ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ හුවාවේ අත්වැල් බැඳ ගනී | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ හුවාවේ අත්වැල් බැඳ ගනී

ගීෂා මුණසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස මෙරට ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාම නාමයක් වන හුවාවේ පසුගියදා සහයෝගිතාවකට එළැඹියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි හා කාන්තා ජාතික කණ්ඩායම් දෙක සඳහාම මේ අනුග්‍රාහකත්වය සැපයෙන අතර ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරග සඳහා මේ සත්ක­ාරකත්වය ක්‍රියාත්මක වෙයි.

හුවාවේ ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග්, හුවාවේ ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්ර් ලියු හා ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා යන මත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, එක්දින හා විස්සයි20 නායක උපුල් තරංග හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත්ගේ සහාභාගිත්වයෙන් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී නිළ වශයෙන් හුවාවේ i ලාංඡන සහිත ක්‍රිකට් නිල ඇඳුම එළි දැක්විම සිදු කෙරිණි.

මේ අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංක ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු බවට පත්වීමට හැකිවීම හුවාවේ සමාගම ලද ගෞරවනීය අවස්ථාවක් වන බවත් මේ සහයෝගීත්වය සමග හුවාවේ හි සන්නාම වටිනාකම දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ව්‍යාප්ත කිරීමට අනගි අවස්ථාවක් හිමිවන බවත්ය. ඔවුන් සන්නාමයේ තේමාව වන “Make it Possible” යන්න ඒ ඔස්සේ තහවුරු වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

සෑම ශ්‍රී ලාංකිකයකුටම සමීපවීමට ලද හොඳම ‍අවස්ථාවක් ලෙස මේ අනුග්‍රාහකත්වය සලකන බවද හෙතෙම අදහස් දක්වමින් පවසා සිටියේය.

මේ අවස්ථාව සමරමින් හුවාවේ වෙතින් ක්‍රිකට් ලෝලීන් සඳහා නව ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක වෙයි. මේ යටතේ පසුගිය ජූලි 17 වැනිදා සිට සැප්තැම්බර් 9 වැනි දක්වා GR3 2017, GR5 2017 හෝ GR5 Premium ස්මාට්ෆෝන් මිලදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුම වටිනා ත්‍යාග පිරිනැමීමට සැලසුම් කර තිබේ. ඉන්දීය-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඳුම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අත්සන් සහිත සමරු ක්‍රිකට් පිති දිනාගැනීමට අවස්ථාවද පාරිභෝගිකයන්ට හිමිව ති‍බේ.

හුවාවේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර සබඳියාව වසර 2014 දී සවිමත් වූයේ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ප්‍රථම වරට අනුග්‍රාහකත්වය දැක්වීමෙනි. තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන ලොව ප්‍රකට හා ප්‍රමුඛ සමාගමක් වන හුවාවේ යුරෝපය, අාසියාව, අප්‍රිකාව, අමෙරිකාව සහ ඕෂනියා කලාපවල රටවල් සඳහා විවිධාකාරයෙන් අනුග්‍රාහකත්ව සපයයි. 

නව අදහස දක්වන්න