ලෝක උරුම ස්ථාන රැක ගැනීම රජයේ වගකීමයි | දිනමිණ

ලෝක උරුම ස්ථාන රැක ගැනීම රජයේ වගකීමයි

 ලෝක උරුම වශයෙන් යුනෙස්කෝ සංවිධානය විසින් නම්කරන ලද ස්ථාන ආරක්‍ෂා කිරීම රජයේ වගකීම බවත්, ඇතැම් පුද්ගලයන් රජය විසින් පිං පෙට්ටිවලට අනවශ්‍ය ලෙස මැදිහත් වන බව පවසමින් විවිධ කතා පතුරුවන බවත් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

ඇමැතිවරිය මේ අදහස් පළකළේ රත්නපුර, ඇඹිලිපිටිය කාවන්තිස්ස රජමහා විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරිය මෙසේද සඳහන් කළාය.

පහුගිය දවස්වල රජය පිං පෙට්ටිවලට අතගහනවා කියලා ලොකු කතාවක් කියාගෙන යන්න පටන් ගත්තා. සමහර දේවල් ලෝක උරුම හැටියට යුනෙස්කෝව විසින් නම් කරලා තියෙන්නේ ඒවා ආරක්‍ෂා කිරීමේ වගකීම රජයට තියෙනවා. ඒවායින් ලැබෙන සියලු ආදායම් ලෝක උරුම හැටියට නම් කරපු ඒවා ආරක්‍ෂා කරන්නට කටයුතු කරන්නට රජයට වගකීමක් තියෙන නිසා. මේ වැඩකටයුතු කෙරෙන කොට විශේෂයෙන් මේ රටට විදේශික සංචාරකයන් හැටියට එනකොට විශාල මුදලක් මේ ලෝක උරුම හැටියට නම් කරලා තියෙන ඒවට පූජා කරන්න ඒ අය කටයුතු කරනවා. මොකද නිර්මල බෞද්ධ ධර්මය පිහිටලා තියෙන රටක් හැටියට නිර්මල බෞද්ධ ධර්මය ආරක්‍ෂා කරන්න කටයුතු කරන රටක් හා රජයක් හැටියට හැමකෙනෙක්ම පිළිඅරන් තියෙනවා ථේරවාදී බෞද්ධ ධර්මය හරියාකාරව පවත්වගෙන යන රටක් හැටියට අපේ පුංචි දිවයින. ඒ නිසා තමයි ජාත්‍යන්තර වෙසක් දිනයක් ජාත්‍යන්තර වශයෙන් නම් කරලා ජාත්‍යන්තර වෙසක් උත්සවය මේ රටේ පවත්වන්නට රටවල් 82ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මේ රටේ පවත්වන්නට අපේ රජයට පුළුවන්කමක් ලැබුණේ.

නිරන්තරයෙන් බෞද්ධ ප්‍රතිපත්ති තුළ ජීවත්වන පාලකයන් ඉන්න රජයක් හැටියට අපි සියලු දෙනාම ඒ වෙනුවෙන් බැඳිලා ඉන්නවා කටයුතු කරනවා සහ ඒ සමාරම්භක උත්සවයට ආවේ ඉන්දියාවේ අගමැතිතුමා. අවසාන උත්සවයට ආවේ නේපාලයේ ජනාධිපතිතුමිය. එතුමිය පුද්ගලිකවම මට කියපු දෙයක් තමයි අපේ බුදුන් උපන් දේශයේවත්, මේ තරම් බෞද්ධ ධර්මයට අවශ්‍ය තැන ලබාදීලා නෑ කියන එක ගැන එතුමිය කනගාටුවෙනවා කියලා. මේ වගේ අපි හැමකෙනාම අපි සමහර වෙලාවට සමහර අයට පන්සල මතක් වෙන්නේ පාංශකූලයක් දෙන්න ඕනි වුණාම. නැත්නම් හත් දවසේ බණක් වෙන්න ඕනි. පන්සලක් පැත්තකවත් එන්න අවශ්‍යතාවක් වෙන්නේ නෑ. වයසට යනකම් ඉන්නවා ඇවිල්ලා සිල් ටික ගන්න. කොහොමද වයසට ගියාම පස්සේ තමයි සීලය රකින්න නැත්නම් ධර්මය අවබෝධ කරගන්න උත්සහ කරන්නේ. මේකට වයසක් සීමාවක් නෑ. අද දරුවන්ට හරි ධර්ම අධ්‍යාපනයක් නැති නිසා නොයෙකුත් විදිහේ විනාශකාරී දේවල් සමාජය ඇතුළේ සිද්ධ වෙනවා.

මෙම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය, නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන යන මහත්වරු ඇතුළු විශාල පිරිසක්ද එක්වී සිටියහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...