සිද්ධිවලට තටු ලැබීම! | දිනමිණ

සිද්ධිවලට තටු ලැබීම!

 නල්ලූර් සිද්ධිය තවදුරටත් උණුසුම් මාතෘකාවක් ලෙස පවතී. ඒ පිළිබඳ සත්‍යය සොයනවාට වඩා සිද්ධිය කේන්ද්‍ර කොට ගොතන ලද ප්‍රබන්ධ හා මතවාද කෙරෙහි සමාජයේ අවධානය යොමු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. සිරිත් පරිදි අපේ සමාජය ප්‍රබන්ධ ඔස්සේ භීතිය, ත්‍රාසය හා වෙනත් හැඟීම් ඇතිකර ගැනීමට දක්ෂ වෙති. ඒවා සමාජය පුරා වේගයෙන් ප්‍රචලිත කිරීමටද දක්ෂ වෙති. අපගේ අත්දැකීමට අනුව පුද්ගලයා ආරංචි පිළිබඳ ගනු දෙනුව සිදු කරන්නේ තමන්ගේ කොටස ද ඊට එකතු කරමින් ය. ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය හා ආගම්වාදය ව්‍යාප්ත වන්නේ ද මේ න්‍යායට අනුකූල ලෙස ය.

අපරාධ සිද්ධියක් පිළිබඳ ඇත්ත දැනගත හැක්කේ පොලිස් ආරංචි මාර්ග ඔස්සේ මිස කටකතා ඔස්සේ නො වේ. පොලීසිය නල්ලූර් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කර ඇත. එම පරීක්ෂණවලට අනුව මෙය අහඹු සිද්ධියකි. නල්ලූර් කෝවිල ආසන්නයේ වැලිතලාවක මත්පැන් පානය කරමින් සිටි තිදෙනෙක්, ඒ අසල ත්‍රීරෝද රථගාලේ පිරිසක සමඟ ගැටුමක් ඇති කරගෙන තිබේ. එම ගැටුමේ ප්‍රතිඵලයක් හැටිය මහ පාරේ වාහන තදබදයක් පැවැතී ඇත. එම වාහන තදබදය අතර විනිසුරුතුමාගේ රථය ද තිබී ඇත. ඔහුගේ ප්‍රධාන ආරක්ෂකයා ඉදිරියට ගොස් වාහන තදබදයට හේතු සොයන්නට පටන්ගෙන තිබේ.

ගැටුම වෙඩිතැබීමක් දක්වා දුරදිග යන්නේ එතැනදී ය. පොලිස් නිලධාරියාගේ ගිනි අවිය උදුරාගත් බීමත් පුද්ගලයෙක් ඉන් නිලධාරියාට වෙඩි තබා ඇත. ඉනික්බිති ඔවුන් පලා ගොස් ඇත. එක සැකකරුවකු ඉතා ඉක්මනින් ම අත්අඩංගුවට ගෙන තිබේ. මේ වෙඩිතැබීම විනිසුරුවරයා ඉලක්කකොට සිදුවූ දෙයක් නො වන බව බැලූ බැල්මට ම පෙනේ. කිසියම් පිරිසකට විනිසුරුවරයාගේ ජීවිතයට හානියක් සිදුකිරීමට අවශ්‍ය වූයේ නම්; ඔවුන් සන්නද්ධව මේ ස්ථානයට එන බවට සැකයක් නැත. බීමත් පිරිස නිරායුධ කණ්ඩායමකි. චූදිතයා වෙඩි තබන්නේ පොලිස් නිලධරයාගේ ගිනි අවියෙන් ය.

මේ සිද්ධිය රටේ උණුසුම් මාතෘකාවක් බවට පත් වන්නේ සාධක තුනක් මත යැයි කියන්නට පුළුවන. එක සාධකයක් වන්නේ විනිසුරුවරයකු ගේ ආරක්ෂකයකුට වෙඩි තැබීම ය. දෙවන සාධකය වන්නේ රට කම්පනයකට පත් කළ විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ නඩුවේ තීරකයකු ලෙස මේ විනිශ්චයකාර මහතා කටයුතු කිරීම ය. තෙවන සාධකය වන්නේ උතුරේ යළිත් සන්නද්ධ කල්ලි ක්‍රියාත්මක වන්නේ යැයි මතයක් ප්‍රචාරය කිරීම ය. මේ මතය ප්‍රචාරය කිරීම දේශපාලන ව්‍යාපාරයක් බවට පත් ව තිබේ. ඒ පසුපස ඇත්තේ ජාතිවාදය බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙයින් වඩාත් භයානක වන්නේ තෙවන සාධකය යැයි කියන්නට පුළුවන. උතුරේ කිසිදු සන්නද්ධ කල්ලියක් නැති බවත්, ත්‍රස්තවාදයේ නැඟීසිටීමක් හෝ නැවත ආරම්භයක් හෝ නැති බවත් පොලීසිය කියා සිටී. උතුරේ දේශපාලකයෝ ද මේ තත්ත්වය තහවුරු කරති. උතුරේ දේශපාලනයේ ප්‍රධාන චරිත දෙකක් වන විග්නේශ්වරන් මහතා ද ආර්. සම්බන්ධන් මහතා ද ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරති. එපමණක් නොව; ඔව්හු ජාතීන් අතර සංහිඳියාව සඳහා ක්‍රියාකාරී ලෙස දායක වෙති. මෙය හොඳ තත්ත්වයකි. යුද්ධයෙන් පසු සාමය සඳහා එළඹී ඇති හොඳම අවස්ථාව මේ යැයි කියන්නට පුළුවන. එහෙත් මේ තත්ත්වය විකෘති කරන පිරිසක් ද සිටිති.

මීට ටික කලකට පෙර ආවා නමින් සන්නද්ධ කල්ලියක් ඇතැ’යි බරපතළ ප්‍රචාරයක් රට පුරා පැවැතිණි. කෙනෙක් එය ත්‍රස්තවාදයට සම්බන්ධ කළහ. තව කෙනෙක් එය ආරක්ෂක අංශවලට සම්බන්ධ කළහ. තවත් කෙනෙක් එය උතුරේ අලුත් ම සන්නද්ධ කල්ලිය ලෙස ද එහි කාර්යය දෙමළ ජාතිවාදය පැතිරවීම ලෙස ද හඳුන්වා දුන්හ. මේ පිළිබඳ ප්‍රචාර එකිනෙක ආකාරයෙන් රට පුරා ව්‍යාප්ත විය. එහෙත් පරීක්ෂණ වලින් හෙළිදරව් වූයේ ඊට අදාළ සිද්ධි පෞද්ගලික හේතු මත ඇති වූ ඒවා බවය. එනම්; “ආවා” කල්ලිය යනු අහඹු සිදුවීම් පෙළ ගස්වා ප්‍රචාරය කරන ලද්දක් බව ය . මේවායෙහි යටි අරමුණු වෙනස් වන්නට පුළුවන.

මේ විග්‍රහවලින් කියැවෙන්නේ නල්ලූර් සිද්ධිය සුළුකොට තැකිය යුතු බව නොවේ. විනිශ්චයකාරතුමෙකුගේ ආරක්ෂාව තහවුරු කර ගත නො හැකි නම්; ඒ රටේ නීතිය ද යම් ආකාරයකින් අභියෝගයකට ලක්වීමට පුළුවන. මෙබඳු සිද්ධි කිහිපයක් ඉතිහාසයෙන් උකහාගත හැකි ය. වරක් විනිශ්චයකාරවරුන්ගේ නිවෙස්වලට ගල් ප්‍රහාර එල්ල විය. තව වරක් විනිශ්චයකාරවරුන්ට හූ කියූ සිද්ධියක් අසන්නට ලැබිණි. එලෙස ම විනිශ්චයකාරයකු එක්තරා නඩුවක් සඳහා අල්ලස් ඉල්ලා සිටි අවස්ථාවක් ද වාර්තා වී තිබිණි. ‍මේ සිදුවීම් නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ විනිශ්චයකාර පදවිය ද විවිධ හැළහැප්පීම්වලට ලක්වී ඇති බවය. කෙසේ වුව පිළිගත යුතු සත්‍යය වන්නේ මේ තනතුරු දරන පුද්ගලයන් සඳහා පූර්ණ ආරක්ෂාවක් ලබා දිය යුතු බව ය. ජනාධිපතිවරයාගේ අවධානය ඒ කෙරෙහි යොමු වී තිබීම වැදගත් ය.

ජනාධිපතිවරයාගේ නියමය වී ඇත්තේ මින් ඉදිරියට විනිශ්චයකාරවරුන් සඳහා පූර්ණ පොලිස් ආරක්ෂාවක් ලබාදිය යුතු බව ය. ඒ අනුව ආයුධ සන්නද්ධ පොලිස් භටයන් කිහිප දෙනකු මේ සඳහා යෙදවිය යුතු වේ. එය නීතියේ ආධිපත්‍යය තහවුරු කරන රජයකට ඉතා වැදගත් බව කිව යුතුය. නල්ලූර් සිද්ධියට මුහුණ පෑ විනිශ්චයකාරතුමාගේ ප්‍රකාශයකට අනුව ප්‍රහාරය එල්ල වී ඇත්තේ තමන් ඉලක්ක කොට ගෙන ය. පොලිස් පරීක්ෂණවලින් එවැන්නක් හෙළිදරව් වී නැතත් විනිශ්චයකාරතුමාගේ ප්‍රකාශය පහසුවෙන් බැහැර කළ හැකි නොවේ. විද්‍යා ඝාතන නඩුවේදී හෙළිදරව් වූ සාධකවලට අනුව එහි චූදිතයන් ද බලවත් ය. ඔවුනට විදේශීය සබඳතා ඇති බවද පැහැදිලිය. ඒ අනුව තවදුරටත් පරීක්ෂණ පවත්වා නල්ලූර් සිද්ධියේ ඇත්ත තත්ත්වය පැහැදිලි කර ගත යුතුව තිබේ.

මෙබඳු සිදුවීම් වාර්තා වනතුරු අපේක්ෂා සහගතව බලා සිටින කණ්ඩායම්ද සිටිති. ඒ අනුව වාර්තාකරණය හා ආරංචි පැතිරවීම ද පරෙස්සමෙන් සිදු කිරීම වැදගත් ය. සංවේදී පරිසරයක් තුළ අතිශය සංවේදී සිදුවීම් අගතියක් නො වන අයුරින් වාර්තා කරන්නේ කෙසේ ද යන්න පුහුණු විය යුතු ය. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය එබඳු පුහුණුවීම්වලට ඒ හැටි කැමැත්තක් නැත. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...