අත­මිට සරු කර ගන්න වැල් දොඩම් | දිනමිණ

අත­මිට සරු කර ගන්න වැල් දොඩම්

ලුණු මිරිස් බෝංචි වැනි සාම්ප්‍රදායික ගොවිතැන් කටයුතුවලට සිරවී සිටින ගොවීන්ට එම රාමුවෙන් පිටතට පැමිණ අලුත් වගාවක් සඳහා අවතීර්ණ වන්නට කාලය දැනටමත් එළඹී ඇත. නව භෝගයක් ආරම්භ කොට අමතර ආදායමක් එකතු කර ගෙන තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අප කවුරුත් කැමැතිය. අලුත් වගාවකින් ඉහළ ලාභයක් උපයන්නට හීන මවන සියල්ලටම පැෂන් වගාව පිළිබඳව දැන ගැනීම වඩාත් වැදගත් වන්නේ මෙන්න මේ කාරණා නිසයි. එනම් අනෙක් වගාවන් මෙන් නොව පැෂන් වගාවට ලෙඩ රෝග ඉතාමත් අඩු අතර අක්කරයක් වගා කිරීමට රු. 12000ක් පමණ වැය වේ. විශේෂයෙන්ම එක් වතාවක් වගාව ස්ථාපනය කළ විට වසර පහක් පමණ ආදායම් ගත හැකි අතර නඩත්තුව සඳහා ද එතරම් මුදලක් වැය වන්නේ නැත. අඩු වෙහෙසකින් වැඩි ආදායමක් ලබාගත හැකි වගාවක් නිසා නිවසටවී කාලය ගත කරන කාන්තාවන්ට මෙය සුබ ආරංචියක් වනු නිසැකය. ඔබට පැෂන් වගාව සිදු කිරීමට වුවමනාවක් තිබුණ ද තාක්ෂණික දැනුම මුදල් ගැටලු පැළ ලබා ගැනීමට තිබෙන අපහසුතාවය නිසා දැනටමත් තම අරමුණු ඉටු කර ගැනීමට නොහැකිව පසුතැවෙනවා වන්නට පුළුවනි. අවශ්‍යතාවය, උනන්දුව, කැපවීම ඇත්නම් පැෂන් වගාව සඳහා පිවිසෙන්නට හීන මවන ඔබට නිරන්තරයෙන් අත්වැලක් වන්නට බෙරෙන්ඩිනා ආයතනය සූදානමින් සිටී.

මේ වන විට බෙරෙන්ඩිනා ආයතනයේ උපකාරයෙන් බොහෝ පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැෂන් වගාව සිදු කරනු ලබයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැෂන් වගාව ආරම්භ කරන විට 80 ක් පමණ ගොවීන් පිරිසක් මේ වගාවේ නියැළී ඇති අතර, අද වන විට නම් මේ වගාවේ නියැළෙන්නන් 154ක් දක්වා වර්ධනයවී තිබේ. විවිධ වගා කටයුතුවල නිරත වෙමින් සිටි අනුරාධපුරයේ බොහෝ පිරිසක් අද වන විට පැෂන් වගාව පුළුල්ව සිදු කරනු ලබයි. එච්. ඒ. පී. බී. රන්දෙනිය මහතා යනු ඉන් එක් අයෙකි.

ගොවිතැන් කටයුතුවල නිරත වෙමින් සිටි රන්දෙනිය මහතාට ගොවිතැන් කටයුතු වලින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවුණු නිසාම පැෂන් වගාව වෙත යොමුවී තිබේ. 2015 දී පැෂන් වගාව වෙත යොමු වූ රන්දෙනිය මහතා මේ වන විට මසකට රු. 35000ක පමණ අමතර ආදායමක් ලබයි. මොහු පැෂන් වගාවට පිවිසීමට පෙර රජයේ අනවසර ඉඩමක පොල් අතු පැලක් සාදාගෙන ජීවිකාව ගෙන ගොස් ඇති අතර, පැෂන් වගාවේ ආදායමෙන් තම නිවසේ හරි අඩක් නිම කර ගැනීමටත් හැකිවී තිබේ.

මසකට රු.35,000ක වගේ ලාබයක් මම පැෂන් වගාවෙන් ගන්නවා. දවස් 10ට කිලෝ ග්‍රෑම් 80 විතර අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. කිලෝ ග්‍රෑම් 1 රු.100-150 ක් වගේ තමයි අලෙවි කරන්නේ. සමහර අවස්ථාවල මේ මිල වෙනස් වෙනවා. 100ට වඩා අඩුවෙන්නේ හරිම කලාතුරකින්. මාසෙකට රු.80000ක් විතර උපයන්න පුළුවන්. මම කවදාවත් මගේ වගාවට පළිබෝධනාශක භාවිතා කළේ නෑ. පිටි මකුණා කියලා කුඩා සතකුගෙන් අපේ වගාවට හානි සිදුවෙනවා. දැනට ඒ සතාගෙන් පැළවලට වන හානිය වළක්වා ගන්න දාස්පෙතියා මල් භාවිත කරනවා. පැෂන්වලට අමතරව මම කැකිරි, කොමඩු වගේ දේවලුත් හදලා තියෙනවා. පැෂන් පැළ ඉහළ යන්නේ නැති නිසා අපිට මේ වගේ දේවලුත් අමතර ආදායමක් ලබා ගන්න හදන්න පුළුවන්.‍‍

දක්ෂිකා දිස්නා මහත්මිය 2015 දී බෙරෙන්ඩිකා ආයතනයත් සමඟ සම්බන්ධවී ඇති අතර, අක්කර භාගයක පමණ පැෂන් වගාව සිදුකරනු ලබන අතර, මේ වගාවෙන් ලැබෙන ආදායමෙන් ඇන්තූරියම් වගාවක් ද පවත්වාගෙන යයි. තම ස්වාමියාට ශක්තියක් වෙමින් පවුලේ ආර්ථිකය වැඩිකර ගන්නට අවශ්‍ය වූ ඇය මේ වන විට ඉතා සාර්ථක අන්දමින් මේ වගාව කරගෙන යනු ලබයි.

මගේ මහත්තයා සැලුන් එකක් කරගෙන යනවා. මහත්තයාට දවසට ලොකු ආදායමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මට ඕන වුණා මගේම කියලා වගාවක් ආරම්භ කරන්න. දැනට මම අක්කර බාගයක පමණ පැළ 220ක් පමණ වගා කරලා තියෙනවා. මම මාසයකට රු.25,000ක විතර ආදායමක් ලබනවා. සති දෙකකට වතාවක් වගේ තමා අපි අස්වැන්න නෙළන්නේ. සාමාන්‍යයෙන් 92 ට විතර අස්වැන්නක් ලබාගන්නවා. මේ වගාවට සතුන්ගෙන් සිදුවන කරදර හරිම අඩුයි.

 

දක්ෂිකා දිස්නා මහත්මිය

පැෂන් වගාව පිළිබඳව තිබූ පුහුණුවීම්වලට මම සහභාගි වුණා. පැෂන් වගාව කියන්නේ තනියම කරගෙන යන්න පුළුවන් වගාවක්. සාමාන්‍යයෙන් මම කිලෝ ග්‍රෑම් 217ක් විතර අලෙවි කරනවා. ඒත් හැම සතියේම එහෙම නෑ. මාසෙකට රු.25,000 - 30,000ක් වගේ ආදායමක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. පැෂන් වගාවෙන් ගත් ආදායමෙන් මට යතුරුපැදියක් මිල දී ගන්න පුළුවන් වුණා. සතියෙන් සතියට ආදායම එන එක මට ලොකු සහනයක්. ඒ නිසා ආර්ථිකයේ ලොකු ස්ථාවර බවක් දැනෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න එය පහසුවක් වෙලා තියෙනවා.

පැළ 100 කින් පැෂන් වගාව ආරම්භ කළ සමාධි මහත්මිය මේ වන විට මේ වගාවෙන් ලැබුණු ආදායමෙන් සත්ව ‍ගොවි පොළක් ද පවත්වාගෙන යනු ලබයි. මේ වන විට බාහිර උපාධි පාඨමාලාවක් ද හදාරන ඇය තම අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයාගනු ලබන්නේ ද පැෂන් වගාවෙන් ලැබෙන ආදායමෙනි.

පැළ 100 න් මාසෙකට රු.30,000 ක් විතර ආදායමක් ලබා ගන්න පුළුවන්. මුල දී මම පැෂන්වලින් සතියකට රු.3000ක් විතර ආදායමක් ලබා ගත්තා. පැෂන්වලට අමතරව පේර, කටුඅනෝදා වගේ දේවලුත් වගා කරනවා.

ශ්‍රී ලංකාවේ බොහෝ ගම් ප්‍රදේශවල සියලුදෙනා පාහේ එකම වගාවන් සිදුකිරීමට පුරුදුවී ඇති හෙයින් එමඟින් එම වගාව සඳහා වෙළෙඳ පොළ පවතින ඉල්ලුම අඩු විය හැකිය. නමුදු පැෂන් වගාව වැනි වගාවන් පුළුල් ලෙස සිදුකරනුයේ තරමක් අඩු පිරිසක් වන අතර, මෙමගින් අමතර ආදායමක් ද තම ගම් ප්‍රදේශයට එක්කර ගත හැකිය.

එමෙන්ම පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවැසි ඕනෑම පුද්ගලයකුට පැෂන් වගාව සිදුකිරීම වඩාත් වාසිදායක වනුයේ මේ වගාව තනි පුද්ගලයකුට වුව අඩු වියදමක් ඔස්සේ සිදුකළ හැකි බැවිනි. කිසිම පළිබෝධ නාශකයක් භාවිත නොකර නැවුම් පලතුරු මේ වගාවෙන් ලබාගත හැකි අතර වර්තමානය වන විට වෙළෙඳ පොළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින පලතුරක් ලෙසට පැෂන් පෙන්වා දිය හැකිය. 

 

 
 

නව අදහස දක්වන්න