අමෙරිකාවේ නව නිර්මාණ විශේෂඥයන් මෙරටට | දිනමිණ

අමෙරිකාවේ නව නිර්මාණ විශේෂඥයන් මෙරටට

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපදය අතර ආර්ථික සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කිරීමේ ප්‍රයත්නයක් ලෙස අමෙරිකාවේ නව නිර්මාණ විශේෂඥයන් ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණඥයන් සමඟ එක්ව කටයුතු කිරීමට පියවර ගෙන ඇත.

අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය තොරතුරු තාක්ෂණ නව නිර්මාණ විශේෂඥයකු වන චෙරිල් එඩිසන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ ව්‍යාවසායකයන්, ඉංජිනේරු ශිෂ්‍යයන් සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ නියෝජිතයන් සමඟ සම්බන්ධ කරලීමට කටයුතු කර තිබෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

මේ වසරේ පැවැත්වූ ඩිස්රප්ට් ඒසියා සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකයා වශයෙන් ද එඩිසන් මහත්මිය කටයුතු කළාය. උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබීමත් කුසලතාවලින් හෙබි කැපී පෙනෙන මානව සම්පතත් නිසා නවීනතම තොරතුරු තාක්ෂණ සහ ආර්ථික මධ්‍යස්ථානයක් වශයෙන් සාර්ථකත්වයට පත්වීමට ශ්‍රී ලංකාවට කදිම අවස්ථාවක් තිබෙන අතර ආර්ථික සෞභාග්‍ය උදා කරගැනීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහය සාර්ථක කරගැනීමට අමෙරිකානු විශේෂඥයන්ගේ සහාය ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් ආඩම්බරයට පත්වන බව ද ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රොබර්ට් හිල්ටන් මහතා සඳහන් කරයි.

එඩිසන් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරය කළ දින අටක කාල සීමාවේ යාපනය සහ කොළඹ ප්‍රදේශවල දී ව්‍යවසායකයන් මුණ ගැසී ව්‍යාපාරික අරමුණු දිනාගැනීමටත්, ශ්‍රී ලාංකීය නිෂ්පාදන කලාපීය සහ ලෝක මට්ටමින් අලෙවි කරගැනීමත් සඳහා වූ උපායමාර්ගික දැනුම ලබාදීමට කටයුතු කළ බව ද ඒ මහත්මිය සඳහන් කළාය.

ඇය සිලිකන් වැලි සමාගමේ ව්‍යාපාරික සංවර්ධන විශේෂඥවරියක් වන අතර වොල්වෝ, වෝනර් බ්‍රදර්ස්, කැරේෆෝර් සහ රෙව්ලොන් වැනි සමාගම් ඇතුළුව ලොව පුරා ප්‍රමුඛ සමාගම් රැසක ව්‍යාපාර සංවර්ධන කටයුතුවල සාර්ථකව නියැලී තිබෙන බව ද ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය කියයි.

එඩිසන් මහත්මිය යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චියේ පිහිටි ඉංජිනේරු පීඨයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර සහ ඉංජිනේරු අංශවල සිසුන් සඳහා සම්මන්ත්‍රණ පැවැත්වූ අතර ඇයගේ ශ්‍රී ලංකා සංචාරයේ දී කාන්තා ව්‍යවසායකයන්, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකාවේ පරිගණක මෘදුකාංග හා සේවා සපයන සමාගම් සම්මේලනයේ සාමාජිකයන් හමු වී උපදෙස් ලබාදීමට කටයුතු කළාය.

ඩිස්රප්ට් ඒසියා සමුළුවේ දී ඇය දේශීය වෙළෙඳ ව්‍යාපාරිකයන්ට, තොරතුරු තාක්ෂණ නව නිර්මාණකරුවන්ට ජගත් මට්ටමේ යහභාවිතයන් හඳුන්වා දෙමින් ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් ව්‍යාප්ත කිරීමට උනන්දු කළාය.

2016 වසරේදී ද එඩිසන් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර ඒ අවස්ථාවේ දී ඇය කොළඹ සහ මහනුවර දී නව නිර්මාණකරුවන් සඳහා “Makerspaces” වැඩසටහන එළිදැක්වීමට සහාය දැක්වූවාය.

එසේම ඇය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සංවිධානය කරන ලද Spiralation Tech Startup Support වැඩසටහනේ සහභාගිකයන්ට නොමිලේ ප්‍රායෝගික පන්ති සහ පෞද්ගලික උපදේශන ලබාදීමට ද කටයුතු කළ බව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පෙන්වා දෙයි. 

නව අදහස දක්වන්න