සමාජ ජාල පිටුපස බලවේග ගැඹුරින් වටහා ගන්න ඕනැ | දිනමිණ

සමාජ ජාල පිටුපස බලවේග ගැඹුරින් වටහා ගන්න ඕනැ

මහාචාර්ය විමල් දිසානායක

හත්කෝරළයට අයත් 'පිලැස්ස' නම් ඈත පිටිසර ගම්මානයේ උපත ලද ඔහුගේ නම උප්පැන්න සහතිකයේ සඳහන්ව තිබුණේ 'විජිත බණ්ඩාර' යනුවෙන් වුව, මාපියන් මෙන් ම නෑසියන් ද ඔහුට සුරතලයට ආමන්ත්‍රණය කළේ 'විමල්' යනුවෙනි.ප්‍රාථමික අධ්‍යාපනය නිකවැව පාසලෙන් ද, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ද්වීතියික අධ්‍යාපනය ද ලැබූ ඔහු, 1959 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව, සිංහල, ඉංග්‍රීසි හා පාලි විෂයයන් හදාළේය. සරසවිය සමයේදී ඔහු සඟරාවක් සහ කාව්‍ය ග්‍රන්ථයක් සම්පාදනය කළේ, සාහිත්‍යයට ප්‍රබල නැඹුරුවක් ඇති විද්‍යාර්ථයකු වූ බැවිනි. සරසවියේ අවසාන විභාගයට ලිවීමෙන් අනතුරුව 'දිනමිණ' පුවත්පතේ ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදියකු ලෙස සේවය කළේ ය. පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස සේවයට බැඳුණු විමල් දිසානායක , කේම්බ්‍රිජ් සරසවියෙන් දර්ශන සූරී උපාධිය ලැබුවේය. ප්‍රතිභාසම්පන්න කවියකු ද වන ඔහු, 'අකල්වැස්ස' , 'කල්ප විනාශය', 'රැව් පිළිරැව්', 'දුරු රට සිට' යනාදී කාව්‍ය ග්‍රන්ථ රැසක් පළ කළේ ය.'විවාදාත්මක ලිපි, 'සනාතන අරගලය', 'නාට්‍ය කලාව පිළිබඳ හැඳින්වීමක්', 'නිර්මාණය හා විචාරය ' ගිරිකුළ හා සඳ මඬල' වැනි අපූරු ග්‍රන්ථ මඟින් ඔහුගේ විචාර බුද්ධියට සාක්ෂි සැපයේ.ඊට අමතරව ලෝකයේ ප්‍රකට ග්‍රන්ථ ප්‍රකාශන සමාගම් සියල්ලම පාහේ ඔහු ඉංග්‍රීසි බසින් ලියූ ග්‍රන්ථ රාශියක් පළ කර ඇත. හවායි' හි 'ඊස්ට් වෙස්ට්' මධ්‍යස්ථානයේ සංස්කෘතික හා සන්නිවේදන ආයතනයේ උප අදියුරු සහ අදියුරු ලෙස වසර 40 ආසන්න කාලයක් සේවය කළේ ය. සන්නිවේදන විෂය මෙරටට හඳුන්වා දීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සුවිශේෂී විද්වතකු වන මහාචාර්ය විමල් දිසානායක සමඟ,'නූතන ජනසමාජය කළඹවන සමාජ ජාලා' පිළිබඳ කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

ඔබ ඉතා දිගු කාලයක් ' හවායි' හි 'ඊස්ට් - වෙස්ට්' අධ්‍යයන ආයතනයේ අදියුරු ධුරය දැරුවා. ශ්‍රී ලාංකිකයකු ලෙස එබඳු තනතුරක සිටියදී ලැබූ අත්දැකීම් සහ අභියෝග විස්තර කළොත්?

මා 1979 වසරේදී ඊස්ට් - වෙස්ට් අධ්‍යයන ආයතනයට ස්ථිර සේවකයකු ලෙස ගියා. ඉතා ඉක්මනින් එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට පත්වීම ලැබුවා. වසර ගණනක් එම තනතුරේ සිට පසුව එහි අධ්‍යක්ෂවරයා ලෙස පත් වුණා.

මේ ආයතනයේ සේවය කරද්දී නොයෙකුත් ආකාරයේ අභියෝගවලට මුහුණ දුන්නා. මා ශ්‍රී ලංකාවේ ඉගෙනගෙන, එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබාගෙන, කැලණිය සරසවියේ සන්නිවේදන අධ්‍යයන අංශයේ කාලයක් සේවය කළා. මා ලැබූ අධ්‍යාපනය, සංස්කෘතිය අමෙරිකානු අධ්‍යාපන ක්‍රමවේදවලට හා ඔවුන්ගේ සංස්කෘතියට වඩා වෙනස්. මා පුරුදු වූණේ එංගලන්ත ක්‍රමයේ අධ්‍යාපන රටාවකට. ඒ චින්තනයට අනුවයි මා සකස් වී සිටියේ. ඒත්, මේ වෙනස්කම් එතරම් තදබල ඒවා නෙමෙයි. ඒත්, සුදු අමෙරිකානුවන් බොහෝ දෙනෙක් ඉන්න ආයතනයක ආසියාතිකයකු අධ්‍යක්ෂ ධූරයක් දැරීම ගැන යම් යම් අදහස් ඇති වෙන්න ඇති. ඒත් ඒවා සැඟවුණු අභියෝග. මට ප්‍රධාන වශයෙන් තිබුණේ සංස්කෘතික අභියෝග විතරයි.

ඔබ මූලික උපාධිය ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්. ඔබ වැනි බුද්ධිමතකුට බිහි වීමට විශ්වවිද්‍යාල පරිසරයෙන් ලැබුණු අනුබලය සහ ඔබට බලපෑ විද්වතුන් පිළිබඳ කතා කළොත්?

මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ 1959 - 1962 කාලයේ. පේරාදෙණියේ අධ්‍යාපනයෙන් ස්වාධීන චින්තනයක් ඔස්සේ ගමන් කිරීමට අනුබල ලැබුණා. ඒ ගමන් මඟ දිගේ පෙරට යාමට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය සිරි ගුණසිංහ වැනි විද්වතුන්ගෙන් ලැබුණු ආභාෂය ඉතා වැදගත්.

මීට අමතරව මට සන්නිවේදන විෂය ගැන මූලික අවබෝධයක් ඇති වුණේ, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය රේමන්ඩ් විලියම් නිසයි. එතුමා සන්නිවේදන විෂය ගැන විවිධ පර්යේෂණ පැවැත්වූ මහා උගතෙක්. සාර්ථකව පර්යේෂණ පැවැත්වීමට එතුමාගෙන් මා ලද ආභාෂය විශාල රුකුලක් වූවා. 1979 වසරේදී මා සම්බන්ධ වූ 'ඊස්ට් - වෙස්ට්' අධ්‍යයන ආයතනය විශාල කීර්තියක් හිමි කරගෙන සිටි ස්ථානයක්.

අපේ රටට සන්නිවේදන විෂය හඳුන්වාදීමට පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කළේ ඔබයි. අද වන විට එම විෂය විශ්වවිද්‍යාල රැසක ඉගැන්වෙනවා වගේම පාසල් අධ්‍යාපනයටත් පිවිසිලා. මේ ගැන මොකද හිතෙන්නේ?

සන්නිවේදන විෂය විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම ආරම්භ කළ අවස්ථාවේ, විෂයට අදාළ වචන තිබුණේ නැහැ. 'නාලිකාව' (Channel) ප්‍රතිපෝෂණය (Feed back) වගේ වදන් අලුතින් නිර්මාණය කළා. 1973 වසරේදි තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අධ්‍යයන අංශය ආරම්භ කළේ. ඒ කාලෙ ස්ථිර ආචාර්යවරුන් හිටියේ දෙන්නයි. බාහිර කථිකාචාර්යවරුන් කිහිප දෙනකුත් සිටියා. ඉතා ම සුළුවෙන් තමයි ආරම්භ කළේ.

ඒත්, අද ඉතා විශාල වශයෙන් සන්නිවේදන අධ්‍යයන අංශය දියුණු වෙලා. මේ වනවිට සන්නිවේදන විෂය,විශ්වවිද්‍යාලවලට වගේම පාසල් අධ්‍යාපනයටත් හඳුන්වා දී තිබෙනවා. මමත් පාසල්වල සන්නිවේදන විෂය හඳුන්වා දීමේ ජාතික නිර්දේශ සම්පාදනය කිරීමට උපදෙස් ලබා දුන්නා. විෂය ව්‍යාප්ත වීම ගැන මා ඉතා ම සන්තෝෂ වෙනවා. ඒත්, විශාල ලෙස ව්‍යාප්ත වීමේදී යම් අනතුරුදායක තත්ත්වයකුත් තියෙනවා. විෂය ඉගැන්වීමට ක්‍රමානුකූල බවක්, පසුබිමක් තිබිය යුතුයි. එසේ නැති වුවහොත් ගැටලු මතුවීම අනිවාර්යයයි.

දිගු කාලයක් පෙරපර දෙදිගම වාසය කළ ඔබ, නූතන තාක්ෂණයේ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඇතිවූ දියුණුව හොඳින් අධ්‍යයනය කළ අයෙක්. මේ දියුණුවත් සමඟ පෙරපර දෙදිග තරුණ පරම්පරාව අතර වෙනස්කම් තුනී වෙලාද?

බටහිර රටවල නම් පරම්පරා පරතරයකුත් තියෙනවා. බටහිර රටවල මාධ්‍ය තාක්ෂණය මැනවින් හසුරුවන්නේ, පාසල් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්. වැඩිහිටි අයට ඒ හැකියාව ඒ තරමට නැහැ. ශ්‍රී ලංකාවෙ තරුණ පරම්පරාව නම්, මාධ්‍ය තාක්ෂණය මැනවින් හසුරුවන ආකාරය පෙනෙනවා. ඔවුන්ට තාක්ෂණය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපේ ශිෂ්‍යයන්ගේ තාක්ෂණික අවබෝධය අමෙරිකානු ශිෂ්‍යයන්ට වඩා වෙනසක් නැහැ. ඒත්, අමෙරිකානුවන්ට ලැබෙන තාක්ෂණය අපට වඩා දියුණුයි.

අපේ තරුණ පිරිසෙන් විශාල ප්‍රතිශතයක් සමාජ ජාලවලට ඇබ්බැහි වී සිටින බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. මේ තත්ත්වය කොහොමද දකින්නේ?

මෙහි අර්ථකර වගේම අනර්ථකර පක්ෂයකුත් තියෙනවා. නව තාක්ෂණය භාවිත වෙනවා. ලෝක එකමුතු‍වක් නිර්මාණය වෙනවා. ගෝලීයකරණය නිසා නව සමාජයට ක්ෂණිකව ප්‍රවෘත්ති හැසිරවීමේ හැකියාවක් තිබෙනවා. ඒවා අර්ථකර පක්ෂය වශයෙන් සඳහන් කළ හැකියි.

මේ ඇබ්බැහිවීමේ අනර්ථකර, භයානක පැත්තකුත් ඇති බව පැහැදිලියි. විශේෂයෙන්ම අසභ්‍ය දේ නැරැඹීමට යොමු වීම. අසභ්‍ය තොරතුරු සඳහා යොමුවන රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයක සිටින බව සඳහන් වෙනවා. මෙය අනර්ථකර තත්ත්වයක්. ඒත්, මේවා අනෙක් රටවලත් තිබෙනවා. අපි එය අද නිර්මාණය වී ඇත්තේ ඉතා ම ඉක්මනින් වෙනස් වන තොරතුරු සමාජයක්. එහිදී වැඩි ම බලපෑම තියෙන්නෙ තොරතුරුවලට.

අපේ ර‍ටේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට දැඩි ලෙස සමාජ ජාල පරිහරණය බාධාවක් වී ඇති බවයි බොහෝ දෙනකුගේ අදහස. මෙබඳු තත්ත්වයක් ඇතිවූයේ සමාජ පසුගාමීත්වය නිසාද? නිසි මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය නොවීම නිසාද? නැතිනම් ජනමත නායකයන් සිය වගකීම ඉටු නොකිරීම නිසා ද?

ඔබ සඳහන් කළ හැම හේතුවක්ම මේ තත්ත්වයට බලපා තිබෙනවා. දරුවන්ට නිසි මාර්ගෝපදේශකත්වයක් ලැබී නැහැ. එය බරපතළ අඩුවක්. අනෙක් කාරණය තමයි, නිසි මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය වී නොතිබීම. එයත් බරපතළ අඩුවක්. සමාජ ජාලවල හොඳ නරක දෙක ම තිබෙනවා. මේ කාරණා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල, පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ විය යුතුයි. පර්යේෂණ ‍පැවැත්විය යුතුයි.

අප එදා පුවත්පත්, සඟරා, චිත්‍රපට, ගුවන්විදුලිය වැනි ජනමාධ්‍ය මඟින් විශාල දැනුමක් ලබා ගත්තා. විශේෂයෙන් නිවැරැදි භාෂා ව්‍යවහාරය සඳහා පුවත්පත් කතුවැකි කියවන්න පවා ගුරු භවතුන් නිර්දේශ කළා. මෙබඳු මෙහෙවරක් නූතන සමාජ ජාලවලින් ඉටු වෙනවද?

සත්‍ය වශයෙන්ම එසේ කිරීමේ ශක්‍යතාවක් තිබෙනවා. ඒත්, දැනට නම් එහෙම වෙනවා කියල පේන්නෙ නැහැ. එනමුත්, සමාජ ජාල ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීම, සිවිල් සමාජය ශක්තිමත් කිරීම, මහජන ගැටලු නිරාකරණය කිරීම වගේ දේ ඉටු කරන්න අවස්ථාවක් තිබෙනවා. එහෙත්, තාම එවැනි තත්ත්වයක් ඇති වී නැහැ.

අද බොහෝ විට සන්නිවේදන පර්යේෂණ සිදු වන්නේ, සමාජ ජාලවලින් වන විවිධ බලපෑම් ගැනයි. මේ නිසා අනෙකුත් ජනමාධ්‍ය ගැන සිදුකරන පර්යේෂණ අඩු වෙලාද? එහි බලපෑම කෙබඳු වේවිද?

සන්නිවේදන පර්යේෂණවල සමතුලිතභාවයක් තිබිය යුතුයි. සමාජ මාධ්‍ය ඉතා බලසම්පන්න නිසා, ඒ ගැන වැඩි අවධානයක් දක්වනවා වෙන්න පුළුවන්. එහෙත්, එය සිදු නොවිය යුත්තක් ලෙසයි මා සලකන්නේ. රූපවාහිනිය, සිනමාව, පුවත්පත්, ගුවන්විදුලිය ගැනත් සැලකිල්ලක් දක්වන්න ඕනෙ. අලුත් වීම නිසා ම සමාජ ජාල ගැන පමණක් පර්යේෂණ පැවැත්වීම අනුමත කළ නොහැකියි.

අද වනවිට සෙල්ෆි ඡායාරූප,ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන තත්ත්වයකට පත්වෙලා. ජන සමාජයක තරුණ පරපුර මෙබඳු භින්න පෞරුෂයකින් යුතු මානසික තත්ත්වයකට පත් වුණේ ඇයි ?

සෙල්ෆි ගැනීම ඉතා ම පුළුල් ලෙස ව්‍යාප්ත වෙලා. විශ්වවිද්‍යාල සිසුන් පවා මේ ප්‍රවණතාවට ගොදුරු වෙලා. මෙහි මනෝ විද්‍යාත්මක පැත්තක් තියෙනවා. ආත්ම අවලෝකනය අනවශ්‍ය ලෙස වැඩි වුණොත්, එයත් ප්‍රශ්නයක්. තමන්ගේ පුද්ගලත්වය වටා මුළු ලෝකයම භ්‍රමණය වෙනවා කියලා හිතුවොත්, එය බරපතළ ගැටලුවක්.

සමාජ ජාලවලට ශීඝ්‍ර ලෙසින් නැඹුරු වීම නිසා පුද්ගලාන්තර හා සමූහ සන්නිවේදනය බිඳ වැටී තිබෙනවා නේද? අප වැනි රටවල් ඊට ගොදුරුවීමේ ප්‍රතිඵල මොනවාද?

කාර්මික විප්ලවයට පසුව බටහිර රටවල් පුද්ගල කේන්ද්‍රීය සන්නිවේදන තත්ත්වයකට පත්වූවා. මෙය කාලාන්තරයක් තිස්සේ වර්ධනය වූවක්. එහෙත්, අපේ රටේ මෑතක් වනතුරුම පැවතුණේ පවුල් කේන්ද්‍රීය, ජන සමූහ කේන්ද්‍රීය සන්නිවේදනයක්. පුද්ගලයා වෙනත් අය සමඟ බැඳී සිටින ස්වරූපයක් තමයි එහිදී දක්නට ලැබුණේ. එහෙත්, දැන් සමාජ ජාල නිසා නිර්මාණය වී ඇත්තේ අමුතුම ලෝකයක්. බොහෝ විට ඒ කල්පිත ලෝකයේ දක්නට ලැබෙන්නේ ලෙයින්, මසින් සැදුණු මිනිසුන් නෙමෙයි. මේ තත්ත්වය සංස්ථාපිත ආයතනවලට තර්ජනයක්.

අප අයත් වන පරම්පරාව ඔබ ලියූ කවි කියවා රසවින්දා. ඔබේ විචාර ලිපිවලින්, පරිවර්තන සාහිත්‍යාංගයන්ගෙන් දැනුම්වත් වුණා. එහෙත්, සමාජ ජාල පරිහරණය කරන නූතන තරුණ පරම්පරාව සාහිත්‍යයෙන් ඈත්වෙලා. මෙබඳු සමාජයක සාහිත්‍යයට ඇත්තේ කවර සාධනීය ස්ථානයක් ද?

බොහෝ විට නිර්මාණ සාහිත්‍ය කටයුතුවලට 'සමාජමය මාධ්‍ය' බාධාවක්. එයින් සිදුවන අනර්ථයක් තිබෙනවා. එහෙත් , අප එය වෙනස් කළ යුතුයි. නවීන මාධ්‍ය වැළඳ ගන්නා අතරම, පාරම්පරික මාධ්‍යවල හොඳ ලක්ෂණ රැකගත යුතුයි. මේ කාරණා දෙක ම එකවර සිදුවීමයි වැදගත්.

ලෝකයේ අනෙකුත් රටවල තත්ත්වයත් මේ වගේ ද? නැතිනම් ඊට වඩා වෙනස් ද?

සාමාන්‍යයෙන් ලෝක තත්ත්වයත් මීට සමානයි. පරිවර්තන ගැන, ඉංග්‍රීසී හා අමෙරිකානු සාහිත්‍ය ගැන උනන්දුවක් අද වන විට අඩුවෙලා. එහෙත් මෙය වෙනස් කළ හැකියි. සමාජ මාධ්‍ය ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ අනුව හොඳ කාව්‍ය නිර්මාණ වගේ දේ අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ කෙසේදැයි ඇතැමුන් කල්පනා කරනවා.

ඔබ විචාර කලාවක් මෙරට ඇතිකරන්න සුවිශාල ප්‍රයත්නයක් දැරූ විද්වතෙක්. ඒත්, අද වනවිට පැරැණි විචාර මාන වලංගු ද?

ලෝකය අලුත් වෙනවා. සමාජ මාධ්‍ය හරහා අමුතු සංස්කෘතිකාංග ඇතුළු වෙනවා. ඒ අතරම කාව්‍ය නිර්මාණ ආදියත් හුවමාරු කර ගන්නා අවස්ථා තිබෙනවා. එවැනි රසවින්දනයට ඉඩකඩක් සමාජ මාධ්‍යවල නිර්මාණය වීම වැදගත්. අලුත් අලුත් විදියට හැඩගැසීම අවශ්‍ය දෙයක්. මේ කාරණා ගැන අප කවුරුත් අවදියෙන් සිටිය යුතුයි.

පාසල් දරුවන් සමාජ මාධ්‍යවල පහසු ගොදුරු බවට පත්වීම අපේ රටේ බරපතළ ගැටලුවක් බවට පත්වෙලා. මේ අභියෝගය ජය ගැනීමට ඔබ යෝජනා කරන වැඩපිළිවෙළ කුමක් ද?

මේ අභියෝගය ජය ගන්න නම් එක්තරා ප්‍රමාණයක මහජන මතයක් ගොඩනැඟීම අත්‍යවශ්‍යයි. බොහෝ දෙනකුට සමාජ මාධ්‍ය භාවිත කිරීමට නිසි අවබෝධයක් නැහැ. අපේ සංස්කෘතියට අයුතු දේ, හානිකර දේ පිළිබඳ කල්පනා කළ යුතුයි. සමාජ ජාලවලට පිටුපසින් ඇති බලවේග ගැනත් ගැඹුරින් සිතීම අත්‍යවශ්‍යයි. ජන මාධ්‍ය මඟිනුත් මේ සඳහා මතයක් ඇති කළ හැකියි. විශේෂයෙන් පුවත්පත් සහ සඟරා මඟින් මේ සම්බන්ධ මතවාදයක් නිර්මාණය කළ යුතුයි. අර්ථවත් ලිපි සම්පාදනය කිරීමත් වැදගත් කාර්යයක්. විශේෂයෙන් විශ්වවිද්‍යාල මාධ්‍ය අධ්‍යයන අංශවලට මෙහිදී විශාල මෙහෙවරක් ඉටු කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා. ශක්තිමත් මහජන මතයක් මෙලෙස ගොඩනඟන්නේ නැතිව, මේ අභියෝගය ජය ගත නොහැකියි.

අප කුඩා කාලයේ දුරකථන ඇමතුමක් ගැනීම අසිරිමත් දෙයක් වුණා. රූපවාහිනිය, ගුවන්විදුලිය පවා එක් කාලයක පරිහරණය කළේ සීමිත පිරිසක්. ඒත්, අද මාධ්‍ය පරිහරණය සුලබ වෙලා. අද තරුණ පරපුර මහත් උද්දාමයෙන් භාවිත කරන නව මාධ්‍ය මෙවලම් තව වසර ගණනාවකින් කිසිදු අපූර්වත්වයක් නොමැති තත්ත්වයකට පත්වේවිද?

එය අනිවාර්යයෙන්ම වෙනවා. 'අයි ෆෝන්' වගේ දේ පසු කාලයේ වෙනස් වුණා. සමාජ මාධ්‍ය හා තාක්ෂණය ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඊට අනුරූපව හැඩගැසීමට මිනිසුන්ට සිදුවීම සාමාන්‍ය දෙයක්. එසේ ම, නව අභියෝගවලට මුහුණදීමටත් සිදු වෙනවා. මේ බැරෑරුම් තත්ත්වය ගැන මහජන මතයක් ඇතිවිය යුතුයි. ඒ වගේම, ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය විය යුතුයි.

තිස්ස නිහාල් වික්‍රමසිංහ

නව අදහස දක්වන්න