මතක සෙව­ණැලි ගැන මතක සට­හ­නක් | දිනමිණ

මතක සෙව­ණැලි ගැන මතක සට­හ­නක්

එල්.  මුරුගපූපති

කමල් පෙරේරා

මුරුගපූපති ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ලේඛකයෙක්. ඔහු හැම අවුරුද්දකට වතාවක්ම ශ්‍රී ලංකාවට ඇවිත් යනවා. ඔහු එහෙම එන්නේ හේතු කීපයක් නිසා. එකක් තමා ශ්‍රී ලංකාවේ ඉන්න සිය පවුලේ සෙසු සාමාජිකයන්ගෙ දුක සැප බැලීම. අනිත් කාරණය ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කටයුතුවලට සහභාගි වීම. තවත් වැදගත් කාරණයකුත් තියෙනවා. මුරගපූපතිත්, විදෙස්ගත වී සිටින ලාංකික දෙමළ ප්‍රජාවේ කණ්ඩායමක් එකතු වී පවත්වාගෙන යන ශිෂ්‍යාධාර ව්‍යාපෘතියක සාමාජිකයෙක්. පහුගිය යුද්ධයෙන් අනාථ වුණු උතුරු නැ‍ඟෙනහිර දරු දැරියන් සිය ගණනක් ඔවුන්ගේ මේ ව්‍යාපෘතියෙන් ආධාර ලබනවා. එම ව්‍යාපාතියේ කටයුතුවල නිරත වීමත් ඔහුගේ ශ්‍රී ලංකා චාරිකාවේ තවත් අරමුණක්.

මෙවර ශ්‍රී ලංකාවට ආ වෙලාවේ ශ්‍රී ලංකාවේ සිංහල ලේඛකයන් කිහිප දෙනෙක් හමු වීමේ අවශ්‍යතාවත් මුරුගපූපතිට තිබුණා. ශ්‍රී ලංකාවට එන්න කලින්ම ඔහු මේ බව ඔහුගේ ලේඛක මිතුරකු වන මඩුළුගිරියේ විජේරත්නට දැනුම් දීම නිසා මඩුළුගෙන් මටත් ඇරියුමක් ලැබුණා මුරුගපූපතිව හමු වෙන්න. ජ්‍යෙෂ්ඨ ලේඛක ගුණසේන විතානයන්ගෙ නිවෙසෙ පැවැති මේ හමුවට මට අමතරව දෙනගම සිරිවර්ධනත් සහභාගි වුණා. මුරුගපූපතිට අපූරුවට සිංහල කතා කිරීමට පුළුවන් වීම අපි කාටත් ලොකු සහනයක් වූ බවත් කිව යුතුයි. මට මතක හැටියට ඔහු ශ්‍ර‍ී ලංකාවෙන් පිට වී යන්නේ 1987දි. එහෙම වුණත් ඔහුට අපූරුවට සිංහල කතා කරන්න පුළුවන් වුණේ කොහොමද කියන කුතුහලය මගෙ හිතේ නලියන්න වුණ නිසා මම කෙළින්ම ඒ ගැන මුරුගපූපතිගෙන් විමසා සිටියා.

‘‘සහෝදරයා මම හැදුණෙ වැඩුණෙ මීගමුවෙ. ඊට අමතරව පුංචි කාලෙම අපේ වැඩිහිටියෝ අපිට සිංහල ඉගැන්නුවා. ධර්මසේන කියලා ගුරුතුමෙක් අපේ ගෙදරටම ආවා අපිට සිංහල උගන්නන්න. මට මතකයි මං අම්මගෙන් ඒ ගැන අහපු වෙලාවේ අම්ම දීපු උත්තරේ. ‘‘දෙමළ භාෂාව ඔබේ මවුබස බව ඇත්තයි. එහෙම වුණත් සිංහල බස තමා ඔබේ සහෝදර බස. ඒ වගේම ඉංග්‍රීසිත් අවශ්‍යයි. මොකද ඉංග්‍රීසි තමා ජාත්‍යන්තර භාෂාව.’’ අම්මා එදා කියපු ඒ වචන ටික මගේ හදවතේ තැම්පත් වුණා.’’

එහෙම කියපු මුරුගපුපති ඔහුගෙ බෑග් එකෙන් පොත් කීපයක් අරන් අප අතර බෙදා දුන්නා. පොත් පිරිනමන ගමන් ඔහු සිනා සිසි මෙසේ කිව්වා. ‘‘ සිංහල කතා කරන්න කියවන්න පුළුවන් වුණාට මෙහෙම වැඩක් කරන්න බැහැ. මේ මගේ කෙටි කතා එකතුවක්. මේක සිංහලට දැම්මෙ නං අපේ මිත්‍ර කරාමත්.’’

මම ඔහු දුන් පොත පෙරළා බැලූවා.‘‘මතක සෙවණැලි‘‘කියලයි පොත නම් කර තිබුණේ. ඊට යටින් මෙහෙම වාක්‍යයකුත් යොදා තිබෙනු පෙනුණා.‘‘දෙමළ ඩයස් පෝරාවේ හදගැස්ම සිංහල පාඨකයා අතරට රැගෙන එන ප්‍රථම සාහිත්‍යමය අත්දැකීම ’’ කියලයි එහි ලියා තිබුණේ.

ඩයස්පෝරා කියපු ගමන් අපේ සිංහල සමාජයේ හුඟ දෙනෙක් තිගැස්සෙන බව මම දන්නවා. සමහරු හිතාගෙන ඉන්නේ ඩයස් පෝරා කියන්නෙ කොටි ව්‍යාපාරෙට ඉංග්‍රීසියෙන් කියන නම කියලයි. මීට කලින් වතාවකුත් මේ තීරුවෙම ඩයස්පෝරා යනු කුමක්ද කියා කතා කළ නිසා මා මෙවර ඒ ගැන යළිත් කතා කරන්න කල්පනා කරන්නෙ නැහැ. ඒ වෙනුවට මුරුගපූපතිගෙ කතා සංග්‍රහයේ එන මා සිත් ගත් එක කතාවක දෙකක් ඔබේ අවධානයට යොමු කරන්නම්.

මේ කතා අතරින් එක කතාවක් ලියවිලා තියෙන්නෙ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සිංහල හා දෙමළ සරණාගත පවුල් කෙක් පසුබිම් කරගෙනයි. ඒ නිසා මේක සිංහල හා දෙමළ ඩයස්පෝරා කතාවක් ලෙසත් නම් කරන්න පුළුවන්. කතාව නම් කරලා තියෙන්නෙ ‘‘අවතැන් ජීවිත’’ යනුවෙනුයි. ඒකෙන්ම පැහැදිලි වෙනවා ඔවුන් ශ්‍රී ලංකාවේදි කිසියම් ගැටලුවකට මුහුණ දීලා ඔස්ට්‍රේලියාවේ රැකවල් පතා ගිය දෙපිරිසක් බව. කතාව දිග හැරෙන්නේ යොවුන් වියේ පිරිමි දරුවන් දෙදෙනගේ මිතුදමක් ඔස්සේයි.

ඔවුන් විවිධ ජනවර්ගවලට අයත් දරුවන් එකට ඉගෙන ගන්නා පාසලක එකම පංතියේ මිතුරන් දෙපලක්. දෙමළ යෞවනයා තම සිංහල මිතුරාව දවසක් ඔවුන්ගේ නිවසට අඬ ගසාගෙන එනවා. අම්මා ඔවුන් දෙදෙනාට තෝසෙ සකස් කර තිබෙනවා. සිංහල දරුවාට සිය පවුලේ සෙසු සාමාජිකයනුත් කැඳවාගෙන එන ලෙස පවසන්නැයි දෙමළ මව කල් ඇතිව පුතාට කීවත් පැමිණෙන්නේ සිංහල දරුවා පමණයි.

කෑමට පෙර දෙමළ යෞවනයා දේවරූපවලට හා එහිම තබා ඇති සිය පියාගේ ඡායාරූපයට වැඳ නළලේ අළු තවරා ගන්නවා. කෑම ගැනීමට පෙර සිංහල දරුවාද ඇස් පියාගෙන මඳ වෙලාවක් කිසියම් දෙයක් මුමුනනු දුටු දෙමළ මව මෙහෙම කියනවා.

‘‘කෑමට පෙර මෙහෙම දෙවියන් සිහිකරන එක හොඳ චාරිත්‍රයක්.’’

‘‘අම්මේ මම දෙවියන් සිහි කළා නෙමේ. මම අපේ තාත්තා මතක් කළා. තාත්තා හමුදා නිලධාරියෙක්. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එයා මළා....’’

දෙමළ දරුවාගේ පියා අහිමි වන්නේ හමුදා පැහැර ගැනීමක් හේතුවෙන්. සිංහල දරුවාගේ පියා අහිමි වන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්. යුද්ධය නිසා සිය පියවරුන් අහිමි වූ ඒ දරුවන් දෙදෙනාම අනාථයන් ලෙස ඕස්ට්‍රේලියාවේ රැකවරණය ලබා එකම පාසලක එකම පංතියේ ඉගෙනුම ලබනවා.

‘‘සහකම්පනය’‘ නමින් එන තවත් කතාවකට පසුබිම් වන්නේ ශ්‍රී ලාංකික අත්දැකීමක්. සිංහල සමාජය හා මිශ්‍රව ජීවත් වන දෙමළ පවුලක් මුහුණපාන මෙම අත්දැකීමද මානව හිතවාදි දෘෂ්ටියකින් යුතුව රචනා කර තිබෙන බව පෙනෙනවා. මඩු වන්දනාවේ ගිය සිංහලයන් පිරිසක් ආපසු නොපැමිණීම හේතුවෙන් සිංහල හා දෙමළ සමාජය අතර ඇතිවන විරසක වීමක් තේමා කරගෙනයි මේ කතාව ලියවෙන්නේ. සිංහල ජනයාට මැදි වී ජීවත් වන දෙමළ පවුල මේ පුවත අසා භීතියෙන් වෙලී යනවා. ඔවුන්ට අසල්වැසි සිංහලයන්ගෙන් හිරිහැරයක් නොවුණද හිත මිතුරුකම් අත් හැරෙනවා. දෙමළ පවුලේ දරුවෝ අසල්වැසි සිංහල දරුවන්ගෙන් කොන් වීම හේතුවෙන් නිවස තුළටම වී කාලය ගත කරනවා. එහෙත් කලකට පසු සිංහල දරුවෙක් කිරිබත් පිඟානක්ද රැගෙන දෙමළ නිවසට එනවා . ඒ පිඟානෙ තියෙන්නෙ මඩු පල්ලි ගොස් අතුරුදන් වූ සිය පියාගේ අවුරුද්දේ පිංකම වෙනුවෙන් පිසූ කිරිබත්. දුරස් වී සිටි සිංහල දෙමළ මිතුරෝ යළි ළංවෙන සැටි පෙන්වා දෙමින් කතාව නිමා වෙනවා

මුරුගපූපතිගෙ ‘‘මතක සෙවණැලි’’ කෙටිකතා සංග්‍රහයේ ඇතුළත් හැම කතාවකම වගේ අන්තර්ගත වී තියෙන්නේ මේ වගේ කතා පුවත්. මේ කතා මගින් ඔහු පෙන්වා දෙන්නේ යුද්ධය විසින් මිනිස් ජීවිතවලට අත් කර දෙනු ලබන ඛේදනීය ඉරණමයි. ජන වාර්ගික සුහදත්වය වෙනුවෙන් ලේඛකයාට කළ හැකි මෙහෙවරේ නිමාවක් නැති බවයි මේ කතා එකතුව කියවූ මට හැඟී ගියේ. ලෝකයේ කොයි දීපංකරයක හිටියත් තම නිජබිමත් ජනතාවත් වෙනුවෙන් මෙහෙවර කරන්න ලේඛකයකුට අවකාශ තිබෙන බවත් මුරුගපූපති ලේඛකයා මේ කතා සංග්‍රහය මගින් කදිමට පෙන්වා දෙනවා. අපට මෙවන් මඟ පෙන්වීමක් කළාට බෙහොම ස්තුතියි මුරුගපූපති. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...