රස කියන්නේ තවත් එක FM එකක් නෙවෙයි | දිනමිණ

රස කියන්නේ තවත් එක FM එකක් නෙවෙයි

 චතුරංග තේනුවර

‘රස’ අපේ රටේ ගුවන්විදුලි නාලිකා අතරට පැමිණි නවතම සාමාජිකයා වේ. sky media net work ආයතනයේ නිර්මාණය වන රස ජාත්‍යන්තර ප්‍රමිතිගත තාක්ෂණයට අනුව ගුවනට මුසුවේ. සිත සහ red Fm හි හිමිකාරීත්වය දරන නිරංග හෙට්ටිආරච්චි ඇතුළු පිරිසෙහි කළමනාකාරීත්වයෙන් සවිබල ගැන්වුණු රස FM හි වැඩසටහනක් කළමනාකරු ලෙස චතුරංග තේනුවර කටයුතු කරයි. ගුවන්විදුලි ක්ෂේත්‍රයේ අත්දැකීම් පූර්ණ චතුරංග සහ රසමංජරිය රස ගැන කතාකරන්නට මෙසේ මුණගැසේ.

l මොකක්ද මේ රස FM කියන්නේ ?

රස FM කියලා කියන්නේ තවත් එක FM එකක් නෙවෙයි. මේක රේඩියෝවකට වඩා එහා ගිය ප්‍රේක්ෂකයා වෙනුවෙන් තැනුණු රස තැන් ගොඩක එකතුවක්. මේක ඇත්තටම පලවෙනි පියවර විතරයි. රස FM අයත් වෙන්නේ sky media network යටතට. නීරස වෙච්ච fm කලාව අපි රස කරන එක රහක් ඇති වැඩක් කරන තමයි අපේ අරමුණ. 99.5 සහ 99.7යි අපි එක්ක එකතු වෙන්න පුළුවන්.

රස විඳින්නට හැකි ගුවන්විදුලි නාලිකාවක්.ඒ වගේම ශ්‍රාවකයාට වගකියන නාලිකාවක් කිව්වොත් වඩා නිවැරදියි.

l ලංකාවෙන් අනෙකුත් ගුවන් විදුලි නාලිකා එක්ක බලනකොට රස FM වෙනස් වෙන්නේ කොතනින් ද ?

කලක් ලංකාවේ ගුවන් විදුලිය ප්‍රබල මාධ්‍යයක් වෙලා තිබුණා.ඒත් රුපවාහිනිය ආවායින් පස්සේ ගුවන් විදුලිය ජනතාවගෙන් යම් ගිලිහිමක් ඇති වුණා කියලා හුඟදෙනෙක් කියනවා. මම ඒක පෞද්ගලිකව පිළිගන්නේ නැහැ. හැබැයි ගුවන් විදුලිය වෙනස් විය යුතුව තිබුණා. ඇත්තටම මිට අවුරුදු 20කට විතර කලින් ඒක සිදු වුණා . ඒ වෙනසත් එක්ක ගුවන් විදුලියේ නව මංපෙත් විවර වුණා. මේ ක්ෂේත්‍රයට එන්න ගොඩ දෙනෙක් සිහින මැව්වා. ගුවන් විදුලි නාලිකා ගොඩක් ආරම්භ වුණා. හැබැයි මේ වෙද්දී ගුවන් විදුලි නාලිකා රේටින් පස්සේ සල්ලි පස්සේ පන්නන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. එතැනදී ඔවුන්ට අසන්නා ඉල්ලන දේ දෙන එක ගිලිහි ගොස් තිබෙනවා. ඇත්තම කිව්වොත් රේඩියෝ ආයේ නීරස වෙලා තියෙනවා. එහෙම නීරස වෙච්ච ආයේ රස කරන්න තමයි අපි මේ සුදානමින් ඉන්නේ.

l වර්තමානයේ නිවේදන වෘත්තියේ යෙදෙන්නන්ගේ වෘත්තිමය සුදුසුකම් පිළිබද මේ වෙද්දී නොයෙකුත් ගැටළු තියෙනවා. රස fm නිවේදික නිවේදිකාවෝ තෝරා ගැනීමේ දී මේ තත්වය මග හැර ගත්තෙ කොහොම ද ?

ඒකට හේතුව තමයි. මේ වෙද්දී ගොඩක් වෙලාවට නිවේදිකාවෝ බවට පත් වෙන්නේ මොඩ්ලින් කරන අය. නළු නිලියෝ. මම පිළිගන්න කාරණය ඇතුලේ නළු නිලියන්ට බැහැ නිවේදකයා කියන මේ භාරදුර කාර්ය කරන්න. හැබැයි අපිටත් බැහැ රගපාන්න. ඒක තේරුම් ගත යුතුයි. මේක වෘත්තීය ගරුත්වය රැක ගත යුතු දෙයක් විදියටයි මම දකින්නේ. සාමන්‍යයෙන් කියනවානේ fm වල ඉන්නේ ගිරව් වගේ අය කියලා. ඔව් මම ඒක පිලිගන්නවා. සමහර අය අලුතින් කට්ටිය ගන්නකොට පෙනුම, මුඛරිකම ගැන විතරක් සැලකිලිමත් වෙලා ඇති. හැබැයි අපි සාමාන්‍යයෙන් අධ්‍යාපන සුදුසුකම්, නිවේදන හැකියාව, සාමන්‍ය දැනීම, හදිසි අවස්ථාවක හැසිරෙන ආකාරය, භාෂා දැනුම යනාදිය දෙස උපරිම ලෙස බලනවා. ඉතින් හොද දැනුමක් තියෙන අලුත් තරුණ පරපුරට තමා අපි ඉඩ වෙන් කරන්නේ.

l රස fm හි ගුණාත්මක භාවය රදවාගන්නේ නිවේදික නිවේදිකාවන්ගෙන් පමණක් ද ?

නැහැ. ගීත වල ගුණාත්මකභාවය රදවා ගන්න නම් ප්‍රධාන කොටම නිවේදකයා පරිපුර්ණ විය යුතුයි. ගුණාත්මක වැඩසටහන් එහි තිබිය යුතුයි. අහන්නාට ලබා දෙන දේ පිළිබද හරයක් තිබිය යුතු සේම විනෝදාස්වාදය ද සැපයිය යුතුයි කියන තැන මම ඉන්නවා. ඒ නිසයි මම කියන්නේ මේක රහ චැනල් එකක් කියලා. ඊට අමතරව අද හුගක් කලාකරුවෝ කියන කාරණාවක් තමයි සල්ලි වලට පැකේජ් වලට ගීත වාදනය කරනවා කියන එක. ඒ වගේම රියලිටි තරු වල ගීත පමණක් සමහර නාලිකාවලින් ප්‍රචාරය කරනවා කියලා. නමුත් බහුතරය ඒක නෙවෙයි .ලංකාවේ බහුතර ශ්‍රාවකයා අහන්න කැමති සින්දු ඒවා නෙවෙයි.ජනතාව කැමති සින්දුවල ලොකු පරාසයක් තියෙනවා. ඒ නිසා අපි බොහොම සිරුමාරුවට තෝරා ගත් පවතින තත්වයන්ට අනුකුල ගීත හොයා බලලා තෝරා ගන්නවා. ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු 10කට වැඩි පළපුරුද්දක් තියෙන කණ්ඩායමක් අපි එක්ක එකතු වෙලා ඉන්නවා.. ඒ අයට ලංකාවේ අසන්නා පිළිබද හොද දැනුමක් හැඟීමක් සහ ළෙන්ගතුකමක් තියෙනවා. ඉතින් ඒ දැනුම සහ සමීක්ෂණ වාර්තා සමඟින් අපි ඉදිරියට යනවා.

l රස fm කණ්ඩායම කවුද ?

අපේ සභාපතිතුමා නිරංග හෙට්ටිආරච්චි මහතා. ඔහුගේ අනුදැනුම උපදෙස් යටතේ තමයි අපි මේ කටයුතු සිදුවෙන්නෙ.ප්‍රධාන විධායක නිලධාරි චමින්ද වික්‍රමසිංහ, මෙහෙයුම් අධ්‍යක්ෂක අසංක අලහකෝන්, ඒ වගේම මම වැඩසටහන් කළමනාකරු. ඒ වගේම අපේ සහය වැඩ සටහන් කළමනාකරුවන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ හැමෝම මේ ක්ෂේත්‍රයේ අවුරුදු 10කට වැඩි අත්දැකීම බහුල පිරිසක්. නුවන් සම්පත් ප්‍රේමතිලක,රුවනි හේවගේ, දිනිති ලියනගේ, ගයනි අබේවර්ධන, නිමන්ත කරුණාරත්න,තමයි රස නිවේදනයෙන් හැඩ කරන්නෙ. ඉදිරියේ දී තව මේ ක්ෂේත්‍රයේ ප්‍රබල චරිත කිහිපයක් අප සමඟ එක් වීමට නියමිතයි.

l මේ වෙද්දී ලංකාවේ දවසින් දවස නව මාධ්‍ය ආයතන බිහි වෙනවා. එහෙම කාලෙක අලුතින් fm එකක් පටන් ගන්න එක අභියෝගයක් නෙවේ ද ?

ඇත්තටම අභියෝගයක්. අභියෝගයට මුණ දෙන්න විවිධ ක්‍රම රටාවන් සැලසුම් කරලා තියෙනවා. රේඩියෝ චැනල් එකකින් විතරක් අපිට අපේ ඉලක්කයට යන්න බැහැ. සමාජ ජාලා එක්ක තමයි අද වෙද්දී ගොඩක් පිරිසක් එකතු වෙලා තියෙන්නේ. හැමෝම තාක්ෂණය එක්ක ඉදිරියට ගිහින් තියෙනවා. ලෝකේ ඒ මට්ටමට වෙනස් වෙනවා නම් අපිත් ඒ තත්වේට වෙනස් විය යුතුයි. ලෝකය ඉදිරියේ දී තවත් වෙනස් වෙනවා. ඒ හැම දෙකටම අපි ලග සැලසුම් තියෙනවා. ඒ වගේම රස ගොසිප් වෙබ් අඩවිය හරහා තවත් පිරිසකට අමතන්නට අපි බලාපොරොත්තු වෙනවා.

l රස fm තාරුණ්‍ය එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද ?

ඇත්තටම මම දකින්නේ ලංකාවේ ඔක්කොම තරුණයෝ තමයි. අවුරුදු 60, 70 ක් වුනත් අවුරුදු 18ක් වුනත් හැමෝම තරුණ විදියට හිතන පතන මිනිස්සු ඉන්නේ. හැමෝම හදවතින් තරුණයි. මේ නාලිකාව තරුණ සහ හදවතින් තරුණ හැමෝටම විවෘතයි.

සංවාදය
අරුණි කළුපහන
ඡායාරූපය - මිහිර බණ්ඩාර දිසානායක


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...