අත්අඩංගුව! | දිනමිණ

අත්අඩංගුව!

වෛද්‍ය ශිෂ්‍ය සභාවේ කැඳවුම්කරු රනිල් ජයලත් අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහය මේ වන විටත් විවේචනයට ලක්වෙමින් පවතී. විවේචනය එල්ල වන්නේ පොලිසිය වෙත ය. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් ක්‍රියා කළ අන්දම, අත්අඩංගුවට ගැනීම සඳහා යොදාගත් අවස්ථාව හා තවත් දේවල් බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක් වෙයි. ඇමැති මංගල මේ සිද්ධිය හෙළා දැක තිබේ. ඇමැති සාගල සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැ’යි පොලිස්පතිවරයා වෙත නියෝගයක් ලබා දී ඇත. මේ අතර පොලිස්පතිවරයාගේ අණ පරිදි සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බව ද දැනගන්නට තිබේ.

ශිෂ්‍ය නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් පැමිණ ඇත්තේ සිවිල්පිට බව කියති. ඔවුනට ප්‍රවාහන පහසුකම් ලබා ඇත්තේ සුදුපාට වෑන් රථයකින් බව ද කියති. රනිල් ජයලත් ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් සිටිය දී අත්අඩංගුවට ගැනීම සඳහා උත්සාහය දරා ඇත. සුදු වෑන් සංස්කෘතිය ගැන කියන විට පොදු ජනතාව තුළ මතුවන්නේ බලවත් භීතියකි. පැහැර ගැනීම හා අතුරුදන් කිරීම එම සංස්කෘතියට ඇතුළත් ය. එබඳු සංස්කෘතියක් නැවත බිහිවිය යුතු නැත.

පොලීසිය පැත්තෙන් ගෙන බලන විට ශිෂ්‍ය නායක යා අත්අඩංගුවට ගැනීමට තරම් හේතු සාධක තිබේ. එහි අර්ථය වන්නේ නීතියේ ප්‍රතිපාදනවලට අනුව මේ අත්අඩංගුවට ගැනීම සිදුවීමට නියමිත ව තිබූ බව ය. සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් දේපොළවලට හානි කිරීම, රාජකාරියට බාධා කිරීම, එම පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවීම, ඇතුළු තවත් චෝදනා ඔහු වෙනුවෙන් ගොනු වී ඇත. මේ හැරෙන්නට රනිල් ජයලත් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ඇති බව ද කියති. එම වරෙන්තුව නිකුත් වී ඇත්තේ උසාවි නියෝග නොතකා මහජනයාට හිරිහැර වන අන්දමින් උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් ය. නීතියට අනුව නම් ඔහු අත්අඩංගුවට ගත යුතු ය.

කෙනකු අත්අඩංගුවට ගැනීමේ දී පොලිස් නිලධාරීන් අනුගමනය කළ යුතු රීති හෙවත් සම්මුති ගණනාවක් ද තිබේ. ඉන් වැදගත් ම රීතියක් වන්නේ පොලීසියේ අනන්‍යතාව ප්‍රකට කිරීම ය. ඒ සඳහා පොලිස් නිල ඇඳුම තිබිය යුතු ය. එහෙත් මේ සිද්ධියේ දී නිලධාරීන් පැමිණ ඇත්තේ සිවිල් ඇඳුමෙන් සැරසීගෙන ය. එය වරදක් යැයි කෙනකු තර්ක කරන්නට පුළුවන. පසුගිය කාලයේ අත්දැකීම් ගතහොත් සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයෝ විවිධ පැහැර ගැනීම් සිදු කළහ. ආරක්ෂක අංශවල සමහරු ද සිවිල් ඇඳුමින් සැරසී පැහැර ගැනීම් සිදු කළහ. එම සිද්ධිවල දී සමහරුන් අතුරුදන් වී ඇත. ඊට අදාළ ගැටලු තවම විසැඳී නැත. අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන කාර්යාලයක් පිහිටුවීමට සිදු වී ඇත්තේ ද මෙබඳු සිද්ධි නිසා ය.

එම අවස්ථාවේ දී ශිෂ්‍ය නායකයා අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත. පොලීසිය එහි දී අසාර්ථක වී ඇතැ’යි කියන්නට පුළුවන. සමාජ ක්‍රියාධරයන් හා සභාව මැදිහත් වී පොලිසිය පලවා හැර ඇතැ’යි සමහරු පෙන්වා දෙති. නිල ඇඳුමක් නොවීමත් මීට එක් හේතුවක් විය හැකි ය. අත්අඩංගුවට ගැනීම සඳහා යොදාගත් අවස්ථාව පවා අනුචිත යැයි කියන්නට පුළුවන. ප්‍රසිද්ධ සභාවක දී පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා නීතියේ ප්‍රතිපාදන තිබෙන්නට පුළුවන. එහෙත් එය සදාචාරාත්මක දැ’යි මේ නිලධාරීන් කල්පනා කළ යුතුව තිබිණි. පොලීසිය යනු රජය නියෝජනය කරන ආයතනයකි. එම ආයතනය සම්බන්ධයෙන් ගොනු වන චෝදනා බැර වන්නේ රජයේ ගිණුමට ය.

අත්අඩංගුවට ගැනීමට අදාළ සිද්ධි සම්බන්ධයෙන් සියුම් නිරීක්ෂණයක යෙදෙන විට පොලිස් නිලධාරීන් ගේ පැත්තෙන්ද මීට තර්කයක් ගොඩනැගිය හැකි ය. එනම්; පොලීසිය නිල ඇඳුමෙන් සැරසී අත්අඩංගුවට ගැනීම් සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන විට චුදිතයන් වහා පලා යන බව ය. එහි සත්‍යතාවක් තිබේ. නිල ඇඳුමෙන් සැරසී සියලු අපරාධකාරයන් අත්අඩංගුවට ගත නොහැකි ය. ඒ සඳහා විවිධ ක්‍රමවේද භාවිත කිරීමට පොලීසියට සිදු වේ. එහෙත් ගමේ කසිප්පුකාරයකු හෝ නගරයේ කුඩු වෙළෙන්දකු හෝ අත්අඩංගුවට ගැනීමට වඩා වෙනස් ම පසුබිමක් ශිෂ්‍ය නායකයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පසුපස තිබේ. එය බුද්ධිමත් පොලිස් නිලධාරීන් වටහාගත යුතුව තිබිණි.

ඇමැති මංගලගේ විවේචනය මෙන්ම ඇමැති සාගලගේ වාර්තාවක් ඉල්ලා සිටීමේ සිද්ධිය ද මේ අනුව යුක්ති සහගත බව පෙනෙයි. පොලිස්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යෙදීම ද අගය කළ යුතු ය. නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා රජය ප්‍රතිඥාවක් ලබාදී තිබේ. නීතියේ ආධිපත්‍යය යනු චුදිතයන් ඉවක් බවක් නැතිව අත්අඩංගුවට ගැනීම හෝ නඩු දැමීම නො වේ. මේ සියල්ලට විනිවිදභාවයක් තිබිය යුතු ය. තව අතෙකින් මේවා ප්‍රජාතන්ත්‍රවාදයට හා මූලික මිනිස් අයිතිවාසිකම්වලට සම්බන්ධ ගැටලු බවද අමතක නොකළ යුතු ය. පොලීසියට වුව හිතුවක්කාරී ලෙස ක්‍රියා කිරීමේ අයිතියක් නැත.

අපේ මෑත කාලීන දේශපාලන ඉතිහාසය විමසන විට පොලීසිය අත්තනෝමතික ලෙස ක්‍රියා කළ අවස්ථා ඕනෑතරම් තිබේ. ඇතැම් විට ඒ දේශපාලන වාසි තකා ය. ඇතැම් විට ඒ උසස්වීම් හා වරදාන පතා ය. තවත් විටෙක කප්පම් ලබා ගැනීම සඳහා ද ආරක්ෂක නිලධාරීන් ක්‍රියා කර ඇති බව සනාථ වී ඇත. නීතියේ ආධිපත්‍ය ය පවතින රටක පොලීසිය ක්‍රියාත්මක විය යුත්තේ අපක්ෂපාතී ලෙස හා අවංක ලෙස ය. අපට පෙනෙන අයුරින් දැන් ඊට බාධාවක් නැත. නෛතික වශයෙන් පොලීසියට නිදහස් ව ක්‍රියා කිරීමට බලය තිබේ. ඒ බලය නිසි අයුරින් භාවිතයෙහි යොදාගැනීම මේ දෙපාර්තමේන්තුව සතු වගකීමකි.

මේ සිදුවීම් ඔස්සේ ද, විවිධ අර්ථකථන ඔස්සේ ද කියැවෙන්නේ ශිෂ්‍ය නායකයා නිර්දෝෂී පුද්ගලයකු යන්න නො වේ. සිද්ධියෙන් පසු උසාවි නියෝග අභියෝගයට ලක් කරමින් සිදුකළ විරෝධතාව පවා නොසිදුවිය යුත්තකි. එක අතෙකින් රටේ ශිෂ්‍ය ව්‍යාපාර නීතියට අවනත නැත. තව අතෙකින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ විවිධ අඩුපාඩු තිබේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...