පෙට්ටි කඩේ ළඟ ජ ර­ ම­ ර ය | දිනමිණ

පෙට්ටි කඩේ ළඟ ජ ර­ ම­ ර ය

බණ්ඩි රාල

පෙට්ටි කඩේ ළඟ උදේ පාන්දරම පොඩි ජරමරයක්. සතියේ වෙනදා මේ වෙලාවට එන නගර සභාවේ කුණු ට්‍රැක්ටරය ඇවිත් නෑ. ගොඩගැහිලා තියෙන කසළ ටිකට කපුටෝ එකා දෙන්නා සෙට් වෙනවා. ඊට පස්සෙ බල්ලෙක් දෙන්නෙක්. දැන් හැලිච්චි ඕජස් ගලන සමහර පොලිතින් කවර එක දෙක වැඩිවෙනවා. පාන් රාත්තලක් අරන් යන්න ආව මේරි නැන්දා එක අතකින් පාන් රාත්තල අරන් අනිත් අතින් නාසය වහගෙන පාර පනිනවා.

“මේ යක්කු අද වර්ජනයක්ද දන්නෙ නෑ“ කළු ජෙමා පෙට්ටි කඩේ ලෑලි පියන යටින් ඔළුව දාලා පාර දෙපැත්ත බලනවා. කළු ජෙමාත් ඇතුළු අවට එක් රොක් වෙච්චි හැමෝම තම තමන්ගෙ කසළ ටික පාරට දාලා නගර සභාවට බැණ බැණ ඔහේ ඉන්නවා. ඒ අතර පොලිතින් තහනම් කරන්නට ආණ්ඩුව විසින් ගෙනියන වැඩපිළිවෙළත් විවේචනය කරනවා.

“ඇයි බන් දැන් ඔය කුණුවලින් විදුලිය නිපදවන්න යන කතාවක් ඒ කාලේ කීවා නේද?" සුමනයා අහනවා.

“ඒ ඡන්ද කාලෙනෙ බන්?" රත්තා උත්තර දෙනවා.

ලෝකයේ වෙනත් රටවල කුණුවලින් විදුලිය නිපදවීම, පොහොර නිපදවීම, වෙනත් වෙනත් බඩු භාණ්ඩ නිපදවීම කරනවා. ඒත් අවාසනාවකට අපේ රටේ කුණු කඳුවලට යටවෙලා මිනිස්සු මැරෙනවා. එහෙම වෙලා තියෙන්නෙ ඇයි? හැමෝම පහසුවෙන් කරන්නේ ආණ්ඩුවට දොස් පවරන එකයි. ඒත් වගකිව යුත්තේ ආණ්ඩුව විතරද?"

“ඇයි බන් ඉතිං. ඔන්න ඔහේ කුණු වර්ගීකරණය කරන්න කියලා නීතියක් ගෙනාවා. ඉතිං අපි පොලිතින්, කඩදාසි, ඉඳුල්, වෙන වෙනම වර්ග කරලා මලුවලට දානාවා. නගර සභාවේ අයියලා එකම ට්‍රැක්ටරයට ඔක්කොටම එකට පටවලා අරන් ගිහින් ඔය කොහේ හරි දානවා“

“දැන් නම් ඉතිං එහෙම ගිහින් දාන්නවත් තැනක් නෑනේ. දාන දාන තැන මිනිස්සු කුනු එපා කියලා කෑ ගහනවා. ඊට පස්සෙ දවසක් දෙකක් කුණු දාලා ඊට පස්සෙ ආයෙ එකතු කරන්නෙ නැතුව යනවා“ කිතුල් සමරෙත් කතාවට එකතු වෙමින් එහෙම කීවා.

“කසළ විරෝධය කොච්චර දුර දිග ගිහින්ද කියනවානම් රටේම මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඒ කියන්නෙ විමධ්‍යගත අරමුදලෙන් කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් හැදුවම ඒකටවත් කුණු කසළ ගෙනත් දාන්න ඉඩදෙන්නෙ නැති තරමට ජනතාව පෙරමුණට ඇවිල්ලා.“ මං එහෙම කීවම එකා දෙන්නා ටිකක් රවලා වගේ බැලුවා. ඒත් ඉතිං ඒක එහෙමනේ.

කසළවලට ඉවත දමන පොලිතිනුත් ඇතුළත්. ඒත් කසළ කියන්නෙ පොලිතින් විතරක්ම නෙවෙයි. පොලිතීන් තහනමත් එක්ක පිච්චීමත් තහනම්. එතකොට ඒවට මොකද කරන්නේ? පොලිතින්වල බඩු භාණ්ඩ ඔතලා දෙන මුදලාලිලා.

“අනේ අපි නම් ඉතිං ඔය පුංචි පුංචි දේවල් කඩදාසි කොළවල, කඩදාසි කවරවල තමයි දෙන්නෙ. පොලිතින්වල දෙන්න තරම් බඩු මුට්ටු ගොඩක් අපි විකුණන්නෙ නෑනේ“ කළු ජෙමා තමන්ගෙ පෙට්ටි කඩේ ඉඳන් ප්ලේන්ටියක් බොන ගමන් කියනවා.

ඒ කතාවෙන් ගත යුතු දෙයක් තියෙනවා. පුංචි පුංචි පෙට්ටි කඩවල නෙවෙයි, ලොකු ලොකු සුපර් මාර්කට්වල පොලිතින් වෙනුවට පරිසර හිතකාමී ඇසුරුම් මලු හඳුන්වා දිය යුතුවෙනවා. පොදු ජනතාවගේ සතෙන් සතේ, රුපියලෙන් රුපියල සූරාගෙන කන සුපර් මාර්කට් මුදලාලිලාට ඒ වෙනුවෙන් යම් මැදිහත්වීමක් කරන්නට සිදුවෙනවා. අනෙක් අතට ආණ්ඩුවෙන් පවා පරිසර හිතකාමි භාණ්ඩ ඇසුරුම් මලු විකල්පයක් ලෙස හඳුන්වාදීමට කටයුතු කළ යුතු වෙනවා. මොකද උගත්, යමක් කමක් ඇති මිනිස්සු වගේම නූගත්, දුගී දුප්පත් ජනතාවත් අප අතර සිටිනවා. පරිසර හිතකාමී යයි කියූ පමණින් හෝ පොලිතින් තහනම් කියූ පමණින් ඒ අයට මිල අධික පරිසර හිතකාමී ඇසුරුම් මලු මිලදී ගන්නට අමාරුයි. සීනි සීයට, කරවල කෑල්ලට, භූමි තෙල් භාගයකට එදාවේල පිරිමසා ගන්නට නොවිඳිනා ගැහැට විඳින මිනිස්සුන්ට සීනි සීයකට, කරවල කෑල්ලකට වඩා වැඩි මුදලක් පරිසර හිතකාමී ඇසුරුම් මල්ලකට වියදම් කරන්නට කිසිසේත්ම පෙළඹෙන්නේ නෑ. ටික වෙලාවකින් කුණු ට්‍රැක්ටරය ආවා.

“අපොයි ඇති යාන්තම්“ හැමෝම වාගේ සැනසුම් සුසුම් හෙළුවා.

“ඇයි මල්ලියේ අද පරක්කු“ කවුදෝ කෙනෙක් නගර සභාවේ මල්ලි කෙනෙක්ගෙන් ඇහුවා.

“අපිටත් ඉතිං වැඩ තියෙනවනේ. “ කොලුවා උත්තර දුන්නා. කවුරුත් “මීක්“ කීවෙ නෑ. කොහොමත් දැන් ඉතිං දොස්තර, කොන්දොස්තර රස්සාව වගේම කුණු රස්සාවත් ටිකක් නැඟලා යන එකක් වෙලා. උන්ගෙ හිතු රිද්දුවොත් කුණු ටික දාලා යනවා. පට්ට රැස්පට් එකක් දැන් උන් ළඟ තියෙනවා.

“මල්ලියෙ තේ එකක් බීල හිටපන්“ කළු ජෙමා නගර සභාවේ කොලුවාට කියනවා.

“හැමෝම තමන්ගෙ කුණු ටික අනුන්ට දීලා අත පිහදාගන්නවා“. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...