සංහිඳියාව ආධ්‍යාත්මිකව ඇති විය යුතු දෙයක් | දිනමිණ

සංහිඳියාව ආධ්‍යාත්මිකව ඇති විය යුතු දෙයක්

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි

ශ්‍රී ලංකාව විවිධ ජාතීන් හා ආගම්වලින් සමන්විත ජන සමාජයක් පවතින රටකි. එවන් රටක ඔවුනොවුන් අතර පවතින සංහිඳියාව ර‍ටේ අනාගත සුරක්ෂිතතාවට බෙහෙවින් ඉවහල් ෙව්. ඒ නිසාම සංහිඳියාව යනු කුමක්ද යන්නත් එහි වැදගත්කමත් පිළිබඳ අද ධර්ම සභාව තුළින් අදහස් දක්වන්නේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමිය.

 ෙම් අෙප් රටට සංහිඳියාව ේ යුගයක් ෙන්ද?

අපේ රටේ තිබෙන බෙදීම් හා ගැටුම් නිරාකරණය කරගන්නේ කුමන ආකාරයෙන්ද යන්න පළමුව සළකා බැලිය යුතු කාරණයක්. ඇතැම් අවස්ථාවලදී ගැටුම් නිරාකරණය පිළිබඳ සංකල්පයක් මේ සඳහා යොදාගන්නවා. ගැටුම් පිළිබඳ කතා කරන විට හෝ ක්‍රියාකරන විට අපේ රටේ ප්‍රශ්නය කුමක්ද යන වග අප විසින් පළමුවෙන්ම හඳුනාගත යුතුයි. අපේ රටේ ප්‍රශ්නයක් තිබෙනවානම් එයට හේතුව හා මූලය කුමක් ද යන්න පළමුවෙන්ම සොයා බැලීම වැදගත්.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සංහිඳියාව අර්ථදක්වන්නේ කොහොමද?

බුදුදහමෙහි ගැටුමකට තුඩු දෙන ආකාරයේ ඉගැන්වීමක් කොතනකවත් සිදුකර නැහැ. මුල සිට අග දක්වාම බුදු දහම අධ්‍යයනය කළත්, සැම විටම ගැටුමක් නොමැතිව සමාජයේ විවිධ මට්ටම්වල, විවිධ තලවල සිටින පුද්ගලයන් සමඟ ජීවත්වීමට, එකමුතුකම අතිකරගෙන ජීවිතය හැඬගස්වා ගැනීමට උන්වහන්සේ සෑම විටම දේශනා කළා. බුදු දහමෙහි ප්‍රකාශවන මූලික පදනම සියලුම මිනිසුන් මනුෂ්‍යයන් ලෙස එක හා සමාන බවයි. වර්ග වශයෙන් හෝ ජාති වශ‍යෙන් කිසිදු වෙනසක් නැහැ. මිනිසුන් වශයෙන් ඔවුනොවුන් අතර කුල බේද, ජාතිබේද වර්ග බේද, නිර්මාණය කරගෙන කටයුතු කිරීම නුසුදුසු බව බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීම වෙනවා.

වත්මන් සමාජයේ කතාකරන සංහිඳියාව අතීතයේ පැවතුනේ කොහොමද?

මානව වර්ගයා පහළ වූ කාලයේ සිටම ගැටුම් නොමැති කාලයක් පැවතුනේ නැහැ. ‍පොළොව බෙදාගැනීම, විවිධ අයිතිවාසිකම් බෙදා ගැනීම් සඳහා ඒ ඒ කාලවල විවිධාකාරයෙන් ගැටුම් ඇතිවුණා. ලංකාවේත් විවිධාකාරයේ ගැටුම් පැවතුණා. අපි මේ රටේ මිනිසුන් වශයෙන් අන්‍යොන්‍ය බැඳීමකින් කටයුතු කර තිබෙන බවට සාධක ඉතිහාසය තුළින් අනාවරණය කරගත හැකියි. එසේ නොවුණා නම්, දියුණු කාර්මික, තාක්ෂණීය දැනුමක් සහිතව අතීතයේදී යෝධ සංවර්ධනයක් ඇතිවී තිබීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මහා දැවැන්ත වැව්, අහස උසට නැගුන දාගැබ්, චෛත්‍ය නිර්මාණය කරන්නට යෙදුනේ යන්ත්‍ර සූත්‍ර නොතිබුණ අවධියක බව අප අමතක නොකළ යුතු කාරණාවක්. මනුෂ්‍යයාගේ සාමුහිකත්වය තුළින් ගොඩනැඟුන කාර්යභාරයක් බව අප හඳුනාගත යුතුයි. කෙසේ හෝ අප රට විදේශීය ආක්‍රමණවලට නතුවීමත් සමඟ භේද භින්නතා වැඩිවශයෙන් ඇතිවී තිබෙන බව පැහැදිලිව දක්නට ලැබෙනවා.

වර්තමාන සමාජයේ සංහිඳියාව තිබෙනවාද? සංහිඳියාව ගොඩනගන්නේ කොහොමද?

වර්තමාන සමාජය මේ වන විට ආගම් , ජාති වශයෙන් විවිධ කණ්ඩායම්වලට අපේ රට බෙදී තිබෙන ස්වභාවයක් දක්නට ලැබෙනවා. ජාතීන් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් , බර්ගර් වශයෙන් ද, ආගම් ලෙස බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් වශයෙන් බෙදී තිබීමේ වරදක් නැහැ. විවිධත්වය සමාජයක තිබෙන තරමට සමාජය ලස්සනයි. සෑම දෙයක්ම එකම ආකාරයෙන් පවතිනවා නම්, එහි කිසිදු ලස්සනක් නැහැ. එහි විශේෂත්වයක් නැහැ. පරිසරයේ වෙනස්කම් හා මිනිසුන්ගේ ලක්ෂණවල තිබෙන වෙනස්කම් හා විවිධත්වයන්හි තිබෙන සංකල්පයන් රැක ගන්න ඕන. අපි වෙනස් වුවත්, අප හැමෝම එකිනෙකා හඳුනා ගන්න ඕන. සමඟිව එකට සිටීම තුළින් විශාල ශක්තියක් නිර්මාණය වෙනවා.

ආගම් වශයෙන් සළකා බැලීමේදී ලෝකය තුළ එකම ආගමක් පමණක් පවතිනවා නම්. එහි විශේෂත්වයක් දකින්න බැහැ. වෙනත් ආගමක් අදහන පුද්ගලයාද ඔහුගේ ආගමට ලැදි බව දැනගෙන ඔහුට ගරු කරන්න ඕන. ඔහු ඔහුගේ ආගම දහමට අනුව කටයුතු කරනවා නම්, අප ඔහු ඇගයීමට ලක් කරන්න ඕන. ඔහුගේ සංස්කෘතියට ඇගයීමට ලක්කරන්න ඕන. ඔහුගේ සංස්කෘතියද ගරු කරන්න ඕන. එකිනෙකාගේ ආගම් වටහා ගෙන, ඔවුනොවුන් ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරනවා නම්, විවිධත්වය තිබූ පමණින් ප්‍රශ්නයක් ගොඩනැ‍ඟෙන්නේ නැහැ. විවිධ පුද්ගලයන් එකට ඒකරාශිවෙමින් කටයුතු කිරීමේදී ඇති වන තත්ත්වයන් සුන්දර ස්වභාවයක් ගන්නා බව අපි තේරුම් නොගැනීම පවතින ගැටලුවයි. අපි පමණක් නිවැරැදි බව හිතාගෙන කටයුතු කිරීමත්, සෙස සියලුදෙනාම වැරැදි බවට සිතා කටයුතු කිරීමත් වැරැදි ක්‍රියාවක් බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණාවක්.

“ඉධමේව කච්චං මෝග මඤ්ඤං” මම කියනා දෙය පමණක් සත්‍යයයි. අනෙක් සියලු දෙයම වැරැදියි යන මතය බුදුරජාණන් වහන්සේ අනුමත නොකරන බවට වදාරා තිබෙනවා.

සංහිඳියාව වර්ධනය කිරීම සඳහා මිනිසුන් තුළ ආකල්ප ගොඩනැඟිය යුත්තේ කොහොමද?

මිනිසුන්ගේ හදවත් තුළ සංහිඳියාව තිබෙන්න ඕන. එතනට පැමිණීමට නම් අප එකිනෙකා අතර අන්‍යොන්‍ය අවබෝධයක් ඇතිකර ගන්න අවශ්‍යයි.

වැඩිහිටි සමාජය තුළ අටුබැසගෙන තිබෙන ඇතැම් කාරණාවන් වෙනස් කිරීම පහසු නැහැ. පාසල් දරුවන් වැනි කුඩා ළමුන් තුළ ඊර්ෂ්‍යාව, වෛරය, කුහකකම නැති නිසා ඔවුන් තුළින් එකමුතුකම ආරම්භ කළ හැකියි. කුඩා කල සිටම බෙදීමට ලක්කරන පාසල් ක්‍රමය වන සිංහල දරුවන් සිංහල පාසලටත්, දෙමළ දරුවන් දෙමළ පාසලටත්, මුස්ලිම් ළමුන් මුස්ලිම් පාසලටත් යැවීම නිසා ළමුන් අතර වෙනසක් ඇති බවට කුඩා කල සිටම සිතීමට පෙළඹෙනවා. දෙමළ පාසලට යන ළමයා මගේ සමාජයේ ළමයෙකු නොවන බවට සිංහල ළමයා සිතනවා. සිංහල පාසලට යන ළමයා මගේ සමාජයේ ළමයෙකු නොවන බවට දෙමළ ළමයා සිතනවා. එම නිසා වාර්ගික හා ආගමික පාසල් ක්‍රමය ලංකාවෙන් ඉවත් කළ යුතු බව මගේ අදහසයි.

අප සියලු දෙනාම එකට ඒකරාශිව වාඩිවී සිටි පමණින් සංහිඳියාව ඇති වෙන්නෙ නැහැ. සංහිඳියාව එයට වඩා ආධ්‍යාත්මික වශයෙන් අභ්‍යන්තරිකව ගොඩ නැඟිය යුතු තත්ත්වයක්. ගැටුම් ඇතිවුණා නම්, එම ගැටුමෙහි අපට ඇතිවුණ යහපත අයහපත මොකක්ද? යන්න තේරුම් ගෙන එය නිවැරැදි කරගැනීමට උත්සාහ කළ යුතුයි. මේ වරද සිදු කළේ වෙනත් පාර්ශවයන් බවට චෝදනා කරමින් පිරිසක් පිට බලහත්කාරයෙන් වරද පැටවිය නොහැකියි. ගැටුමට මැදිව සිටි සියලු පාර්ශවයන් ඒකරාශිව නැවත නිවැරැදිව වටහාගෙන ක්‍රියාකිරීම තුළින් වර්තමාන සමාජයෙහි සංහිඳියාව ඇති කළ හැකි බව මගේ හැඟීමයි.

සංහිඳියාව ඇතිකර ගැනීමට ආගමික නායකත්වයට විශාල වගකීමක් තිබෙනවා නේද?

‍ලෝකයේ පිළිගෙන තිබෙන ප්‍රධාන ආගම් හතරම අදහන මිනිසුන් ලංකාව තුළ සිටින නිසා පූජ්‍ය පූජක පක්ෂයට මිනිසුන් අතර තිබෙන භේද වළක්වා ගැනීමට විශාල වගකීමක් තිබෙනවා. ගැටුම් වළක්වා ගැනීමට නම්, කිසියම් ආකාරයක මඟපෙන්වීමක් කරන්න අවශ්‍යයි. තමාගේ ආගම ප්‍රචාරය කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත්, අනෙක් ආගම් විනාශ කළ යුතුයැයි යන ඉගැන්වීමක් කිසිදු ආගමක නැහැ.

හැම ආගමක්ම නිර්මාණය වී තිබෙන්නේ මනුෂ්‍ය වර්ගයාට යහපත් ජීවිතයක් ගතකිරීමට මඟ පෙන්වීමයි. වැරැදිවලින්, අපරාධවලින්, අපචාරවලින්, වෙන්වෙලා සදාචාර සම්පන්නව යහපත් ජීවිතයක් ගත කිරීමට සෑම ආගමක්ම නිර්මාණය වී තිබෙනවා.

එම ආගම්වල අන්තර්ගතවන මූලික ඉගැන්වීම් සමග ආගමික නායකයෝ විවිධ ජන කණ්ඩායම් සමඟ ඒකරාශීව ගැටුම් නිරාකරණය කරගැනීම සඳහා යම් ක්‍රමවේදයකට යාමේ නායකත්වය ආගමික නායකයන් ගැනීම හොඳයි. ආගමික නායකයන් ඉදිරිපත්වීම සාමාන්‍ය ජන සමාජයේ විශාල පිළිගැනීමක් වෙනවා.

 

සාකච්ඡා කළේ
හේමමාලා රන්දුනු


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...