දරු-මුණුබුරන් 53යි ගලේවෙල මිත්තනියට අවුරුදු 100යි | දිනමිණ

දරු-මුණුබුරන් 53යි ගලේවෙල මිත්තනියට අවුරුදු 100යි

ගලේවෙල මධ්‍යම සමූහ පී.ජී. ගුණතිලක

පසුගිය 26 වැනි දිනට වසර 100යේ උපන් දිනය සැමරූ මිත්තනියක් ගැන ගලේවෙල, වාසලකෝට්ටේ, පිහිල්ලයාය ග්‍රාම නිලධාරී වසමෙන් වාර්තා වේ. ඇය 1917.06.26 දින ඉපදී ඇති අතර 4 වැනි පන්තිය දක්වා අධ්‍යාපනය ලබා ඇති බව පැවසුවාය. තුන්වෙනි පරම්පරාවේ මුනුබුරන්ද දැක ඇති ඇය කේ.ඩී. මරියා විජේරත්න නම් වේ.

ඇය අප සමඟ මෙසේද පැවසුවාය. මම විවාහ වූයේ කේ.ඩී.ජුවාන් විජේරත්න සමඟයි. ඔහු දැනට ජීවතුන් අතර නෑ. එහුට දාව මට පුතුන් 3ක් හා දූවරුන් 4ක් ඉපදුණා. වැඩිමහල් පුතාට වයස අවුරුදු 79යි. දැන් ඔක්කොම මුනුබුරු මිනිපිරියෝ 53ක් ඉන්නවා. අපි දැන්වගේ එ් කාලේ හැමදේම කඩෙන් ගන්නට ගියේ නෑ. ලුණු කැටයයි, කහ කෑල්ලයි, විතරයි පිටින් ගන්නේ. අනිත් දේවල් අපිම වවා ගත්තා.අපි වැඩපොළ කරගත්තේ 'අත්කම්' ක්‍රමයටයි. අපි වැඩිපුර ආහාරයට ගත්තේ මුං, තල, මෙනේරි, කුරක්කන් වැනි ධාන්‍ය වර්ග හා පලා වර්ගයි. එ්වායේ ශක්තිය නිසා තවම මට ඇවිදින්නට පුලුවන්. වයසත් එක්ක ටික ටික අසනීප නැතුවා නොවේ. මම එ්වා ගනන්ගන්නේ නෑ.

මම රෝමානු කතෝලික ආගමයි අදහන්නේ. ආගමානුකූල ජීවිතයක් ගත කිරීම මගේ ආයුෂ වැඩිවීමේ රහස කියලා මට හිතෙනවා.මගේ දරු මුනුබුරු මිනිපිරියන් සියලු දෙනාට මගේ සැප දුක හොදින් බලනවා. සලකනවා. වයස අවුරුදු 100 සම්පූර්ණ කර ගැනීමට හැකිවීමට එ්කත් එක හේතුවක්.මම දැනුත් ඉන්නේ සතුටින්.. ඇය පැවසීය.

නව අදහස දක්වන්න