S.M චන්ද්‍රෙස්නගේ නිකේතනයක අභිරහස් මරණයක් | දිනමිණ

S.M චන්ද්‍රෙස්නගේ නිකේතනයක අභිරහස් මරණයක්

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේනගේ බිරිදට අයත් නිවාඩු නිකේතනයක සූපවේදියෙකු වශයෙන් සේවයේ නියුතුවූ පුද්ගලයෙකුගේ හිසට බරපතල තුවාල ලබා අභිරහස් අන්දමින් මියයාම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරික්ෂණ ආරම්භ කර තිබේ.

එළෙස අභිරහස් අන්දමින් මිගොස් ඇත්තේ මීට සති දෙකකට පමණ ඉහතදී සූපවේදියෙකු වශයෙන් නිවාඩු නිකේතනයේ සේවයට පැමිණි කිරිවැල්දොල දෙනියාය ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරදි පාහීනන්ද ජයබාහු යන අයයි.

ඔහු විවාහකයෙකු උවත් බිරිද හා දරුවන් සුනාමියෙන් අතුරුදන්වී ඇති බව පොලිසියට අනාවරණය වී තිබුණි.

ඔහු අනුරාධපුර මාතලේ ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුළමේ පිහිටි හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍ර සේනගේ බිරිදට අයත් නිවාඩු නිකේතනයේ සූපවේදියෙකු වශයෙන් සේවය කර ඇති බවත් (21) වනදා රාත්‍රීයේ නිවාඩු නිකේතනයේ සාදයක් පවත්වා ඇති බවත් පොලිසිය පැවසුවේය.

එම සාදය පසුදින අළුයම 01.30ට පමණ අවසන් වීමෙන් අනතුරුව නිකේතයේ ඉහල මාලයට ගොස් එහි කාමරයක් ආසන්නයේ බිම නිදා ඇතිබව පරික්ෂණ සිදුකල පොලිසිය පැවසුවේය.

ඔහු නිදාසිටි ස්ථානයේ ආරක්ෂිත වැටක් නොතිබූ බවත් නිදා සිටියදි අඩි 12ක් පමණ උස ඉහල මාලයේ සිට පහල මාලයට වැටි හිස පොලවේ ඇනිමෙන් බරපතල තුවාල ලබා ඔහු මිය යන්නට ඇති බවට පොලිසිය සැකකලත් කිසියම් අයෙකු ඔහුව එම ස්ථානයෙන් බිමට ඇද දැමුවේද යන්න සම්බන්ධයෙන්ද සැකයක් මතුවී ඇතැයි පොලිසිය පැවසුවේය.

පහල මාලයට වැටිසිටි සූපවේදියාගේ හිසට දරුණු තුවාල සිදුව තිබූ බවත් ඔහු බිම වැටී සිටියදී ආයතනයේ සේවකයන් පිරිසක් දැක (22) වනදා අළුයම මරණකරුව ප්‍රතිතාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත්කර තිබෙන බව පොලිසිය පැවසුවේය.

ඔහු මියගිය ස්ථානයට අමතරව නිවාඩු නිකේතනයේ සාදය පැවති ස්ථානයේ සිට මාර්ගයට යන තෙක්ම ලේ බිංදු වැටී තිබීම නිසා කිසියම් අයෙකු ඔහුව ඝාතනය කර පලාගියේද යන්න පිළිබදව සැකමතුවී තිබෙන බව පොලිසිය පැවසු අතර නැති නම් සාදය අතරතුර කිසියම් තුවාලයක් සිදුවූ අයෙකුගේ ලේ පැල්ලම් වියහැකි බවට සැකකරන බව පොලිසිය පැවසුවේය.

මරණකරුගේ සන්තකයේ තිබී ටැබ් එකක් හා මාතර පොල්හේන යන ප්‍රදේශවල නිවාඩු නිකේතන දෙකක් මගින් ලබාදුන් හැදුණුම්පත් දෙකක් තිබී හමුවූ බව පොලිසිය පැවසුවේය. සූපවේදියාගේ මරණය සම්බන්ධයෙන් අමාත්‍ය එස්.එම්.චන්ද්‍ර සේනගේ බිරිද ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගත් බව පොලිසිය පැවසුවේය.

අභිරස් මරණය සිදුවූ ස්ථානයට පැමිණි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී.ශානක හර්ෂන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකර සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා පුද්ගල මරණයට හේතුව ඝාතනයක්ද නැත්නම් ස්වාභාවික සිදුවීමක්ද යන්න වහාම අධිකරණයට දන්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කලේය.

අද දහවල් අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශරිරාගාරයේදී පශ්චාත් මරණ පරික්ෂණය පැවත්වීමට නියමිතයි.

(අනුරාධපුර මධ්‍යම විශේෂ)

නව අදහස දක්වන්න