සැමිබියාව හඳට ගිහින් | දිනමිණ

සැමිබියාව හඳට ගිහින්

 මිනිසා හඳට ගොස් අදට වසර 48කි. 1969 ජූලි 22දා නීල් ආම්ස්ට්‍රෝන්ග් මුලින්ම සඳ මත පා තබා ලෝකයේ අභ්‍යවකාශ ගමන් ඉතිහාසය ඇරුඹුවේය. සෝවියට් දේශය යුරි ගගාරින් උඩු ගුවනට යවා ලෝකයේ මහ පොළොවන් පිටතට මිනිසෙක් යැවූ පළමු රට බවට පත්වෙද්දී අමෙරිකාව ඉතා සුළු කලකින්ම සඳත් ඇල්ලුවේය. එදා මේ රටවල් තුළ තිබූ සීතල යුද්ධය මේ තරගකාරී හපන්කම කරන්නට ඔවුන් මෙහෙයවා තිබුණි.

නමුත් අමෙරිකාව හෝ රුසියාව හඳට යන්නට පෙර ඒ ගැන සිහින මවා තිබුණේ හිතන්නවත් බැරි රටකි. ඒ අප්‍රිකානු රටක් වන සැම්බියාවයි. සමහරකුට නම් එය හැබෑම විහිළු කතාවකි. එහෙත් එදා 1960 දශකයේ අමෙරිකාව හෝ රුසියාවට පෙර සැම්බියාව හඳට යන්නට සූදානම්ව සිටි බව සානුකම්පිත සත්‍ය කතාවකි.

1964 ඔක්තෝබර් 30 වැනිදා ජාත්‍යන්තර ටයිම් සඟරාව, එවකට උතුරු රොඩේෂියාව යනුවෙන් හැඳින්වූ සැම්බියාව පිළිබඳ විශේෂ ලිපියක් පළ කළේය. එම ලිපිය, නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති කෙනත් කවුන්ඩා සමග කළ සම්මුඛ සාකච්ඡාවකි. එහිදී ජනාධිපතිවරයා කීවේ තමන්ගේ සැම්බියානු ගගනගාමීන්, අමෙරිකානු සහ සෝවියට් අජටාකාශ වැටසටහන්වලට ද අභියෝගයක් වෙමින් හඳට සහ එතැනින් අඟහරු ග්‍රහයා වෙත ද යන්නට අදහස් කරන බවය. රොකට්ටුව එම නිදහස් දිනයේ ගුවන් ගත කරන්නට කලින් සිතුවත්, නිදහස් දින සැමරැම් නිසා එය කල්දැමුණු බවත් ඔහු කීවේය.

සැම්බියාවට වුවමනා කළේ හඳ මතට පා තැබූ ප්‍රථමයා වන්නටය. රුසියාවඅමෙරිකාව එක්සත් ජනපදයට විරැද්ධවත්, කොමියුනිස්ට්වාදය ධනවාදයටත් එරෙහිව සීතල යුද්ධයේ අවි අමෝරා සිටි සමයක දුප්පත් සැම්බියාව අත්හැර දැමූ ගොවිපොළක ගගනගාමීන් පුරැදු පුහුණු කළේ ශූන්‍ය ගුරැත්වයට ඔරොත්තු දීම සඳහාය. ඔවුන්ව 'ඇස්ට්‍රොනෝට්ස්' හෙවත් අජටාකාශගාමීන් වෙනුවට හැඳින්වූයේ ඇෆ්රිකානු (අප්‍රිකානු) ගගනගාමීන් යන අර්ථයෙන් 'ඇෆ්රනෝට්ස්'ලා යනුවෙනි. ඔවුන් එහිදී එක දිගට පැය ගණනාවක් ඔන්චිලි පැද්දවී ය. අභ්‍යවකාශයේ ශූන්‍ය ගුරුත්වයට ඔරොත්තු දීම සඳහාය. වළ ගොඩැලි සහිත මතුපිටක් මත ගොඩබෑමේදී ඇතිවන කම්පනයට ඔරොත්තු දීම සඳහා ගැලුම් විසි හතරේ තෙල් පීප්පයක් තුළට රිංඟ වූ තරණයන් කඳු පල්ලම් දිගේ පෙරළුවේ ය.

ඒ වනවිට සැම්බියාවේ ජනගහනය ලක්ෂ 36ක් විය. එයින් අප්‍රිකාවේ උපන් උසස් අධ්‍යාපනය ලැබූවන් සිටියේ 1500 තරම් අඩු පිරිසකි. උපාධිධාරීන් සිටියේ 100 කට ද අඩු පිරිසකි. මෙම ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කළේ එඩ්වඩ් ෆෙස්ටස් මක්කුවා එන්කොලොස්සෝ නමැත්තෙකි. දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදාවට බැඳී සංඥා බලකායේ කෝප්‍රල්වරයෙක් ලෙස කටයුතු කළ ඔහු, පසුව උතුරු රොඩේෂියානු හමුදාවේ භාෂා පරිවර්තකයකු ලෙස කටයුතු කළේය. දෙවසරක දේශපාලන සිරගත වීමකින් පසුව 1960 වසරේ ඔහු සැම්බියාවේ ජාතික විද්‍යා ඇකඩමිය පිහිටුවා ගත්තේ මෙම අභ්‍යවකාශ වැඩපිළිවෙළ සඳහාමය. ඉන්පසු ඔහු එහි අධ්‍යක්ෂවරයා වශයෙන් වැඩ බාරගත් නමුත්. එහෙත් ඔහුට පාසල් ළමුන්ට විද්‍යාව ඉගැන්වීම සඳහා වූ විෂය දැනුම හැරුණු විට සුවිශේෂී අජටාකාශ විද්‍යා දැනුමක් තිබුණේද යන්න විවාදිත ය.

කෙසේ නමුත් එන්කොලොස්සෝ පමණටත් වඩා ආත්ම විශ්වාසයකින් යුතුව සිටියේය. අඩි 10ක් දිග, අඩි 6ක් පළල ඇළුමිනියම් සහ තඹ කැප්සියුලයක් කැටපෝල ක්‍රමය යොදාගෙන අභ්‍යවකාශයට විදීම ඔහුගේ මූලික අරමුණ විය. එහි නම D-Kalu-1 විය. සැම්බියානුවන් 10 දෙනක්ද එක් යුවතියක්ද අභ්‍යවකාශ ගමන සඳහා තෝරාගෙන තිබිණි. එම 17 හැවිරිදි දැරිය මාර්තා එවාම්බ්වා නම් වූවාය. දැරිය සමග ඇගේ බළලාද ගෙන යාමට නියමිත විය. වසර 1965 වනවිට තමන්ට සඳට යා හැකි බව මේ සැම්බියානුවා කීවේය. ඔහු එදා එසේ කරන්නට සමත් වූවා නම් ඇත්තෙන්ම අද වනවිට සැම්බියාව හඳට ගොස් අවුරුදු 52ක් සපිරෙන්නට තිබුණි. මේ ගමන යන්නට ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 700ක් ඉල්ලා සිටියේ යුනෙස්කෝ සංවිධානයෙනි. තවත් ඩොලර් බිලියන 2කට ආසන්න මුදලක් ඔහු නිල නොවන ලෙස විදේශික ධනවතුන්ගෙන් ඉල්ලා තිබිණි.

පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් එන්කොලොස්සෝ කියා සිටියේ තමන් රහසිගත මූලස්ථානයේ නොහොත් පෙර කී ගොවිපොළේ සිට අඟහරු ග්‍රහයා දුරේක්ෂයකින් අධ්‍යයනය කළ බවයි. එම ග්‍රහලොව නොදියුණු ජීවීන්ගෙන් පිරී ඇති බවත්, ඔවුන් වෙත ධර්මය ගෙන යාම සඳහා තමන් මිෂනාරින් කිහිප දෙනකුද අභ්‍යවකාශ ගමනට ඇතුළත් කර ගත් බවත් කීවේය. ඉන්පසුව ඔහු කරුණාබරිත ස්වරයෙන් කියා සිටියේ රතු ග්‍රහලොවේ ජීවත් වන්නන් බලයෙන් ක්‍රිස්තියානි ආගමට හැරවීමට ද තමන්ට උවමනාවක් නැති බවයි. තමන්ගේ ගගන රහස් සහ බළලාව රුසියානු සහ අමෙරිකානු ඔත්තුකරුවන්ගේ අවධානයට යොමු වී ඇති බවත් ඔහු කීවේය.

එන්කොලොස්සෝගේ ගගනගාමීන්ට අඟහරු ග්‍රහයාට, සඳට තබා එම ගොවිපොළෙන් පිටතටවත් යාමට හැකිවූ බවට වාර්තා නැත. කටකතාවලින් කියැවුණේ මාර්තා හදිසියේ ගැබ්ගත් බවත් ඇගේ මවුපියන් පැමිණ ඇය කැටුව ගිය බවත්ය. යුනෙස්කෝ අරමුදල් ද සිහිනයක් විය. සැම්බියානු මාධ්‍ය එන්කොලොස්සෝව අමු අමුවේ විවේචනය කරන්නට පටන් ගත්තේය.

කෙමෙන් කෙමෙන් සැම්බියා ජනපතිවරයාද එන්කොලොස්සෝව ඈත් කරන්නට විය. අනතුරුව ලූසාකා නගරයේ පුරපති අසුනට එන්කොලොස්සෝ තරග කළේ විද්‍යාත්මක දියුණුවේ වැදගත්කම ගැන කියා සිටිමිනි. තම අභ්‍යවකාශ වැඩසටහන අසාර්ථක වූයේ අරමුදල් නොලැබීම නිසා බවත්, එම නොලැබීම පිටුපස සිටින්නේ අමෙරිකාව බවත් එනයින් එය විදෙස් කුමන්ත්‍රණයක් බවත් ඔහු කීවේය. 2014 වර්ෂයේ සන්ඩාන්ස් චිත්‍රපට උළෙලට ඉදිරිපත් වූ 'ඇෆ්ර්නෝට්ස්' චිත්‍රපටයට පාදක වී තිබුණේද මේ සත්‍ය කතාවයි.

නිෂානි ප්‍රියන්ති

නව අදහස දක්වන්න