නිල් රෝස මිනිස්සු

දසුනි හෙට්ටිආරච්චි

සාරා කියන්නේ ඉන්දියානු නමක් නෙමෙයි. ඒත් එයා ඇඳලා හිටියෙ සල්වාර් ඇඳුමක්. එයාට තිබුණෙ දුඹුරුපාට ඉන්දියානු හමක්. තද කළුපාට ඇස්. හුඟාක් ගෑනු ළමයි තමන්ට සාරාගෙ වගේ ඇස් දෙකක් තිබුණා නම් කියලා හීන දකින විත්තිය මට එයාව මුලින්ම දැකපු දවසෙ හිතුණා. එයාට තිබුණෙ හීනි දිගටි ඇස්. මස්කාරාවලින් පාට කළා කියලා හිතෙන්නෙ නැති ඝනකම් ඇහි පිහාටු. ළා කොළ පාට සල්වාර් කලිසමකට බේබි රෝසපාට අත්දිග සල්වාර් කමිසයක් ඇඳලා, ළා කොළ පාට මුතු කරාබු දෙකක් දාලා හිටපු සාරා කන්තෝරුවෙදි මාව දැකපු පළවෙනි දවසෙම මගේ ළඟට ඇවිත් කතා කළා.

එයා ඉන්දියාවෙ විත්තියත්, ශ්‍රී ලංකාව කියන්නෙ හින්දි කතා කරන්නෙ නැති ඉන්දියාවෙ උප ප්‍රාන්තයක් නොවෙන ස්වාධීන රටක් විත්තියත් වචන කීපෙකින් හුවමාරු කරගත්තට අපිට පළවෙනි දවසෙම යාළුවො වෙන්න බැරි වුණා.

කන්තෝරු යාළුකම්වල දැලි පිහියෙන් කිරි කනවට වැඩිය වැඩි වෙනසක් නැති විත්තිය අපි දෙන්නම විශ්වාස කළ නිසා, දවසට සැරයක් මුණ ගැහුණම 'කොහොමද?' කියලා අහනවට වැඩි ඇඳුනුම්කමක් අපි අතරෙ තිබුණෙ නෑ.

අපි යාළුවො වෙන්නෙ ඊට මාස කීපෙකට පස්සෙ. සාරාගෙ කළු පාට හීනි දිගටි ඇස්වල කඳුළු දැකපු දවසක. සාරාගෙ ඇස්වල කලින් දවසක දැකපු කඳුළු මගේ ඉස්සරහා වචන වුණේ අපි යාළුවො කියලා අපිටම දැනිලා හුඟ කාලයක් ගියාට පස්සෙ.

මේ වචනවලට පෙරළුණු සාරගෙ කඳුළු.

"පුතේ ඔයා කොල්ලෙක්නෙ, ඒ වගේ හැසිරෙන්න' කියලා මුලින්ම දෙක වසරෙ ටීචර් යාප්පුවෙන් කියනකොටත් මගේ ඇස්වල කඳුළු පිරිලයි තිබුණෙ. යාළු පිරිමි ළමයි එක්ක රණ්ඩු වෙනකොට මම පුරුදු වෙලා හිටියෙ ගෑනු ළමයෙක් වගේ අඬන්න. මම කැමති වුණේ රෝස පාටට එහෙම නැත්නම් ළා දම් පාටට. තාත්තා සෙල්ලම් කාර් ගෙනල්ලා දුන්නට, චූටි අක්කගෙ සෙල්ලම් බෝනික්කො මට ඊට වැඩිය හැඩට පෙනුණා.

හැමදාම මට හිටියෙ ගෑනු යාළුවො. පිරිමි ඉස්කෝලෙක ඉගෙන ගන්න එක මාව කොල්ලෙක් කරන්න උදව් වෙයි කියලා තාත්තා හිතපු හින්දා, එයා මාව දැම්මෙ නිල්පාට කලිසම්, සුදු අත්කොට කමිස පිරිච්ච ඉස්කෝලෙකට. ඉස්කෝලෙ පිරිලා හිටපු නිල් කලිසම්වලට මාව එයාලගෙ කෙනෙක් විදිහට පෙනුණෙ නෑ. එයාලා මට නම් හැදුවා. මම ගොලුබෙල්ලෙක් වගේ කටුව ඇතුළට ගුලිවුණා. ඒත් හවසට ගෙදර ගියාම මගේ කාමරේ දොර වහගෙන අක්කගෙ ළා දම් පාට සාරිය ඇඳලා තොල්වල ලා රෝසපාට ගාල හැඩ බැලුවා. එතකොට මට මගේ ඇතුළෙ හැංගිලා එලියට එන්න කල් මරණ ලස්සන ගෑනු ළමයව කණ්ණාඩියෙන් පෙනුණා.

හැබැයි ඊට පහුවෙනිදත් මම නිල් කොට කලිසම ඇඳලා ඉස්කෝලෙ ගියා.

මගේ ජීවිතේ සන්තෝසම දවස වුණේ විශ්වවිද්‍යාලෙ ජාන තාක්ෂණය හදාරන්න තේරිච්ච දවස. දුකම දවස පහුවෙලා එතකොට ටික කාලයක් ගතවෙලයි තිබුණෙ. අටේ පන්තියෙ ඉගෙන ගන්න කාලෙ එක දවසක් ඉස්කෝලෙ ඇරිලා එනකොට තාත්තා මගේ ඇස් අඳුන් භාජන, තොල් සායම් කූරු පුච්චලා තිබුණා. "පවුලට ලැජ්ජ කරන්න උපන් එකෙක්" කියලා තාත්තා එදා කියපු වචන මට ඊට පස්සෙ කවදාවත් අමතක වුණේ නෑ.

විශ්වවිද්‍යාලෙ පළමුවැනි අවුරුද්දෙ ක්‍රෝමොසෝම ගැන, ජාන විකෘති ගැන උගන්නනකොට මම අසාමාන්‍ය ජාන තියෙන සාමාන්‍ය මනුස්සයෙක් කියලා ඉගෙන ගත්තා. ඊට පස්සෙ මම ඩෙනිම් කලිසම අත ඇරලා ගවුම් අඳින්න පුරුදු වුණා. මාස නමයකට වැඩිය ටිකක් වැඩියෙන් බඩේ තියන් හිටියට මට ගෙදරින් යන්න කියලා තාත්තා කියන කොට අම්මා මුකුත් නොකිය හිටියා.

සාරා කතාව නැවැත්තුවා. "ඉතින් ඊට පස්සෙ?" මම ඇහුවා.

ඊට පස්සෙ මම ඕස්ට්‍රේලියාවෙ පුරවැසියෙක් වුණා. සාරා හිනා වෙලා කිව්වා.

ඔය කතාබහෙන් පස්සෙ අපි හොඳම යාළුවො වුණා. සාරා සුදු මනුස්සයෙක්ව කසාඳ බැන්දා. එයාලට බබාලා නෑ. ඒත් එයාලා අත් අල්ලගෙන මූදු වෙරළෙ ඇවිදින්න යනවා. සාරා මහත්තයට මසාලා දෝසා හදලා දෙනවා, රෝසපාට තොල් සායම් ගාලා ළා දම් පාට ගවුම් ඇදලා සන්තෝසෙන් ඉන්නවා. "දැන්වත් කොල්ලෙක් වෙන්න බලන්න" කියලා ඕස්ට්‍රේලියාවෙ කවුරුවත් එයාට කියන්නෙ නෑ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...