පොරො­න්දුව ‍

ශාන්ති දිසානායක

අන්‍ය ජාතික හා ආගමික සුමිතුරු ඇරයුමක් අතිශයින්ම ආස්වාදජනක බව පසක්කර ගන්නට ලැබුණ අසිරිමත් අවස්ථාව මඟහරින්නට මම කැමති නොවීමි.

“ඔන්න අක්කා එන්නම ඕන....අපි බලාගෙන ඉන්නවා”.

ඇගේ ළෙන්ගතු හඩ මගේ හද පුබුදු කරයි. ‍

“මගේ මුස්ලිම් යාළුවෝ අපි ඔක්කෝටම එන්න කීවානෙ කෑමට...”

මා ගෘහමුලිකයාට දැනුම් දුන්නේ ප්‍රතිචාරය කෙබඳු අන්දමේ එකක් විය හැකිදැයි සැකයෙනි.

“රාත්‍රී භෝජන සංග්‍රහය පිළිබඳ සැලකිල්ලක් නොදැක්වූ ඔහු රිෂාන් කූල් ස්පොට්” ‍පිහිටි ස්ථානය පිළිබඳව වංහුං විමසා සිටියේය.හරි හරි මට මතකයි. ...හොඳ මිනිස්සු.....”

මට දැනුණේ අපමණ අස්වැසුමකි.දෙවියන් නොඇදහුවද දෙවියන්ට ස්තුති කරන්නට පවා මට මොහොතකට සිතිණි.

මා සමඟ යාමට සූදානම් වූයේ සුපුරුදු පරිදි නිවුන් පුතුන් පමණි.

“අපි ඔක්කෝටම යන්න ඉතිං බස් එකක්වත් එපැයි අම්මේ...”

දෙවැන්න සරදම් කළේය.

“ඔයයි අයියයි බයික් එකේ එන්න...”

‍ “මුස්ලිම් ගෙදරකින් කෑවහම අපේ දේශප්‍රේමයට මොකක්ද අම්මා වෙන්නේ? අපොයි අපේ රට ,ජාතිය ආගම ....” යි වේදනාවක් මවා පෑ ගැටවරයා දෑතින් ළය මිරිකා ගත්තේය.

“ජාතිවාදියා....ජාතිවාදියා” යි ඔහු ගරහන්නට නිවුන්නු පසුබට නොවූහ. “ඕගොල්ලෝ අනාගතේ කවුරු වුණත් කමක් නෑ....ජාතිවාදියෝ නම් වෙන්න එපා.”

එකගොඩේ වැටී පෙරළෙන කොල්ලන් ඈත් මෑත් කරන්නට වෑයම් කාල මම මහත් උවමනාවෙන් ඉල්ලා සිටියෙමි.

“අපේ අම්මට අපේ රට ජාතිය ආගම ගැන කිසිම හැඟීමක් නෑ..”පොඩිපුතා මා අවුස්සාගන්නට වෑයම් කරයි.

“රට‍,ජාතිය ගැන හැඟීමක් ඇත්තටම තියෙනවානම් කරන්න ඕන එකම දේ තමා අනෙක් ජාතීන් අනෙක් ආගම් ඉවසන එක විවිධත්වයේ සුන්දරත්වය දකින්න පුරුදු වෙන්න ළමයිනේ. ඔසරිය වගේම පර්දාවත් අගය කරන්න. ධම්මපදය,බයිබලය ,කුරානය භගවත් ගීතාව හදාරන්න. මේ රටේ ඉන්න සිංහල මුස්ලිම් දෙමළ ජාතීන් සමගියෙන් හිටියොත් මේක දිව්‍යලෝකයක් වෙයි. කා කොටාගත්තොත් ඉතිං ලේ ගංගා ගලයි. මිනී කඳුගොඩ ගැසෙයි. ඒ ටික හොඳට මතක තියාගන්න.

මද්දු වහා හිස සැලුවේය. “හරි හරි අම්මා....අපි උණ්ඩු කරන්නැතුව ඉන්නං .. අම්මලා ඉක්මනට ගිහිං ඉක්මනට කාලා අපිටත් කෑම අරං එන්නකො ඉක්මනට. ඒ නැන්දා රසට උයලා ඇති.”

රස අහරට කවදත් ප්‍රියකරන කොලුවා දෙස බැලූ නිවුන්නු “අපෝ පෙරේතයා “යි අවමන් කළෝය.

“මට නං එපා..මුස්ලිම්’ ගේකින් කෑම කාලා මට මගේ රටට ජාතියට ,ආගමට ද්‍රෝහීවෙන්න බෑ...”

පොඩි පුතාගේ ව්‍යාජ ප්‍රකාශ නොතැකූ මම “ආ....එහෙමද ඉලංදාරියා ....එහෙනං ඉතිං අද රහට කන්න වෙන්නෙ දේශප්‍රේමය තමා...මං රෑට ඉව්වේ නෑ..”යි කීවේ සිනාව මැඩ ගනිමිනි.‍

“බුදු අම්මෝ රෑට උයල නැද්ද....” ගේන්න ගේන්න...මටත් කෑම ගේන්න...”‍

කලබල වූ දෙවැන්නා උඩ පැන්නේය.

“හරි වැඩේනේ...එතකොට ඔයාගෙ දේශප්‍රේමය ජාතිවාදය....”

“මකබෑ වෙලා ගියාදෙං අම්මා...මට බඩගිනියි.හරි බඩගිනියි.”

අපි ත්‍රීවිලිරයට නැංගේ මහ හඬින් හිනැහෙමිනි.

එප්පාවල නගරයෙහි. රිෂාන් කූල් ස්පොට් හී ‍මොහොමඩ් මල්ලිත් ෆාතිමා රිස්මිලා නංගිත් අප මහත් ආදරයෙන් පිළිගත්තෝය. ඒ ළෙන්ගතු සිනාවටද ප්‍රිය තෙපුල්ද සොම්නසට තිළිණ කළේය.

ෆාතිමා රිස්මා ලොකු දුවද මොහොමඩ් රිෂාන් පුතුද ෆාතිමා රුස්නා පොඩි දුවද අප වටා දැවටුණේ ළමාවියේ චමත්කාරය විදහාදක්වමිනි.

මොහොමඩ් මල්ලිගේත් ෆාතිමා නංගිගේත් සාදර ආරාධනාව පිළිගෙන පැමිණි පාසල් ගුරුතුමිය හා දියණියද සැමියාද සංහිඳියාව හා සමාදානය අගය කරන උතුම් මනුෂ්‍යයන් නොවේදැයි මට සිතිණ.

ෆාතිමා රිස්මා ලොකු දුවගේ වයසේම වාගේ පසු වූ දියණිය සිය මවගේ කීමට අවනතව යෙහෙළිය සමඟ පිළිසඳරකට පසෙකට ගියාය. ඒ සිංහල දියණියද මුස්ලිම් දියණියද එක්ව ‍හිනහෙන කල මට දැනුණේ අපමණ සතුටකි. අනාගත පරපුර හෝ මේ ජාතිවාදයේ උමතුවෙන් මිදී සංහිඳියාව තෝරාගන්නේ නම් මෙරට අනාගතය සුබවනවාට සැක නැත.

ෆාතිමා නංගි දුන් ආහාර ගෙන ගෙට ගොඩවූ හැටියේ පළමුව දිව ආවේ දෙවැන්නාය.මද්දුත් ලොකු පුතාත් මහත් රුචි‍ෙයන් ආහාර අනුභව කළ අතර ඔවුන්ගේ සිය රසගුණ වර්ණනා කළේය.

“හරි රහයි......ඇත්තටම රහයි...”

මම මගේ දෙවැන්නා දෙස බලා ඉඟි මැරුවෙමි. “ඔය ගොල්ලො මොකද කියන්නෙ?”

කොල්ලෝ කඩිමුඩියේ කමින්ම” රසයි අම්මා...මොකටද ඉතිං බොරු කියන්නෙ..ෆාතිමා නැන්දට කියන්න අපි හරි ආසාවෙන් කෑවා කියලා...” යි සිය අවංක අදහස හෙළිකළෝය.

“කට්ටියම පොරොන්දු වෙන්න ඕන කවදාවත් තවත් කෙනෙක්ව රිදවන්නෙ නෑ කියලා ජාතියේ ආගමේ කුලයේ නාමයෙන්....”

ඒ එක් එක් හැඩයේ හිස්සැලුණේ මා මුවඟ ජයග්‍රාහී සිනාවක් නංවමිනි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...