අයිස් වලින් තැනූ තැබෑ­රුම MINUS 5˚ BAR | දිනමිණ

අයිස් වලින් තැනූ තැබෑ­රුම MINUS 5˚ BAR

සමකය අසළ ජීවත්වන අපිට මධ්‍යම කඳුකරයේ ශීතල හැරුණු විට ඉතා උණුසුම් කාලගුණික අත්දැකීම් තමයි තිබෙන්නේ. සෑම දිනකම පාහේ දැඩි උණුසුමෙන් බැට කන අපි පරිසරය මඳක් හෝ සීතල වූවිට එයින් සතුටට පත් වනවා. දැඩි රස්නය තිබෙන දවසක සීතල කාමරයක ඉන්නට හෝ සීතල බීම වීදුරුවක් බොන්නට අවස්ථාවක් තිබෙනවා නම් කොතරම් හොඳයි ද? අපේරටේ නැතත් ලෝකයේ ප්‍රසිද්ධ නගර කිහිපයකම පාහේ සීතල අයිස් කුට්ටියක් වැනි බීමහල් ඉදිකර තිබෙන්නේ සිත ගත දෙකම සැණෙකින් සිසිල් කර ගැනීමටයි.

වීදුරු පවා අයිස්

Minus 5˚ Bar එනම් සෙල්සියස් අංශක -5 තැබෑරුම ලෙසින් හඳුන්වන මෙම ස්ථාන තුළ සැබෑ ලෙසින්ම උෂ්ණත්වය පවතින්නේ අයිස් මිදෙන උෂ්ණත්වයටත් අඩු -5 හා -10 වැනි ඉතාමත් පහළ උෂ්ණත්වයකයි. එය නිසා තමයි මෙම තැබෑරුම් ලොව පුරා මෙතරම් ප්‍රසිද්ධියට පත්වී තිබෙන්නේ. තැබෑරුමක් කියා පැවසුවත් මෙය මුළු පවුලටම පැමිණ විනෝද විය හැකි ස්ථානයක්. මනරම් අයිස් පිළිම හා නිර්මාණ සහිත ඉග්ලූ නිවෙසක් බඳු මෙහි තිබෙන සියලුම දේවල් පාහේ අයිස් වලින් නිමවා තිබීමත් විශේෂිත දෙයකි. තැබෑරුමේදී ඔබට ලැබෙන වීදුරු පවා අයිස් වලින් සාදනු ලැබූ වීදුරු වේ.

ඇතුළුවීමට පෙර උණුසුම් කබා

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝක්, ලාස් වේගාස් හා ඔර්ලන්ඩෝ වැනි නගර වල ස්ථාන කිහිපයකම minus 5° තැබෑරුම් දැකිය හැකි අතර නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් හිදී minus 5º ice bar නමින්ද පවතිනවා. අත දරුවාගේ සිට ඕනෑම වයසක කෙනකුට ඇතුළුවීමට මෙහි අවසර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය උණුසුම් කබා හා ඇඳුම් සියල්ලක්ම ඇතුළු වීමට පෙර ඔවුන් ලබා දෙනවා.

අයිස් වලින් බිත්ති සැරසිලි

මේස, පුටු හා වීදුරු ඇතුළු සියල්ලක්ම අයිස් වලින්ම නිමවා තිබෙන නිසා තැබෑරුමෙන් බීම ලබා ගැනීමට අමතරව මෙය නැරැඹීමටත් බොහෝ දෙනා පැමිණෙනවා. විශේෂයෙන්ම කුඩා ළමයින්ට විනෝද වීමට මෙහි අයිස් නිර්මාණ රැසක් ඉදිකර තිබෙනවා. එක් එක් නගරයන්හි ඇති අයිස් තැබෑරුම් හි ඇතුළත හා අයිස් නිර්මාණ විවිධාකාර වන්නේ එක අයිස් තැබෑරුමකින් තවත් එකකට වෙනස්ම වූ අත්දැකීමක් ලබා දීමටයි. අයිස් තැබෑරුම පිහිටි ප්‍රදේශයට අදාළ හා එම ප්‍රදේශයට විශේෂ වන ආකාරයෙන් මෙහි බිත්ති සැරසිලි හා අනෙකුත් සැරසිලි අයිස්වලින්ම නිමවා තිබීම විශේෂයි.

අයිස් වීදුරු ලක්ෂ 15ක්

නවසීලන්තයේ පිහිටි අයිස් තැබෑරුමට මෙම වසරට ( 2017 ) වසර 10ක් සපිරෙනවා. ඔවුන් ගෙවී ගිය වසර 10 පුරාවට මෙම අයිස් තැබෑරුම තුළ පමණක් සුපිරිසිදු අයිස් ටොන් 600 කට අධික ප්‍රමාණයක් භාවිතා කර තිබෙනවා. ඊට අමතරව නිමවා ඇති අයිස් වීදුරු ගණන ලක්ෂ 15කට අධිකයි. එම කාලය තුළ අයිස් නිර්මාණ සිදු කිරීමට පැය 5000 ට වැඩිය වැයවී තිබෙන අතර මිලියනයකට අධික පිරිසක් මෙම ස්ථානය වෙත පැමිණ තිබේ. මෙවැනි අයිස් තැබෑරුමක වරකට ටොන් 18 ක පමණ අයිස් පවතියි. මේවා දිය වී නොයන නමුත් මාස තුනකට වරක් ඇතුළත සැරසිලි හා නිර්මාණ අලුත් කරන්නේ නිතරම මෙහි පැමිණෙන අයකුට වුවත් වෙනස් අත්දැකීමක් ලබා දීමටයි.

සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට අපේ රටෙත් මෙවැනි අදහස් ක්‍රියාත්මක කළ හැකි අතර අපේ රටෙහි පවතින අධික උෂ්ණත්වය නිසා මෙවැනි ස්ථානයකදී දැඩි හිරු රශ්මියෙන් මිදී අයිස් ලොවක අතරමං වීමට බොහෝ දෙනා අනිවාර්යයෙන්ම පැමිණේවි.

නව අදහස දක්වන්න