී ඇත. එම වර්ජන පිළිබඳ හේතු - සාධක විමසන විට පෙනී යන්නේ වෘත්තීය සමිති රටේ ආර්ථිකය හැසිරවීමටත්, ජාතික ආර්ථිකය පිළිබඳ තීන්දු - තීරණ ගැනීමටත් සූදානම් වන බව ය. මෙය ද ඉක්මවා යන ඇතැම් වෘත්තීය සමිති රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය වැනි පොදු විෂයයන් හැසිරවීමට ද උත්සුක වන බවක් පෙනෙන්නට තිබේ. ආණ්ඩුවේ රාජකාරිය වෘත්තීය සමිති භාරගෙන ඇතැ’යි කියන්නට පුළුවන. මේ ක්‍රියාවලියට අනුව රටකට ව්‍යවස්ථා සභාවක් අවශ්‍ය නැත. මහජන නියෝජිතයන් අවශ්‍ය නැත. ජාතික ප්‍රතිපත්ති ද අවශ්‍ය නැත. ඒ සියල්ලෙහි භාරකාරත්වය වෘත්තීය සමිති ඉල්ලා සිටින බවක් පෙනෙයි.

ඔක්තෝබර් විප්ලවයෙන් පසු සෝවියට් දේශයේ ආර්ථික තීන්දු ගත්තේ නායක ලෙනින් ප්‍රමුඛ මධ්‍ය මණ්ඩලය මිස වැඩකරන ජනතාව නොවේ. කියුබාවේ විප්ලවයෙන් රටට අවශ්‍ය ආර්ථික තීන්දු ගත්තේ නායක පිදෙල් කැස්ත්‍රෝ ය. මැලේසියාව ගොඩනැඟූ මහතීර් මොහොමඩ් වෘත්තීය සමිතිවලට ඇහුම්කන් දුන්නේ නම්; මැලේසියාව අදටත් දුප්පත් රටකි. සිංගප්පූරුවේ තත්ත්වයද එයම ය. සිංගප්පූරුවේ සමාගම් පිහිටුවීම සඳහා විදේශීය ආයෝජන ලබා ගැනීමට ලී - ක්වාන් - යූ දෙවරක් කල්පනා කළේ නැත. මහජනයාට මෙන් ම බොහොමයක් මහජන සංවිධානවලට ද ආර්ථිකය පිළිබඳ පුළුල් දැක්මක් නැත. ඒ අනුව අලුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී මහජන අදහස් හා විරෝධතා පරෙස්සමෙන් තෝරා - බේරා ගත යුතුව තිබේ.

ඛනිජ තෙල් සංස්ථාවේ සේවක වැඩ වර්ජනය දෙස බලනවිට අප මේ කියන ප්‍රස්තුතය හොඳින් වටහාගත හැකි ය. එම වෘත්තීය සමිති කියන ලෙස ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බදු දීම වැරදි ය. හම්බන්තොට වරාය චීන සමාගමක් සමඟ ඒකාබද්ධ වී දියුණු කිරීමත් වැරැදි ය. එසේ නම්; මේවා දියුණු කළ හැකි මාර්ගය කුමක් ද? ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හිස් ගුදම් ලෙස පැවැතියේ දීර්ඝ කාලයක සිට ය. එකල මේ වෘත්තීය සමිති නායකයන්ට තෙල් ටැන්කි සිහියට ආවේ නැත. හම්බන්තොට වරාය පාඩු ලබන්නේ ද, මත්තල ගුවන් තොටුපොළ පාඩු ලබන්නේ ද ඉදිකළ දා පටන් ය. මේ වෘත්තීය සමිති එදා මේවා ගැන කතා ක‍ළේ නැත. උද්ඝෝෂණ කළේ ද නැත.

ශ්‍රී ලංකාව තුළ පාඩු ලබන රාජ්‍ය ආයතන රාශියක් තිබේ. මේවා පාඩු ලැබීමට අදාළ හේතු - සාධක ගණනාවක් ඇත. සේවක ප්‍රජාව සිය කාර්යභාරයන් ඉලක්කගත අයුරින් ඉටු නොකිරීමත් එක හේතුවකි. වංචා, දූෂණ හා අක්‍රමිකතා තවත් හේතුවකි. ඇතැම් දූෂණ හාඅක්‍රමිකතාවලට වෘත්තීය සමිතිවල සම්බන්ධයක් ඇති ස්ථාන ද තිබේ. බොහෝ ආයතනවලට ඉලක්ක හා සැලැසුම් නැත. අකාර්යක්ෂමතාව රාජ්‍ය - ආයතනවල ප්‍රධාන දුර්වලතාව ලෙස පවතී. අපේ ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් හා ඉන්දීය සමාගමට අයත් පිරවුම්හල් අතර ඇති වෙනස ඕනෑම කෙනකුට දැකගත හැකි ය. රාජ්‍ය අංශයේ ඒකාධිකාරය බිඳ දැමිය යුතු බව ඉන්දියාව වැනි රටවල් ද අද ඉතා තදින් අදහයි. ජේ.ආර්.ජයවර්ධන මහතා 1977 දී මේ තත්ත්වය වටහාගෙන ක්‍රියා ක‍ළේ ය.

අපේ වෘත්තීය සමිති දැන් ක්‍රියා කරන්නේ තමන්ගේ සීමාවෙන් පිට පැන යැයි කියන්නට පුළුවන. මෙය යහපත් තත්ත්වයක් නොවේ. වෛද්‍ය සංගමයේ වැඩ වර්ජනය නවතා ඇත. එය බුද්ධිමත් තීරණයකි. එහෙත් මෙතෙක් සිදු කළ වැඩ වර්ජනවලින් ජනතාවට සිදු වූ පාඩුව හා පීඩනය මුදලින් තක්සේරු කළ නොහැකි ය. අනෙකුත් ක්ෂේත්‍රවල වැඩ වර්ජනවලින් ද බලවත් පීඩාවට පත්වූවෝ අහිංසක ජනතාව ය. මේ වර්ජනවල අනාගත පාඩුව විඳින්නට සිදුවන්නේ ද ජනතාවටම ය. නිදසුනක් ‍ගතහොත් වර්ජන නිසා විදේශීය ආයෝජන ලැබීම් දුර්වල වන්නට පුළුවන. ආයෝජකයන්ගේ පැමිණීම දුර්වල වන්නට පුළුවන. සංචාරක කර්මාන්තයට ද එය බලපාන්නට පුළුවන. හානිය වෘත්තීය සමිතිවලට නොව; රටට හා ජනතාවට ය.

ආණ්ඩුවක් මේවා කළමනාකරණය කරන තැනක ද, පාලනය කරන තැනක ද සිටිය යුතුය යන්න අපගේ පිළිගැනීම ය. ආණ්ඩුවක් එක අතෙකින් ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුය. තව අතෙකින් රටේ අනාගත සංවර්ධනය තහවුරු කළ යුතුය. දැනට සිදුවන වැඩ වර්ජන මේ කොයි අතින් බැලුව ද අයුක්තිසහගත බවට වාදයක් නැත. තෙල් සේවකයන්ගේ වර්ජනයේ දී එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම වැදගත් පියවරකි. එලෙස ම ඉන්ධන බෙදාහැරීම සඳහා ආරක්ෂක හමුදාවල සහාය ලබා ගැනීම ද සදාචාරාත්මක පියවරකි. වර්ජන - විරෝධතා හා තවත් ක්‍රියාකාරකම් නිසා මහජනයාට දැනෙන බර හා පීඩනය අවම කිරීමට හෝ එය වැළැක්වීමට හෝ පියවර ගැනීම ජනතාවාදී ආණ්ඩුවක යුතුකම ය. එය වෘත්තීය සමිති මර්දනයක් වන්නේ නැත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...