මුතුරාජවෙල කසළ තහනම 25 තෙක් දීර්ඝ කෙරේ | දිනමිණ

මුතුරාජවෙල කසළ තහනම 25 තෙක් දීර්ඝ කෙරේ

නෙල්කා මැදගෙදර

මුතුරාජවෙල අභයභුමියට කැළිකසළ බැහැර කිරීම අත්හිටුවමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය මෙම මස 25 වැනිදා තෙක් බල පවත්වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (20) දීර්ඝ කරන ලදී.

මුතුරාජවෙල අභයභුමියට සහ ආශ්‍රිත ප්‍රදේශයට කුණු බැහැර කිරීමට එරෙහිව එම ප්‍රදේශවාසීන් 35 දෙනකු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ඉකුත් 05 වැනිදා මෙම අතුරු නියෝගය නිකුත් කළ අතර එය ඊයේ (20) වනතෙක් බලපවත්වන ලදී. ඊයේ (20) එම පෙත්සම නැවත සලකා බැලූ අවස්ථාවේදී මෙම අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙළේය.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, අනිල් ගුණරත්න, නලීන් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

කොළඹ මහ නගර සභාව, එහි නාගරික කොමසාරිස්වරයා, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල ප්‍රාදේශීය සභාව සහ නීතිපතිවරයා ඇතුළු ‍එකොළොස්දෙනකු පෙත්සම මඟින් වගඋත්තරකරුවන්කොට සිටියහ.

පෙත්සම සම්බන්ධයෙන් නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමෙන් ඉල්ලා සිටි පරිදි මුතුරාජවෙල අභයභූමියට කුණු බැහැර කිරීම වළක්වන නියෝගයක් නිකුත් කිරිමට මීට පෙර තීරණය කෙළේය. නීතිඥ ආචාර්ය සුනිල් කුරේ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ සේනානි දයාරත්න මහතා කොළඹ මහ නගර සභාව වෙනුවෙන් පෙනී සිටියේය.

නව අදහස දක්වන්න