මීළඟ සටන කැත්තෙන් උදැල්ලෙන්

 පසුගිය සතියේ පාකිස්ථානයේ ද නේෂන් පුවත්පත පළ කළ ප්‍රවෘත්තියකින් කියා සිටියේ ශ්‍රී ලංකාව පාකිස්ථානයෙන් සහල් මෙට්‍රික් ටොන් 300000 මිලදී ගැනීමට විපරම් කළ බව යි.

ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් පාකිස්තානු වෙළෙඳ කටයුතු ලේකම් මොහම්මඩ් යුනිස් ඩාගා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළ බවද එම පුවත්පත පවසා සිටී.

නියඟ නිසා යල මහ කන්න දෙකක් පාළු වීමත්, ගංවතුර උවදුරු නිසා දිස්ත්‍රික්ක 10ක වී වගා අඩාලවීමත්, නිසා ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය හීන වූ බව තවදුරටත් රහසක් නොවේ. මේ නිසා පිටරටින් සහල් ගෙන්වීමට ආණ්ඩුවට සිදුවිය. ජනතාවට ආහාර හිඟයක් ඇති නොවන පරිදි ක්‍රියා කිරීම රජයේ වෑයම වුවද සහල් ආනයනය සඳහා විශාල විදේශ විනිමයක් වැය කිරීමට භාණ්ඩාගාරයට සිදුවේ.

අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ යෑම පිළිබඳව පසුගිය දෙසතියක කාලයක සිට නොකඩවා මාධ්‍ය විවේචන එල්ල විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ ජුලි මස 07 වන දින නිකුත් කළ 2017 අප්‍රේල් මාසයේ විදේශීය ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාව මෙසේ සඳහන් කරයි. “2017 අප්‍රේල් මාසයේ දී අපනයන වියදම වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ හිඟය ද පුළුල් විය.

2017 ජනවාරි අප්‍රේල් කාර්තුවේදී ආහාර හා පාන වර්ග පිටරටින් ගෙන්වීම සඳහා ඇ. ඩොලර් දස ලක්ෂ 629.2ක් වියදම් කළ බවත්, මෙය 2016 ජනවාරි - අප්‍රේල් කාර්තුවේ වියදම වූ අමෙරිකානු ඩොලර් දසලක්ෂ 516.9 හා සැසඳීමේදී සියයට 21.7 ක වෙනසක් බවත් එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි. කිරි නිෂ්පාදන සඳහා 2016 ජනවාරි - අප්‍රේල් කාර්තුවේ වැය කළ මුදල ඩොලර් දස ලක්ෂ 74.1 කි. ආනයන වියදම (2017 ජනවාරි - අප්‍රේල් කාලය තුළ ඩොලර් දසලක්ෂ 110.4 දක්වා සියයට 49 ක වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

ආනයන වියදම්

තිරිඟු හා ඉරිඟු අපනයනය සඳහා ඉහත කී කාල පරාසය තුළ කරන ලද වියදම ඩොලර් දස ලක්ෂ 117.8 කි එය ද 2016 ට සාපේක්ෂව සියයට 11.5 ක වැඩිවීමකි. 2016 තිරිඟු හා ඉරිඟු සඳහා වැය කරන ලද්දේ ඩොලර් දස ලක්ෂ 105.6 කි.

ඉන්ධන සඳහා ඇ.ඩොලර් දස ලක්ෂ 1208.3 ක් 2017 ජනවාරි - අප්‍රේල් කාලය තුළ වැය වූ අතර එය 2016 ට සාපේක්ෂව සියයට 76 ක වර්ධනයකි. අදාළ කාලය තුළ තේ, පොල්, රබර්, කුළුබඩු යන වාණිජ වැවිලි යන සියලු වගාවෙන් ලද අපනයන ආදායමටත් වඩා ඉන්ධන වියදම ඉහළය.

2017 ජනවාරි අප්‍රේල් කාර්තුවේ අපනයන ආදායම ඩොලර් දස ලක්ෂ 3569කි. එහෙත් ආනයන වියදම ඩොලර් දස ලක්ෂ 6883.3 කි.

ස්වභාවික විපත් නිසා ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනයට හානි පැමිණිය ද 2015 මාස් කන්නයේ ශ්‍රී ලංකාව සිය දැවැන්තම වී අස්වැන්න ලබාගත් රටකි. මෙට්‍රික් ටොන් දස ලක්ෂ 4.5 ක වී අස්වැන්නක් එවර ලබාගත් අතර එය 2014ට සාපේක්ෂකව සියයට 42.6 ක වර්ධනයකි.

2015 දී හෙක්ටයාර් 1088354 කින් වී අස්වැන්න එකතු කර ගත හැකි විය. බිම් ප්‍රමාණය අතින් එය පෙර වසරට සාපේක්ෂව සියයට 37.3 ක වර්ධනයකි. හෙක්ටයාරයක අස්වැන්න කිලෝ ග්‍රෑම් 4429ක් වූ අතර 2015 වී නිෂ්පාදනය සහල් බවට පත් කර ගත් විට එය මාස 17 කට දේශීය පරිභෝජනය සඳහා සෑහෙන නිෂ්පාදනයක් බවට ඇස්තමේන්තු කරන ලදී.

මෙතරම් විශාල අස්වැන්නක් ලැබුව ද අද විදේශයනට අතපෑමට සිදුව ඇත්තේ අපට පමණක් පාලනය කර ගත හැකි හේතුවක් නිසා නොවේ. 1950 දක්වා කාලය තුළ කෘෂිකර්මාන්ත නිෂ්පාදන සාමාන්‍ය වේගයෙන් ඉදිරියට පැමිණියද වැඩිවන ජනගහණය හමුවේ ආහාර නිෂ්පාදනය නැවත ප්‍රතිසංස්කරණය කළ යුතුය යන නව අදහස ලොව පුරා ඉස්මතු විය. එහි ප්‍රතිඵලය වූ‍යේ 1970 දශකයේ ලෝක කෘෂිකර්මාන්තය තුළ කුස පිළිසිඳගත් හරිත විප්ලවයකි.

හරිත විප්ලවය සමඟ නවතම බීජ කෘමිනාශක, පොහොර, වල්නාශක සමඟ අධි තාක්ෂණ කෘෂිකාර්මික විප්ලවය පහළ විය. පසුකාලයක ස්වභාවික විපත් රාශියකට මග පාදන සාධක එම විප්ලවය තුළ ගැබ්වී යැයි ගන්තර් පිෂර් වැනි උගත්තු මත පළ කළහ.

කෙසේ හෝ වේවා දැන් ස්වභාවික ආපදා සහ කෘෂිකර්මාන්තය අතර නොනවතින අරගලයක් හටගෙන තිබේ. ඩේවිඩ් පිමෙන්ටල් ඇමෙරිකාවේ කොනෙල් විශ්ව විද්‍යාලයේ කෘෂිකාර්මික පීඨයේ මහාචාර්යවරයෙකි.

පාරිසරික වෙනස්කම්

පාරිසරිකමය වෙනස්කම් ආහාර නිෂ්පාදනය නව දිශානතියකට රැගෙන ගොස් ඇත. සමහර කලාප තුළ උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ. වැසි වැඩිවී තිබේ. සමහර ප්‍රදේශයන්හි වැස්ස අඩුව තිබේ. මුහුදුබඩ ගංවතුර උවදුර නිසා වගාබිම් නිසරු වී ඇතැයි ඔහු කියයි. උතුරු ඇමෙරිකාවේ අප්‍රිකාවේ වගා බිම් වෙත එල්ලවන තර්ජන නිසා කෘෂි නිෂ්පාදන බිම් ප්‍රමා ණය අඩුවන බව ඔහු කියයි.

මේ වනවිට බිලියන 7ක් වන ලෝක ජනගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වේ. මේ බිලියන 7ක බඩකට පුරවාලීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද සැලකිල්ල යොමු කර ඇත. එහිම අතුරු සංවිධානයක් ලෙස සැලකෙන ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සාගතයෙන් ජනතාව බේරා ගැනීමේ නිරතම සිටී .

ශ්‍රී ලංකා‍වේ නියඟ සහ ඒ ආශ්‍රිත ක්‍රියා නිසා වාර්ෂික වී නිෂ්පාදනයෙන් සියයට 40ක් පමණ අහිමිව යන බවට පසුගිය ජුනි මස 22 දින අනතුරු අඟවන ලද්දේ ද එම සංවිධානයයි. 2017 පෙබරවාරි 23 වන දින ලෝක ආහාර අර්බුදයක් ගැන අනතුරු ඇඟවූ එම ආයතනය 2050 වනවිට බිලියන 10ක් වන ජනගහණයට අවශ්‍ය ආහාර සපයා ගැනීම බලවත් ප්‍රශ්නය කැයි කියයි.

2030 වනවිට මන්ද පෝෂණයෙන් පෙළෙන ජනතාවගේ සංඛ්‍යාව දස ලක්ෂ 600 ක් පමණ වෙතැයි පවසන එම වාර්තාව ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මෙම අනාගත ගැටලුව විසඳා ගැනීමට විශ්ව ප්‍රජාවට උපකාර කරන බවද කියයි.

කෘෂි අධ්‍යාපනය

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාව සාමාජිකත්ව ය ලබාගත්තේ 1948 දීය. ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නේවාසික කාර්යාලයක් පිහිටුවන තරමට සම්බන්ධතා වැඩි දියුණු කරන ලද්දේ 1979 ජනවාරියේ දීය. එදා සිට අද දක්වා කෘෂිකර්මාන්තය, පශු සම්පත් සංවර්ධනය ධීවර කටයුතු නංවාලීම, වනවගාව සහ පාරිසරික සංරක්ෂණය යන අංශයන්ගෙන් ශ්‍රී ලංකාවේ දියුණුව සහ FOA ආයතනය විවිධ වශයෙන් සිය සහාය ලබාදී ඇත.

ශ්‍රී ලංකාවේ තරුණ පෙළ කෘෂිකර්මාන්තයට නැඹුරු නොවන බවට චෝදනා පවතී. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පසුගියදා පාසල් සිසුන්ට පෝෂණය සහ ක්‍රියාකාරකම් පිළිබඳ වැඩසටහනක් අරඹමින් අනාගත සිසුනට කැත්ත උදැල්ල අතට හුරු කරවීමේ වැඩසටහනක් අරඹන ලදී.

ලෝක ආහාර සංවිධානයේ ද සහාය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ දායකත්වයෙන් ඇරඹූ මෙම වැඩසටහනට අනුව පාසල් 6000 ක පමණ කුඩා ගොවිපොළවල් ඇරැ‍ඹෙනු ඇත. ඒ සඳහා ආචාර්යවරුන් 377කට අවශ්‍ය පුහුණුව ද ලබා දෙනු ඇත.

මේ සඳහා අවශ්‍යවන ගොවි උපකරණ සැපයීමට ද ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ඉදිරිපත්ව තිබේ. පාසල් සිසුනට තමන්ගේ දෑත්වලින් වවාගත් දෑ ආහාරයට ගැනීම පුරුදු කිරීම ‍මේ ව්‍යාපෘතියේ අරමුණ යැයි එම සංවිධානයේ ලංකා නියෝජිත වරිය පවසන්නීය. ස්පාඤ්ඤ රජය ප්‍රධාන තවත් රටවල් මේ ව්‍යාපෘතියට මුල්‍ය ආධාර සපයයි.

මේ වනවිට දකුණු ඉන්දියාව තමිල්නාඩු තෙලගානා, ආන්ද්‍ර යන ප්‍රාන්තයන්හි ද නියං තත්ත්වයක් හටගෙන ඇත. වසර 140 කින් මෙපිට ඇතිවූ දැවැන්තම ඉඩෝරයට මුහුණ දෙන තමිල්නාඩුවේ වී වගාව ඇතුළු ‍සෙසු වගා වැනසෙමින් තිබේ. එම ප්‍රදේශයේ පොල් වගාවට ද හානි සිදුව තිබේ.

ජල යෝජනා ක්‍රම

චෙන්නායි නගරය දැඩි පානීය ජල හිඟයකින් පීඩා විඳින අතර චෙන්නායි අවට විශාල ජලාශ පහම සිඳී ඇත. දිනකට ජල බවුසර් 300ක් මඟින් චෙන්නායි නගරයට ජලය සපයනු ලබයි.

දකුණු ඉන්දියාවේ පානීය ජල ප්‍රශ්නය ගැන සාමාන්‍ය ජනතාව කුපිත ව සිටින අතර ක්‍රම සම්පාදකයන් දැඩි දෝෂාරෝපණ එල්ල වෙමින් තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ දැනට නියඟ පවතින උතුර, උතුරු නැගෙනහිර සහ උතුරු මැද යන සෑම ප්‍රදේශයක්ම ආවරණය වන ජල යෝජනා ක්‍රම ඉදිවෙමින් පවතී. මල්වතු ඔය සහ යෝධ වැව සංවර්ධන ව්‍යාපෘති මඟින් මන්නාරමටත්, ඉරණමඩු ‍යෝජනා ක්‍රම‍යෙන් උතුටත්, මොරගහකන්දෙන් උතුරු මැද සහ තවත් ප්‍රදේශවලටත් දියවර සැපයීමට නියමිතය .

මොරගහකන්දේ ජලය ‍මේ වනවිට මින්නේරි යෝජනා ක්‍රමයට මුදා හැර ඇත. මින්නේරිය හතමූණ ගොවි සමාජයේ ලේකම් එම්. එච්. විශ්ව සාරානාත් මහතා පවසන්නේ මෙසේ මොරගහකන්ද ජලය ලැබීම මෙම කන්නයේ වී වගාවට මහත් රුකුලක් බවයි.

මින්නේරියට ලබාගෙන ඇති ජල ප්‍රමාණය අක්කර 30,000 ක් පමණ වන අතර ඇළහැර ව්‍යාපාරය සඳහාද මොරගහකන්ද ව්‍යාපාරයේ ජලය මුදාහැරීමට පියවර ගෙන තිබේ. මොරගහකන්ද ව්‍යාපෘතිය මඟින් හෙක්ටයාර් 81,422කට වගා පහසුව සැපයීමට නියමිතය.

බංගලිදේශයේ සහාය

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත සංවර්ධනය සඳහා උදව් උපකාර කිරීමට බංගලිදේශය ද දැන් ඉදිරිපත්ව සිටී. ඩකා ට්‍රිබියුන් පුවත්පත ජුලි 14 වනදා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ බංගලිදේශ සංචාරය ගැන පළ කර තිබූ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව හා බංගලිදේශය අතර අස්සන් කරන එක් ගිවිසුමක් කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම පිළිබඳවය.

ආසියාවේ පිබිදෙන ආර්ථිකයට හිමිකම් කියන බංගලිදේශය ද ස්වභාවික විපත් නිතර සිදුවන රටකි. 1970 නොවැම්බර් 3 වන දින එරට හරහා හමාගිය කුණාටු සහ ගංවතුර උවදුර නිසා සිදු වූ මරණ සංඛ්‍යාව 2,50,000 ඉක්ම වූ බව වාර්තා වේ. තජිකිස්ථානය, ඇප්ඝනිස්ථානය සහ චීනයේ කලාප කීපයක කාලගුණික විපර්යාස නිසා ආර්ථිකය අඩාල වන බව ආසියා සංවර්ධන බැංකුව ගිය සතියේ නිකුත් කළ වාර්තාවක (PIK) සඳහන් වේ.

කරුණාරත්න අමරතුංග


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...