ශ්‍රී ලංකා-ඉන්දීය පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේ දී ඇරැඹෙයි | දිනමිණ

ශ්‍රී ලංකා-ඉන්දීය පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේ දී ඇරැඹෙයි

වර්නන් ගුණසේකර

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවට එරෙහිව තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාව අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසෙයි.

ශ්‍රී ලංකා ටෙස්ට් නව නායක දිනේෂ් චන්දිමාල් නියුමෝනියා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටින බැවින් අද ඇරැඹෙන පළමු ටෙස්ට් තරගයේදී රංගන හේරත් කණ්ඩායම මෙහෙයවනු ඇත.

සිම්බාබ්වේ ට එරෙහිව පැවැති එක ම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු හතරක ජයග්‍රහණයක් කරා ගෙන යමින් අට වැනි වතාවටත් ටෙස්ට් තරගයක කඩුලු 10ක් ලබා ගැනීමෙන් පසුව වමතින් දඟ පන්දු යවන හේරත් දැන් ජගත් ක්‍රිකට් කවුන්සල ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයට පත්ව සිටී. ශ්‍රේණිගත ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ඉන්දියාවේ රවින්ද්‍ර ජඩේජා ය. තවත් සුපිරි දඟ පන්දු යවන්නෙකු වන ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් හේරත් ට පසුව තෙවැනි ස්ථානයේ සිටී.

මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කර නැති වමතින් දඟ පන්දු යවන මලින්ද පුෂ්පකුමාර, තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා හා වේග පන්දු යවන නුවන් ප්‍රදීප් ඉන්දියාවට එරෙහිව අද ඇරැඹෙන පළමු ටෙස්ට් තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට නැවත වතාවක් එක්ව සිටිති.

සිම්බාබ්වේ සමග පැවැති ටෙස්ට් තරගය සඳහා වූ සංචිතයට ඇතුළත් කර නොසිටි ධනංජය ද සිල්වා සංචිතයේ චන්දිමාල්ගේ ස්ථානය ගනු ඇත. පුෂ්පකුමාර, වමතින් ‘චයිනමන්’ පන්දු යවන ලක්ෂාන් සඳකැන් වෙනුවට සංචිතයට එක්ව සිටින අතර ප්‍රදීප්ගේ පැමිණීමෙන් දුෂ්මන්ත චමීර ට සංචිතයෙන් ඉවත් වීමට සිදුව තිබේ.

තිස් හැවිරිදි පුෂ්පකුමාර පළමු පෙළ තරගවලදී පෙලහර පෑමට සමත් වූ පන්දු යවන්නෙකි. 19.85ක සාමාන්‍යයකින් යුතුව පළමු පෙළ කඩුලු 558ක් ලබා ගෙන සිටින පුෂ්පකුමාර ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩලුලාභීන් තිදෙනා අතර සිටී.

සංචාරක ඉන්දියා කණ්ඩායමට එරෙහිව පැවැති දෙදින පුහුණු තරගයේදී ධනංජය ද සිල්වා බින්දුවට දැවී ගියද ඔහු 2016 වසරේදී ටෙස්ට් පිටියේ දියුණුවක් ලබා ගත්තේය. ඒ, ඔස්ට්‍රේලියාව හා සිම්බාබ්වේ ට එරෙහි තරගමාලාවන්හිදීය. චන්දිමාල්ගෙන් හිස් වන මැද පිතිකරු පෙලේ ස්ථානයට ධනංජය සමග තරගයට සිටින්නේ ධනුෂ්ක ගුණතිලක ය. ආරම්භක පිතිකරුවෙකු වන ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පසුගියදා ක්‍රීඩා කෙරුණු ජාත්‍යන්තර එක්දින තරගමාලාවේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා විය.

පාදයේ ආබාධයක් හේතුවෙන් නුවන් ප්‍රදීප් ට දෙසතියක කාලයක් තරග බිමෙන් ඉවත්ව සිටීමට සිදුවිය.

ඉන්දියාව සමග පැවැති පුහුණු තරගයේදී කඩුලු දෙකක් ලබා ගත් විශ්ව ප්‍රනාන්දු ද සංචිතයට ඇතුළත්ව සිටී. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාලු තරග බිමේදීම විශ්ව මංගල ටෙස්ට් වරම් ලබා ගත්තද ඔහුට එම තරගයේදී පන්දු යැවීමට අවස්ථාව ලැබුණේ ඕවර දෙකකට පමණි. සුරංග ලක්මාල් හා ලහිරු කුමාර සංචිතයේ සිටින අනෙක් වේග පන්දු යවන්නෝ වෙති.

ඉන්දියා ටෙස්ට් කණ්ඩායම අවසන් වතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කළේ 2015 වසරේදීය. එවර එම කණ්ඩායමේ නායකත්වය දැරුවේද විරාට් කෝලි ය.

එම සංචාරයේ පළමු ටෙස්ට් තරගය පැවතියේද ගාල්ල ක්‍රීඩාංගණයේදීය. එම තරගයේ පළමු ඉනිමේදී ඉන්දියාව ලකුණු 192කින් පෙරමුණක් ලබා ගැනීමට සමත් විය. ඉන්පසුව ඔවුන් දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාව කඩුලු 5කට ලකුණු 95 දක්වා පහළට ඇද දැමුවේය. එහෙත් ඔවුන් ඒ ශක්තිමත් තත්ත්වයේ වාසියෙන් නියම ඵල නෙලා ගැනීමට අසමත් වෙමින් අවසානයේ තරගය ලකුණු 63කින් පරාජය වූහ.

එහෙත් එම තරගයෙන් පසුව කොළඹට පැමිණි ඉන්දියා කණ්ඩායම ඉතිරි තරග දෙක මෙන්ම ටෙස්ට් තරගමාලාවද ජය ගැනීමට සමත් විය. එය, වසර 22කට පසුව ඉන්දියාව, ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගමාලාවක් ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව විය.

එම ජයග්‍රහණයෙන් තම කණ්ඩායම තුළ විශ්වාසය ගොඩනැගුනු බව මෙවර තරගමාලාව සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව විරාට් කෝලි කියා සිටියේය.

ඊට මාස 12-15ක් ඇතුළත ඉන්දියාව ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ට පිවිසි අතර ඔවුන් දැනටත් එම තත්ත්වය ආරක්ෂා කර ගෙන සිටී.

“අපි එතැනට ඒමේ ආරම්භය සිදුවුනේ ශ්‍රී ලංකාවේදී බව මමත් කණ්ඩායමේ සැවොමත් තාමත් විශ්වාස කරනවා” යැයි කෝලි ප්‍රකාශ කළේය.

ඒ ජයග්‍රාහී කණ්ඩායමේ සාරය වර්තමාන කණ්ඩායමටද ඇතුළත්ව තිබේ. එහෙත් ඒ සමහර ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථ මතුව තිබේ. සංචාරක කණ්ඩායමට මුලින් තෝරා ගැනුණු මුරලි විජේ අතේ ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටී. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඉන්දියාවේ ආරම්භක පිතිකරුවන් වනු ඇත්තේ 2016 ඔක්තෝබරයේ සිට ටෙස්ට් ක්‍රීඩා කර නැති ශිකර් ධවාන්, 2017 වසරේ වැඩි කාලයක් උරහිසේ ආබාධයකින් පෙලුනු ලෝකේෂ් රාහුල් හා වසර පහකට පසුව ප්‍රථම වතාවට පසුගිය මාර්තුවේදී ක්‍රීඩා කළ ටෙස්ට් තරගයේදී ලකුණු 0 හා 16ක් වාර්තා කළ අභිනව් මුකුන්ඩ් යන තිදෙනා අතරින් දෙදෙනෙකි.

ශ්‍රී ලංකා සංචිතය: රංගන හේරත් (නායක), උපුල් තරංග, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, මලින්ද පුෂ්පකුමාර, නුවන් ප්‍රදීප්.

ඉන්දීය සංචිතය: විරාට් කෝලි (නායක), ශිකර් ධවාන්, අභිනව් මුකුන්ඩ්, චෙටෙස්වර් පුජාරා, රෝහිත් ශර්මා, අජින්ක්‍යා රහානේ, රිද්දිමාන් ෂහා, රවින්ද්‍ර ජඩේජා, හර්දික් පාණ්ඩ්‍යා, ඉෂාන්ත් ෂර්මා, උමේෂ් යාදව්, මොහොමඩ් සාමි, බුවනේෂ්වර් කුමාර්, කුල්දීප් යාදව්, රවිචන්ද්‍රන් අශ්වින්

 

නව අදහස දක්වන්න