පමා­වෙවී හිඳි­නට නැත වේලා කාලය ඉගිලී යයි ඉගිලී යයි... | දිනමිණ

පමා­වෙවී හිඳි­නට නැත වේලා කාලය ඉගිලී යයි ඉගිලී යයි...

බුද්ධදාස ගලප්පත්ති

කාලය ඉගිලී යයි ඉගිලී යයි කියල අපේ මහා කවියෙක් වන මහගමසේකර කියන්නෙ 1969 තරම් ඈත කාලයක. සේකර කවියාගෙ, ගීත රචකයාගෙ නිර්මාණයක හුඟක් වෙලාවට තියෙන්නෙ, කාලයකින් තොරව වැදගත් වෙන සංකල්පනා. සමහර අවස්ථාවක සේකර, තමන්ගෙ නිර්මාණයකින් අනාගතය පවා දකිනවා. ඒකට දක්වන්න පුළුවන් හොඳම උදාහරණය තමයි 1967 තිරගතවුණු සත් සමුදුර චිත්‍රපටයට මහගමසේකර රචනා කළ විශිෂ්ටතම ගීතය. මහැදුරු සිරි ගුනසිංහ අධ්‍යක්ෂණය කළ සත්සමුදුර 1967 දී තිරගතවෙන්නෙ සිංහල සිනමා වංශකතාවෙ 147 වන චිත්‍රපටය විදියට. ඒ චිත්‍රපටයෙ සංගීතය නිර්මාණය කළේ සංගීතඥ සෝමදාස ඇල්විටිගල.

ගැඹුරු සත් සමුදුර පතුල බිඳ

ඇඹරි ඇඹරී වියරු දළ රළ

තුමුල මහ මෙර දෙදරවයි

බුර බුරා නැගි

කුරිරු ජලකඳ

දෙරණ සම්පත ගිල ගනියි...

අවුරුදු තිස්හතකට (37) විතර පස්සෙ එදා සේකර දැක්ක මහා සමුදුර කළ විනාශය අපි අත්දුටුවෙ නැද්ද? 2004 සුනාමිය ජීවිත දසදහස් ගණනක් බිලිගත්තෙ, සේකර සත්සමුදුරට ලියපු ගීතයෙන් කියවුණා වගේම නෙවිද කියල කල්පනා වෙනවා.

ගැඹුරු සත් සමුදුර පතුල බිඳ

ඇඹරි ඇඹරී වියරු දළ රළ

තුමුල මහ මෙර දෙදරවයි

බුර බුරා නැගි

කුරිරු ජලකඳ

දෙරණ සම්පත ගිල ගනියි...

2004 දී අපි දැක්කෙ, ඇඹරි ඇඹරී, ගොස නඟමින් ගොඩට ගලා ආ වියරු වූ දළ රළ පෙළම නොවේ ද? සිනිඳු සුදු මුතු තලාවක පෙණ පිඬු විසුළ මේ මහා සාගරයම වියරු වැටුණෙ කොහොමද? තුමුල මහමෙර දෙදරවා නැවතුණද? කුරිරු ජලකඳ ඉහළට නැග්ගෙ බුර බුරා කෝපයෙන්. ඊට පස්සෙ මොකද වෙන්නෙ? දෙරණ සම්පත ගිල ගැනීම. එය කිසිම අඩුවක් නැතුව මහා සාගරය ඉටුකළ බව අපිට මතකයි. සේකරගෙ ගීතය මතක්වුණේ ඔහු තම නිර්මාණවලින් අනාගතය දැකපු නිසා ම පමණක් නෙවී ඒවායේ සදාකාලික වටිනාකමක් ද සත්‍යයක් ද ඇති බව අපට දැනෙන නිසා.

කාලය ඉගිලී යයි කියල සේකර අපට කියන්නෙ 1969 තරම් ඈත කාලෙකදී. ඒකත් චිත්‍රපටයක ගීතයකින්. වසන්ත ඔබේසේකරගෙ වෙස් ගත්තො අපි නරඹන්නෙ 1969 දී, සිංහල චිත්‍රපට ඉතිහාසයෙ 220 වන චිත්‍රපටය විදියට. සේකරට අනුව, පමා වෙවී හිඳින්නට වෙලාවක් කොහිද කාලය ඉගිලී යන මොහොතක. සේකර කාලය ඉගිලී යයි කියනකොට තවත් නිර්මාණකරුවෙක් කාලය පියඹා යයි කියලත් කියනවා. කොහොම කිව්වත්, ඉගිලී යන කාලය, පියඹා යන කාලය අතින් අල්ලලා නතර කරගන්න පුළුවන් එකක් නම් නෙවි. කාලය ඉගිලී යනව නම් අප කළ යුත්තේ මොනවද? සේකර එදා කියපු දේ අද අපට කරන්න පුළුවන් ද?

'අඩවන් දෑසින් පවසනු රහසින්

ජීවිතයේ රස මේ යයි විලසින්

පමා වෙවී හිඳිනට නැත වේලා

කාලය ඉගිලී යයි ඉගිලී යයි

සුපුල් දෙතොල් රත් පැහැයෙන් උතුරා

මී විත උතුරා යයි උතුරා

අවුල් දුහුල් වල සිහිල් පහස් මැද

රඟනා රංගන නොනවත්වනු මැන

ඒ ගී හඬ මුළු ජීවිතයම සතු

රසබර සුළු මොහොතයි

රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ

හෙට දින එය මිය යයි...'

සෝමදාස ඇල්විටිගල සංගීතවත් කළ, වික්ටර් රත්නායක මියුරු හඬින් ගායනා කළ අඩවන් දෑසින් ගීතයෙන් කියවෙන්නෙ, කාලය වේගයෙන් ඉගිලී යන සදාතනික සත්‍යය පමණක් ද?

කාලය ඉගිලී යන වේගය කෙතරම් ද කිව්වොත්, දැන් අද වෙනකොට, මේ තීරුව ලියන ජූලි මාසෙ දහතුන්වන බදාදා වෙනකොට, 2017 අවුරුද්දෙන් හරි අඩකටත් වඩා කාලයක් ඉගිලී ගිහින් අවසන්. අපට නොදැනීම ඒ තරම් වේගයෙන් කාලය පියඹායන්නෙ කොහොමද? හැමදාම මාධ්‍ය වාර්තා කරන මහාමාර්ග අනතුරු ඒවයින් මැරෙන ජීවිත පසුපස ඇති කතා, සියදිවි හානිකර ගැනීම්, ඉවරයක් නැති සරසවි ශිෂ්‍ය සටන්, වෛද්‍යවරුන්ගෙ සංගමය අතට ගත්ත අසරණ මිනිස්සුන්ගෙ ජීවිත, ලෙඩ රෝගවලට බිලිවෙන විදිය රජයේ රෝහල්වල පැය ගණන්, දවස් ගණන් බංකුවල වාඩිවෙලා දුක්විඳින අසරණ රෝගීන්ගෙ මුහුණු ගෙවී යන කාලයත් සමඟ අපට පෙනෙනවා. ඔවුන්ගෙ වේදනාබර කටහඬ අපට ඇහෙනවා. වීදි බැහැල සයිටමයට, විරුද්ධව මහා හඬ නඟන දහස් ගණන් සරසවි සිසු සිසුවියන්ටවත්, වෛද්‍ය සංගමයේ ජීවකයන්ටවත්, ඒ වේදනාබර කටහඬ ඇහෙන්නෙ නෑ. කාලය ඉගිලී යන්නේ මේ උද්ඝෝෂණ, සටන් පාඨ මැද. කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර, පැය ගණන් බස් නැවතුම්වල රස්තියාදු වෙන, තදබද වාහන පේළි අතර, හිරවෙන සාමාන්‍ය ජන ජීවිතය, ඉගිලී යන කාලයත් සමඟ එක තැනම නැවතිලා.

නොසිතූ නොපැතූ මොහොතක අහන්නට ලැබෙන අගනුවර විනාශයක කතාව. මීතොටමුල්ල කුණු කන්ද පුපුරායාමත් සමඟ බිලිගත්තු ජීවිත සංඛ්‍යාව, කාලය සමඟ වැඩ නොකරන රාජ්‍ය නිලධාරීන්ගේ සැලසුමකින් තොර තීන්දු තීරණ, සැලසුම් සහගතව, පරිසර සංරක්ෂණය පිළිබඳව ඔවුන් විදේශගතවන වාර, සහභාගි වෙන වැඩමුළු, සාකච්ඡා, සම්මන්ත්‍රණ ඉගිලී ගිය කාලයත් සමඟ ඉගිලුණු වග අපි හොඳින් ම දැන ගන්නෙ, මැයි, ජූනි මාස අපට ගෙන ආපු ප්‍රවෘත්ති සමඟ. ඉතිහාසයෙ මීට පෙර අත්නොවිඳි පරිමාණයේ ජීවිත හානි, දේපළ, ගේදොර, ගහකොළ විනාශවීම් දකින්නට, ඒ තොරතුරු අහන්නට අපි අවාසනාවන්ත වුණේ ඉගිලී ගිය කාලයත් සමඟ. තමන්ගෙ හිසට හෙවන දුන්නු වහලය නෙවී, ඇඳිවත පවා අහිමි කළ ගංවතුර, මාරයාගෙ ආගමනය වසර කීපයකට වතාවක් සිදුවුණත්, අපි ඒ ගැන කලබලයක් නෑ. නිශ්ශබ්දයි. ගංවතුර වේගයෙන් ගලාගෙන ඇවිත් හෙමින් බැසගෙන යනවා වගේ, කාලයත් සමඟ මහා හඬක් නංවමින්, දෙස් දෙවොල් නඟමින්, ශාප කරමින්, ඇහුණු යෝධ විරෝධතාව දැන් හෙමින් මැකිල ගිහින්. ගංවතුරක් ගැලුවද කියලවත් මතකයෙ නෑ.

කාලය කිසිම වෙලාවක ඉගිලී නොගොහින් නවතින්නෙ නෑ. එකකට පස්සෙ තවත් එකක්. ගංවතුර බැහැගෙන ගිහින් ජන ජීවිතය, පරණ තත්ත්වයට පත්වෙන්න පටන් ගත්තා විතරයි, ඊට පස්සෙ, ඔව් ඊට පස්සෙ මොකක්ද? ගංවතුරටත් වඩා භයානක රෝග මරුවා? ඩෙංගු උණ රට පුරා පැතිරී යන්න විශාල කාලයක් ගතවුණේ නෑ. විසාලා මහනුවර තුන්බිය වගේ, ඩෙංගු මාරයා ජීවිත බිලිගනිමින් ඉන්නෙ. රෝහලක ඇඳක් තබා පැදුරු කබලක් එළාගෙනවත් බේතක් හේතක් ගන්න බැරි තත්ත්වෙට, අසරණ රෝගීන්, වැඩිහිටියන්, දරුවන්, බිලිඳුන්, මව්වරුන්ගෙන් රෝහල් පිරිලා. ඇතැම් රෝහලක ගේට්ටු යකඩ දම්වැල් දාලා ඉබි යතුරු දාලා වහල තියෙන්නෙ වාට්ටුවක ඇඟිල්ලක් ගහන්න තරම්වත් ඉඩකඩක් නැති නිසා. අලුත් ලෙඩ්ඩු ලියාපදිංචිය මුළුමනින්ම නතර වෙලා. කාලය මොන තරම් වෙනසක් සිදුකරලද කියල අපි දකින්නෙ මේ දවස්වල අගනුවර සෑම පෞද්ගලික රෝහලකම කාමර ඩෙංගු රෝගීන්ගෙන් පිරී'තිරී ගිහිල්ල තියෙන විදිය දැක්කම. අගනගරයෙ විශාල කාමර සංඛ්‍යාවක් තියෙන පෞද්ගලික රෝහලක කාමරයක් නැතුව පුටුවක වාඩි වී සේලයින් දෙමින් ප්‍රතිකාර ලබන මුදල් ගෙවන ඩෙංගු ‍රෝගීන් සිය ගණන් ඉන්න බව අපේ අත්දැකීම. ආණ්ඩුවෙ රෝහලක, මුල්ලේරියාව පැත්තෙ තියෙන ඩෙංගු උණට, ප්‍රතිකාර ලැබෙන හොඳම ඉස්පිරිතාලෙ කියල හැමෝම දන්න රෝහලේ, එක ඇ‍ඳේ ලෙඩ්ඩු දෙන්නෙකුටත් ඉඩදීලා, ඒ ඉඩකඩත් මදිවෙලා, ගෙදරින් අරගෙන යන පැදුරක, මෙට්ටයක, ඇඳ ඇතිරිල්ලක ජීවිත කී දාහක් ජීවත්වීමේ බලාපොරොත්තු තියාගෙන ඉන්නවද?

මහගමසේකර කලාකරුවා, කියපු විදියට වේගයෙන් ඉගිලී යන කාලයට එරෙහිව පමා නොවී, උතුරා යන මීවිත දකින්නට නම් කාලයක් කෙසේ වෙතත් හිතට සතුටක්, සැනසීමක් තියෙනවද මේ දවස්වල? සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා මී විත උතුරා යද්දෙන් කියල කියනව මිසක්, මී විතක රස බලන්න කාලයක් කොහිද බේත් උගුරක් මුවට වැටෙන කල් අසරණව බලා ඉන්න, ජීවිතය ඉල්ලන දහස් සංඛ්‍යාත සහෝදර ජනතාවකගෙ දුක් සුසුම් පාවී යන මොහොතක? අවුල් දුහුල්වල සිහිල් පහස් මැද - රඟනා රංගන නොනවත්වන්නැයි, සේකර කවියා එදා පැවසුවත් ඒ ගී හඬ මුළු ජීවිතයම සතු රසබර සුළු මොහොත විදියට හිතන්න පුළුවන්ද අපිට?

සේකර කියන එක් කාරණාවක් නම් හරියටම හරි. ඔහු කියන්නෙ රෑ සිහිනෙන් ගෑ සැපතක් සේ හෙට දින එය මිය යයි කියලා. ඒක නම් සියයට සියයක්ම නිවැරදියි වගේ. අද දින සතුටක් ලබන්නේ නම්, එය හෙට දින මිය යන්නේ සිහිනෙන් ගෑ සුවඳක් ලෙසයි යන්නට අපට එකඟවෙන්න සිදුවෙනවා. පමා වෙවී හිඳිනට නැත වේලා - පමා වී සිටින්නට තරම් කාලයක් ඉතිරි වී නැති බව අපට දැනෙනවා, අවුරුද්දෙන් අඩකුත් ගෙවුණට පස්සෙ තවත් පමාවන්නේ කුමකට ද? ඉගිලී යන කාලයට ඉගිලී යන්නට ඉඩ නොදී, ජීවිතය අර්ථවත් කර ගැනීමට වෙහෙසීම නොවේද අප අද කළ යුත්තේ? සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා, මී විත උතුරා ගියාවේ. මේ ඊට කාලය නොවේ. ඉගිල යන, පියාඹා යන කාලය අල්ලාගත යුතුයි. ඊට අරුතක් එක්කළ යුතුයි. 2017 න් ඉතිරි වී ඇත්තේ කෙතරම් කෙටි කාලයක් ද? ඉතිරි පස් මාසයේ කුමකින් කුමක් සිදුවේද? අනාගතය පිළිබඳ පේන කියන්නට හැක්කේ කාටද? පමා වෙමින් හිඳින්නට කාලය නොමැති බව පමණක් වටහා ගනිමු. කාලයට ඉගිලී යන්නට ඉඩ නොදෙමු. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...