මර­ණය පම­ණක් නොව ජීව­ත්වී­ම ද දුකකි | දිනමිණ

මර­ණය පම­ණක් නොව ජීව­ත්වී­ම ද දුකකි

බන්දුල පී දයාරත්න

“ටොම්සන් මහත්තයා... මං අද ගියානේ පානදුරේ...” කියමින් උන්නැහේ ගෙදරට ගොඩ වුණේය.

”ඒ මොකෝ උන්නැහේ... අපි කාටවත් කියන්නේ නැතිව... කවුරු හරි නෑදෑයෙක් බලන්ඩවත් ගියාද?” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

”නෑයෙකුත් නෙවෙයි... නොනෑයෙකුත් නෙවෙයි...” කියමින් උන්නැහේ සාලයේ හාන්සි පුටුවේ හිඳ ගත්තේය.

”මට තේරෙන්නේ නෑ... ඒ මොකක්ද ඒ කතාවේ තේරුම.... ටිකක් පැහැදිලි කළා නම්...”කියා ඇම්බන් මහත්තයාද එතැනට ආවේය.

”නෑ.. මං මේ කල්පනා කළේ.... මේ පෝයක් ගෙවිච්චි දවසේ... රට හැම තැනම දන්සල් දුන්නා නේ... මිනිස්සු අනික් අය ගැන කොච්චර අනුකම්පා කරනවාද? තමන්ගේ මුදල් හදල් අනුන්ගේ යහපතට කොච්චර නම් වියදම් කරනවද? ඒ වුණාට මට නම් හිතෙන්නේ මේවා වැඩි හරියක් රැවටිලි...” කියා උන්නැහේ කීවේය.

” ඒ කියන්නේ... ඇයි මොකද උන්නැහේට පානදුරේ ගිහිල්ලා සිද්ද වුණේ...?”

” නෑ... මං කියන්නේ ටොම්සන් මහත්තයා. අපි සාමාන්‍යයෙන් කියන්නේ මැරෙන එක දුකක් කියලා නේ... ඒ වුණාට මට අද හිතුණේ ජීවත් වෙන එකම දුකක් කියලා.. විශේෂයෙන් මැරෙන්න ඕනැ කාලේ ජීවත් වෙන එක මං කියන්නේ...” කියා උන්නැහේ කීවේ බොහෝ සන්තාපයෙනි.

ඇම්බන් මහත්තයාත් ටොම්සන් මහත්තයාත් උන්නැහේග‍ේ දෙපසින් ඉඳ ගත්හ.

”ටිකක් පැහැදිලි කරන්නකෝ උන්නැහේ...ඔළුව වටේ අත දාලා කන අල්ලන්න යන්නේ නැතිව...” කියා ඇම්බන් මහත්තයා නොසන්සුන්ව කීවේය.

” මං ගියානේ අර මහාචාර්ය ජයදේව තිලකසිරි මහත්තයා බලන්න... ඒක මේ අහම්බෙන් සිද්ද වෙච්චි දෙයක්.. ඒ වුණාට මගේ හිත නිකම්ම කම්පා වුණා.. අපි හුඟක් කැමතියි නේ වැඩි කාලයක් ජීවත් වෙන්න.. ඒ වුණාට එහෙම ජීවත් වෙන එකම මහ විපතක් වගේ කියලා මට හිතුණා...”

ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත් එකිනෙකාගේ මුහුණු බැලූහ.

”ඇත්තටම නම් ඔය කාරණේදි අපිත් වැරදි කාරයෝ උන්නැහේ.. මාත් ටික කලක ඉඳන් හිතා ගෙන ඉන්නවා ජයදේව මහත්තයා බලලා එන්න යන්න.. ඒ වුණාට කොහොම හරි උන්නැහේ හරි ගිහින් ආපු එක ලොකු දෙයක්... ඉතින් ජයදේව මහත්තයා කියන්නේ මොනවාද? උන්නැහේ මේ රටේ හිටපු මහ පඬි රුවනක්නේ...”

”ඔව්.. එහෙම තමයි.. මට මතකයි මං පුංචි කාලේ මහාචාර්ය ජයදේව තිලකසිරි කියලා නිතර නිතර පත්තරවල ලිපි පළ වුණා... අනික් එක විශ්වවිද්‍යාලේ කොයි තරම් කාලයක් උන්නැහේ මේ උපාධි අපේක්ෂකයන්ට උගන්නලා ඇතිද? ඒ අය කොයි කොයි වගේ ඉහළ තනතුරුවල ඉන්නවද? දැන් මේ එක එක අයට උපහාර පවත්වන උත්සව නිතර පවත්වන්නේ.... මොකද ඒ ගොඩට ජයදේව මහත්තයා නැත්තේ...”

”ඒක නම් මේ සුලු කාරණයක්.... ඒ කියන්නේ ජයදේව මහත්තයා ඔය ශාස්ත්‍රීය කටයුතුවලින් ඉහළ කෙනෙක් මිසක් දේශපාලන කටයුතුවලට සම්බන්ධ කෙනෙක් නෙවෙයිනේ... කෙනෙකුට උපහාර උත්සව තියන්න නම් ටිකක් හරි දේශපාලනේට ගෑවිලා තියෙන්න ඕනෑ.. එතකොට තමයි කෙනකුට වටිනාකමක් ලැබෙන්නේ... අන්න පාල මහත්තයාට කිව්වා නම් ඔය ගැන තව තොරතුරු ටිකක් දැන ගන්න පුඵවන් වෙයි.” කියා ටොම්සන් මහත්තයා කීවේය.

” එහෙම වෙන්න ඇති.. ඒ වුණාට ටොම්සන් මහත්තයා... මේ වගේ රටක් වටින උගතෙකුගේ ජීවිතේ අවසාන කාලයේ මේ සමාජයේ ගරු සැලකිලි ලැබෙන්න දේශපාලනේ මොකටද? ජයදේව මහත්තයාගේ කාමරේ දොරේ ගහලා තියෙන්නේ ‘මාව බලලා යන්න එන්න.’ කියලා... තවත් මොනවද? අඩු ගණනේ එහෙම ගිහින් බලලා. කතා කරලාවත් එන්න බැරිද? කෙනෙක් ජීවිතේ වැඩි වයසට යන කොට හැසිරීම්වල ටික ටික වෙනස්කම් ඇති වෙනවා තමයි.. ඒක කාටත් ස්වභාවික කරුණක් නේ.. ඒ කියලා අපට පුළුවන්ද ඒ වගේ කෙනෙක්ගේ වටිනාකම අමතක කරන්න... මං කියන්නේ මේක මහ ගුණමකු සමාජයක්...නැද්ද ඇම්බන් මහත්තයා....? ” කියා උන්නැහේ ඇසුවේය.

” හරි නම් අර පහුගියදා පවත්වපු ජාතික සම්මාන උලෙළේදී ජයදේව මහත්තයාටත් ජාතික සම්මානයක් ලැබෙන්න තිබුණානේ.. ඒ වුණාට ඒකට නම් තෝරපු උදවිය ජයදේව මහත්තයාට ගැන දන්නේ නැතිව ඇති... ඒකනේ කාරණේ.. එහෙම දැන ගන්න නම් ටිකක් එළි පහලියට බැහැලා කතා කරන්න ඕනෑ.. ජයදේව මහත්තයාට එහෙම යන්න එන්න බෑනේ... ඒකයි කාරණේ... මං යනවා පාල මහත්තයා හම්බු වෙන්න...”

පාල මහත්තයා මුණ ගැහෙන්න ගෙදරින් පිටව ගිය උන්නැහේ ආපසු ආවේ හොඳටම රෑ බෝවී ගෙනය.

”මොකද වුණේ උන්නැහේ....”

”මොනවාවත් නෑ... ඒ වුණාට පොඩි ඔත්තුවක් ලැබුණා...” කියා උන්නැහේ කීවේය.

”මොකක්ද ඒ ඔත්තුව... නිකම් හොරකමක් අල්ලන්න වගේ...” කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

”පාල මහත්තයා මට කිව්වේ මේ කාරණේ අර තෙවරප්පෙරුම මහත්තයාට කියන්න කියලා... උන්නැහේ ඔය සංස්කෘතියට සම්බන්ධ ලොකු කෙනෙක් නේ.. අනික උන්නැහේ යමක් දිහා බොහොම යථාර්ථවාදී විදිහට බලන කෙනෙක් කියලත් කිව්වා... ”

”හරි අපිත් එන්නම් තෙවරප්පෙරුම මහත්තයා හම්බු වෙන්න” කියා ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් කීවෝය. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...