වර්ජන තර්ජන

වැඩ වර්ජන කිහිපයක් පිළිබඳ කතිකාවෙන් සමාජය උණුසුම් වී තිබේ. වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය එක අතෙකින් පැවැති අතර තව අතෙකින් තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති වර්ජනයක් අරඹා තිබිණි. ‍මේ අතර උතුරේ නීතිඥයන් ද, විනිශ්චයකාරවරුන් ද වැඩ වර්ජනයක යෙදී තිබිණි. බැලූ බැල්මට පෙනී යන්නේ උතුරේත් - දකුණේත් වැඩ වර්ජන පවතින බව ය. ‍මේ අතර තෙල් සංස්ථා සේවකයන්ගේ වර්ජනය නිසා පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබිණි. මෙ ලෙස දිනපතාම පාහේ වැඩ වර්ජන ක්‍රියාත්මක කළහොත්; රටේ ආර්ථිකය තවදුරටත් පල්ලම් බසිනු ඇත. එලෙසම රටේ අනාගතයටද එය බලපානු ඇත.

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට හේතු ලෙස දක්වා තිබුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වලට නිදහසේ කටයුතු කිරීමට ඉඩ  නොදීම ඇතුළු තවත් හේතු ගණනාවකි. මේ සයිටම් ප්‍රශ්නයේ තවත් දිගුවක් බව ඕනෑම කෙනකුට වැටහී යනු ඇත. ‍වෛද්‍ය ශිෂ්‍ය නායක රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණ ද එය ඉටු කරගත නොහැකි විය. වෛද්‍ය පීඨ ගණනාවක අධ්‍යයන කටයුතු ඇනහිට ඇත්තේ සයිටම් ප්‍රශ්නය මූලික කරගෙන ය. වෛද්‍ය පීඨවලින් ලැබෙන ආරංචිවලට අනුව ඒවායෙහි අවසන් පරීක්ෂණවලට ශිෂ්‍ය ප්‍රජාවගෙන් වැඩි පිරිසකට මුහුණ දිය නො හැකිය. ඒ පන්ති වර්ජන නිසා ය. මේ අනුව ඊළඟ වසරේ වෛද්‍ය පත්වීම් ලබාදීම ගැටලුවක් වනු ඇත.

එක අතෙකින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය දුර්වල වෙමින් පවතී. තව අතෙකින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය දුර්වල වෙමින් පවතී. මේ වන විට ඩෙංගු රෝගය නිසා රටේ වසංගත තත්ත්වයක් පවතී. රට පුරා ඇති ‍රෝහල් ඩෙංගු ‍රෝගීන්ගෙන් පිරී පවතී. එලෙස ම වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන ද වරින් - වර ක්‍රියාත්මක වෙයි. විවිධ සාකච්ඡා පැවැත්වෙන්නේ වුව වෛද්‍ය සංගමය පසුවන්නේ දැඩි මතයක යැයි සිතන්නට පුළුවන. මේ අයුරින් දිගින් - දිගටම වැඩ වර්ජන ක්‍රියාත්මක කළ හැකිද? ඊට ගත යුතු පියවර කුමක්ද? යන ප්‍රශ්නවලට තව ම පිළිතුරක් නැත. අසරණ රෝගීන් දිනෙන් දින පීඩනයට පත්වන බවක් පෙනෙන්නට තිබේ. රජය මේ සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට යෑම වැදගත් ය.

එක්කෝ වෛද්‍ය සංගමයට ගැළපෙන අයුරින් සයිටම් ප්‍රශ්නය විසැඳිය යුතුය. එසේ නැතහොත් රජය ලබා දෙන විසඳුම්වලට වෛද්‍ය සංගමය එකඟ විය යුතුය. දෙපැත්තේ ම කඹ ඇදීමෙන් සිදුවන්නෙ රෝග උත්සන්න වීම හා රෝගීන් පීඩාවට පත්වීම ය. තවත් අතෙකින් වෛද්‍ය සංගමය රටේ නීතියට අභියෝග කිරීම නැවැත්විය යුතුය. විශ්වවිද්‍යාල සිසුන් බළල් අත් ලෙස ‍ගෙන ක්‍රියා කිරීමද නැවැත්විය යුතුය. විශ්වවිද්‍යාල සිසුන් අරගලවලට යොමු කිරීම, ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමත් සැලැකිය හැක්කේ බරපතළ අපරාධයක් හැටියටය. නැතහොත් පාපයක් හැටියට ය. විශ්වවිද්‍යාල ප්‍රජාව යනු රටේ අනාගත ආයෝජනයකි. ඔවුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීම යහපත් නැත.

තෙල් සංස්ථාවේ සේවක වර්ජනය හිටිහැටියේ ඇතිවූ එකක් ලෙස ද සැලැකිය හැකි ය. ඔවුන් පූර්ව ක්‍රියාමාර්ගවලට නොගොස් වර්ජනයෙන් ම විරෝධතාව ආරම්භ කර තිබේ. හේතු කිහිපයක් දක්වා ඇත. පළමු වන්න ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාව වෙත ලබාදීම වහාම නැවැත්විය යුතුය. දෙවන්න හම්බන්තොට වරාය චීනයට විකිණීම නැවැත්විය යුතුය. තෙවන්න හම්බන්තොට වරායේ තෙල් ගනුදෙනු පිළිබඳ කටයුතු තෙල් සංස්ථාවට පැවරිය යුතුය. ආණ්ඩුවේ වැඩ තෙල් සංස්ථාවේ සේවකයන් භාර ගැනීමට යන බවක් පෙනෙන්නට තිබේ. හම්බන්තොට වරාය පවතින්නේ පාඩු ලබන ආයතනයක් හැටියට ය. රජය උත්සාහ කරන්නේ එය ලාභ ලබන ආයතනයක් ලෙස පවත්වා ගැනීමට ය . තෙල් සේවකයන් මේ තත්ත්වය වටහා නොගැනීම ගැටලුවකි.

ත්‍රිකුණාමල - චීන වරායට අයත් තෙල් ටැංකි පවතින්නේ දීර්ඝ කාලයක සිට ය. ‍දෙවන ලෝක යුද්ධය පවතින අවස්ථාවේ එම කටයුතුවලට සහයෝගය ලබාදීම සඳහා ඉංග්‍රීසි ආණ්ඩුව විසින් මේවා ගොඩනඟන ලදී. රට නිදහස් වීමෙන් පසු මේවා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන දීර්ඝ කාලයක් පැවතිණි. එකල කිසිවකු මේ ටැංකිවලින් ගත හැකි ප්‍රයෝජනයක් ගැන කතා කළේ නැත. ඒවා තෙල් පුරවා ප්‍රයෝජනයකට ගැනීමට නම්; විශාල මුදලක් ද වැය කළ යුතුය. රජයට මේ මොහොතේ එය දැරිය නො හැකි ය. විදේශ සමාගම්වල පිහිට ඉල්ලා සිටින්නේ ඒ නිසාය .

මේ විරෝධතාවලින් ද, වැඩ වර්ජනවලින් ද පෙනී යන්නේ රජයේ ආර්ථික වැඩපිළිවෙළ හා ආර්ථික දර්ශනය පිළිබඳ අබමල් රේණුවක වැටහීමක් වෘත්තීය සමිතිවලට නැති බවය. ගිය ආණ්ඩු සමයේ සිදු වූ ආර්ථික ගනු‍දෙනු ගිවිසුම් හා තවත් දේවල් ඉදිරියේ වෘත්තීය සමිති මේ අයුරින් ක්‍රියා කළ බවක් දකින්නට ලැබුණේ නැත. ඇතැම් දූෂිත ගනුදෙනුවල දී පවා වෘත්තීය සමිති ක්‍රියා කළේ නිද්‍රාශීලී පිළිවෙතකට අනුව ය . “හෙජින්” සිද්ධිය ඊට හොඳම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකි ය. අද පවතින වෘත්තීය සමිති සිය සැබෑ කාර්යභාරය අමතක කොට දේශපාලකයන්ගේ ඕනෑ එපාකම් ඉටු කිරීමට යන්නේ යැයි චෝදනාවක් තිබේ. එම චෝදනාව පහසුවෙන් ඉවත ලිය නොහැකි බව ද පැහැදිලිය.

උතුරේ විරෝධතාව ක්‍රියාත්මක වී ඇත්තේ ‍කෙටි කාලයක් සඳහා යැයි කියන්නට පුළුවන. එහෙත් උතුරේ ‍බොහෝ විනිසුරුවරු විරෝධතාවට එක් වී උන්හ. නීතිඥයෝ ඊට සහභාගී වූහ. නඩු විභාග නැවතී තිබූ බැවින් ජනතාව අසීරුවට පත් වූහ. එහෙත් මේ වර්ජනයට අදාළ හේතු සලකා බලනවිට යම් යුක්තිසහගතභාවයක් දැනෙනු ඇත. ඔවුන්ගේ එක් විරෝධතාවක් වන්නේ සිංහල පොලිස් සාජන්වරයා වෙඩි තබා මරා දැමීමය. ඔවුන්ගේ අ‍නෙක් වි‍රෝධතාව වන්නේ විනිසුරුවරුනට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයනු යන්න ය. ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් ජනාධිපතිවරයා පියවර ගෙන ඇතැ’යි දැනගන්නට ලැබේ.

කුමන අර්ථයකින් ගෙන බැලුව ද රාජ්‍ය සේව‍යේ වර්ජනවලින් බලවත් අපහසුතාවට පත් වන්නේ දුගී -දුප්පත් ජනතාවය. අනෙක් අතින් එය බලපාන්නේ රටේ ආර්ථිකයට ය. ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික මිනිස් අයිතීන් ස්ථාපිත වී තිබුණු පමණින් අත්තනෝමතික ලෙස වර්ජන ක්‍රියාත්මක කිරීම බලවත් වැරැද්දකි. පෞද්ගලික අංශයේ බස් වර්ජනයක් ගැනද ඉඟි පළවෙමින් පවතී. සේවක අයිතිවාසිකම් ගැන මෙන් ම මහජන අයිතිවාසිකම් ගැන ද බලන ප්‍රබුද්ධ සමාජයක් රටේ පැවැතිය යුතුය. එහෙත් අද දකින්නට ලැබෙන්නේ ඒ කිසිවක් ගැන නොහිතන සමාජයකි. මීට වගකිවයුත්තේ කවර හු ද?


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...