තෑග්ග | දිනමිණ

තෑග්ග

ශාන්ති දිසානායක

හඬින් සහ කවියෙන් ඔහුගේ උදාර හදවත දැක තිබුණද මේ හදිසි හමුවීම අරුමයක් හා ආශ්චර්යයක්ම විය. මවුබිමට පැමිණි දේශද්‍රෝහියා (සමහරු කියන විදියට) මා දකින්නට පැමිණෙන බව දුරකතනයෙන් කී කල මම පුදුමයටද සොම්නසින්ද ඇලලී ගියෙමි.

ඉතිං අන්තිමේදී මගේ වීරයා හිත මිතුරන් දෙදෙනෙකුද සමඟ මගේ අති පැරණි බල කොටුවක් වැනි අවලස්සන ගෘහයේ දොරකඩ පෙනී සිටියේය.

යුද්ධයට එරෙහි වීම නිසාම මව්බිම අත හැර විදෙස් ගත වන්නට සිදු වූ මහේෂ් මුණසිංහ කවියාද මානව ප්‍රේමියාද වෙනුවෙන් මට කළ හැකිව තිබුණේ කැඳ පිසදීම පමණි. ඔහු ඒ කටුක හා දිළිදු සංග්‍රහය ඉතසිතින් අගය කළේය.

මහේෂ් මුණසිංහයන්ගේ කවිකාර කටකාර බිරින්දෑ සුභද්‍රා ජයසුන්දර මට තිළිණයක් එවා තිබිණ. බූන්දි වෙබ් අඩවියේත් ටැක්සි බ්ලොග් අඩවියේ සහ රාවය පුවත්පතේත් පලව තිබූ කවි එකතු කොට බුන්දි පොතක් ලෙස එළිදුටු “රනින් රන් හදැත්තී” කාව්‍ය සංග්‍රහය ඇගේ ය. කිව යුත්ත නොසඟවා කියන සුභද්‍රා එඩිතර හා ඍජු ගැහැනියක ලෙස මගේ අති මහත් ගෞරවාදරයට ලක්වන්නීය.

“ගැහැනියක වෙමි” කාව්‍යයේ ඇබින්දක් නොදක්වා සිටින්නේ කෙලෙසින්ද?

ගැහැනියක වෙමි

ළය වසා ළැමද

ගැබ වසා ඉඟද

වසා රොද වසා උකුලද දරමි

දරුවන් දැරූයෙන්ද

දරුවන් වැදූයෙන්ද

දුකම විඳිමින්

දුකම දිනූයෙමි

“රනින් රන්’

“රනින් රන් හදැත්තී” රන් හදවතකින්ම උත්පාදනය වූ කව් එකතුවක් බව සඳහන් කරන්නේ සුභද්‍රා ජයසුන්දර කිවිඳිය සමඟ පවත්නා මිත්‍ර බව හේතුකොටගෙන නොවේ. සැබැවින්ම සිහිනය, “සේරා”, “ඒස හි තුය්හ පිතා”, “මගේ ලේ නිල් පැහැය” වැනි කවි ඇගේ නොනවතින කියවීමේ පුළුල් පරාසයද මානව දයාවෙන් ළතෙත් හදමතද විදහා දක්වයි.

සුභද්‍රා ජයසුන්දරගේ තිළිණය රැගෙන ආ මහේෂ් මුණසිංහගේ “මළ දූපත” (2008 – 2010 කවි එකතුව) කාව්‍ය සංග්‍රහය යුද්ධයේ අරුත්සුන් ඛේදවාචකය පිළිබඳව රසික ඇසට නොව හදට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙන අපූරු නිර්මාණයකි.

“මළ දූපත” කවි එකතුවේ “විධායකය” නම් කවියේ අග්ගිස්ස දක්වමි.

අහා! දැක්කද?

පහල විය සක්විති

බහුතරයම කැමැති

භූපති අහස්පති

විධායක ජනපති

අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධූරය අවඥාවට ලක් කරන අතරේම කවියා පාන විරෝධය සියුම් වුවද බලවත්ය.

“අවුරුද්ද”

අප්‍රේල් සුළඟ

වන්නියෙන් එන්න දකුණට

වෙඩි වැදී මියැදී

තැන තැන දැවුණු

අඩක් වැළලූ

මළමිනී ගඳ අරගෙන

ඇවිත් මුසුවෙන්න අවුරුදු උදෑසන

කැවුම් අතිරස බැ‍ඳෙන සුවඳට

පෙණ දදා

ගේ මැද උතුරවන කිරි සුවඳට

එකම රටක සහෝදර ජන වර්ග දෙකක් අතර තිස් අවුරුදු යුද්ධය හකුළුවා කියන ඒ කවිය යුද්ධයේ තිරශ්චීන බවත්, ගොරබිරම් බිහිසුණු බවත් හඩඟා නොකියයිද?

ජාතිවාදියෙකු වෙනුවට මානව වාදය තෝරා ගත් මගේ මිත්‍රයා ආපසු යනතුරු මගෙ කොල්ලන් බලා සිටියේ නොඉවසිල්ලෙනි. ඒ සුභද්‍රා ජයසුන්දර කිවිඳිය එවූ තෑග්ග පිරික්සා බැලීමේ දැඩි උවමනාව හා කුහුල හේතුකොටගෙනය.

“අම්මා”

මා බෙහෙවින් ඇලුම් කරන විරල ගණයේ සැබෑ මනුෂ්‍යයෙකු ඇවිත් ගිය බව අදහාගත නුහුණු මට දරුවන්ගේ හඬ ගෑම කන්කරච්චලයක් සේ හැඟිණ.

“මේ බලන්න අම්මා.”

“අනේ එන්නකෝ අම්මා... මේ තෑග්ග බලන්න කෝ...”

ජාතිබේදය පිටු දකිමින් සැබෑ මනුෂ්‍යත්වයම අගය කරන මහේෂ් මුණසිංහ කවියා පිළිබඳ උණුසුම් මතකයෙන් නොමිදී මම කරදරකාර කොල්ලන් කරා ගියෙමි.

“ලස්සන තෑග්ගක්..”

ත්‍යාගය විවර කර තිබිණ

“වළලු..?”

මම ඉමහත් පුදුමයෙන් හඬ ගෑවෙමි.

“ඔව් වළලු...!”

කොල්ලෝ හිස් සැලූහ.

“මගෙ දෙයියනේ...” යි පුදුමයද හාස්‍යයද දරා ගත නුහුණු මම සිනාසුණෙමි.”

“සුභද්‍ර නැන්දා දන්නෙ නැද්ද අම්මා මාල, වළලු, මුදු, කරාබු මුකුත්ම දාන්නෙ නෑ කියලා...”

නිවුන් පුතුන් ප්‍රශ්න කළේ ඒ රිදී වළලුවල හැඩ බලමිනි.

“එයා ...එයා හිතැන්නැති මම ආසවෙයි කියල.

“අනේ අම්මා දාන්නකෝ එක වළල්ලක් හරි දාන්නකෝ”කොල්ලෝ ආයාචනා කළහ.

“මං ආසම නෑනේ ළමයිනේ... අනේ මට මහා කරදරයක්..”

“ඒ වුණාට ඉතිං මහේෂ් මාමා ඔච්චර දුර ඉඳලා අරං ආපු හින්දවත් එකක් දාන්න අම්මා..”

වළලු අතින්ගත් කොල්ලෝ මා ලුහුබඳින්නට වූහ.

මා පැන දිව්වේ වළලු නොව ඔවුන් මාංචු රැගෙන එන කලෙක මෙනි. 

 

නව අදහස දක්වන්න