රාජ්‍යයේ එල්ලී දිව්‍ය ලෝකයට යාම

රාජ්‍යය ආගමෙන් වෙන්කොට හුදෙක් ලෞකික දේශපාලන වසංගතයක් ලෙස පවත්වා ගෙනයාම හෙවත් රාජ්‍යය අනාගාමික තත්ත්වයක පවත්වා ගෙනයාම මේ දිනවල ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රය තුළ ඉමහත් කථා බහට ලක්ව තිබෙන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති ආකාරය දැකිය හැක. මෙම මාතෘකාව වඩාත් උණුසුම් සහගත තත්ත්වයකට පත්ව තිබෙන්නේ අලුතෙන් සෑදීමට යන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් 1972 සහ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දෙක යටතේ බුද්ධාගමට දී තිබෙන ප්‍රමුඛත්වය අයින් කරමින් ශ්‍රී ලංකාව අනාගමික රටක් බවට පත් කිරීමට යනවාය යන කෘත්‍රීමව ගොඩ නඟන ලද ව්‍යාජ කට කථාන්දරය ගොබෙල්ස් න්‍යායද පරදවමින් පරම සත්‍යයක් ලෙස ලාංකික සමාජය පුරා වේගයෙන් පතුරුවා හැරීමට හැකි වීම නිසා ය.

කථාව මුළුමණින්ම ගොතන ලද ව්‍යාජයක්, බොරුවක් වූවද, එය යහපාලන ආණ්ඩුවට එරෙහිව ජනතාව උසි ගැන්වීම සඳහා කරන ලද තුන්වන ශ්‍රේණියට වැටෙන ඉතාම පහළ මට්ටමේ දේශපාලන කුමන්ත්‍රණයක් වූවද, කථාවට පදනම සපයන මාතෘකාව කිසිසේත්ම අඩුවෙන් තක්සෙරු කළහැකි කරුණක් නොවේ.

රාජ්‍යය සහ ආගම අතර පැවතිය යුත්තේ කුමනාකාර සම්බන්ධතාවක්ද යන්න පිළිබඳ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් මේ දක්වා සොයා ගැනීමට ඒ සම්බන්ධයෙන් වාද විවාදවලට පැටලී සිටින ලෝකෝත්තරවාදීන්ට සහ ආගම්වාදීන්ට නොහැකි වීමය. අවසාන විසඳුමක් සොයා ගැනීමට නොහැකි වූවද ඒ ගැන කථා නොකර සිටීමද කළහැකි දෙයක් නොවේ.

හේතුව එසේ කථා නොකරන විට අන්තවාදී ආගමික පිස්සන් රාජ්‍යය සහ ආගම අල්ලා ගෙන යථාර්ථය යටපත් කරමින්, මිථ්‍යා මතවාද පතුරුවමින් ජනතාව මුළා කිරීමට පටන් ගැනීම ය. එබැවින් මෙම මාතෘකාව ගැන කථා කිරීම අවශ්‍යයෙන්ම කළයුතු දෙයක් වේ. කථාව ආරම්භ කළ යුත්තේ එක් මූලික ප්‍රශ්නයක් ගැන අවධානය යොමු කරමින් ය. එම ප්‍රශ්නය වන්නේ රාජ්‍යය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද සහ සැබවින්ම රාජ්‍යයකට ආගමක් තිබිය යුතුද යන්න ය.

මිහිපිට වාසය කරන සෑම මිනිස් ජීවියකුටම පැවැත්ම දෙකක් තිබේ. ඒ වූ කලී භෞතික පැවැත්ම සහ ආධ්‍යාත්මික පැවැත්ම ය. වෙනත් ආකාරයකට කියනවා නම් මේ ලෝකයේ ජීවිතය සහ පාර භෞතික ජීවිතයයි. තවත් ආකාරයකට කියනවා නම් ලෞකික ජීවිතය සහ ලෝකෝත්තර ජීවිතයයි. මෙයින් පළමු එකට අදාළ වන්නේ ධනය, බලය හා ලිංගික ජීවිතයක් ගත කිරීම ප්‍රධාන කොට ගත් මේ ලෝකය තුළ ගත කරන භෞතික ජීවිතයයි.

දෙවැන්නට අදාළ වන්නේ පාර භෞතික පැවැත්ම හෙවත් මරණින් පසු ජීවිතයට සුගතියක් අයත් කර ගැනීම සඳහා ඒ ඒ ආගම්වලින් පෙන්වා දී ඇති ආගමික විශ්වාසයන් සහ පුද පූජාවන් අනුගමනය කරමින් ගත කරන ආගමික ජීවිතයයි. මෙම පැවැත්ම දෙකෙන් භෞතික ජීවිතයට අදාළ භෞතික අරමුණු ඉටුකර ගැනීම සඳහා මිනිසුන් රාජ්‍යය නමැති දේශපාලන සංවිධානය පිහිටුවා ගනු ලැබීය. අනෙක් අතට ආධ්‍යාත්මික අරමුණු ඉටකර ගැනීම සඳහා ඇති මිනිසුන් ආගම් සංවිධානය කරගෙන තිබෙන්නේ.

මේ අනුව මිනිසුන්ගේ මිහිපිට පැවැත්ම මූලික බලවේග දෙකකින් පාලනය වේ. එනම් රාජ්‍යය සහ ආගම යන බලවේග දෙකය. මිනිසුන්ගේ භෞතික ජීවිතය සැපවත් කරගෙන ප්‍රීතිමත් සහ තෘප්තිමත් ජීවිතයක් ගත කරමින් අවසානයේ මිය පරලොව යා හැක්කේ විසින් භෞතික ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය භෞතික සම්පත් මිනිසුන්ට අයත් කර දීමට කටයුතු කරන ආකාරය අනුවය.

අනෙක් අතට මිහිපිට ජීවිතය අවසානයේදී මිනිසුන්ට දිව්‍ය ලෝකයට නැතිනම් ස්වර්ගයට එසේත් නැතිනම් අපායට යා හැකිද යන්න තීරණය වන්නේ ආගම විසින් මිනිසුන්ගේ ආධ්‍යාත්මික ජීවිතය හැඩ ගැස්සවීමට කටයුතු කරන ආකාරයට අනුව ය. මිනිසුන්ගේ පැවත්මේ ඉහත දක්වන ලද පළමු අංශය සම්බන්ධයෙන් වගකීම පැවරෙන්නේ රාජ්‍යය පාලනය ක්‍රියාවට නංවන පාලකයින්ට ය.

දෙවන අංශය පිළිබඳව වගකීම පැවරෙන්නේ පූජකයින්ට ය. මෙයින් පළමු අංශය සම්බන්ධ වන්නේ දේශපාලනයට ය. දෙවැන්න සම්බන්ධ වන්නේ ආගමට ය. මෙම අංශ දෙක කිසිදු ආකාරයකින් එකට ගැලපිය හැකි දේවල් නොවේ. හේතුව මිනිසුන්ගේ භෞතික පැවැත්ම සැපවත් කිරීම සඳහා ට පැවරී ඇති කාර්යභාරය ආධ්‍යාත්මික පැවැත්ම සම්බන්ධයෙන් ආගමික සංවිධානයකට පැවරී ඇති කාර්යභාරයට මුළුමණින්ම වෙනස් වීමය.

මිනිසුන් තමන්ගේ පැවැත්ම හා සම්බන්ධ පැතිකඩ දෙක පාලනය කිරීමට සහ හැඩ ගස්වා ගැනීමට එකිනෙකට වෙනස් සංවිධාන දෙකක් එනම් රාජ්‍යය පිහිටුවා ගෙන තිබෙන්නේ සහ ආගම සංවිධානය කරගෙන තිබෙන්නේ ඒ හේතුව නිසාය.

මේ අනුව සළකා බලන විට සහ ආගම අතර මූලික වෙනස්කම් කිහිපයක් හඳුනාගත හැකිය. රාජ්‍යය මුළුමණින්ම භෞතික වස්තුවක් වන අතර ආගම විඥානවාදී දෙයක් වේ. රාජ්‍යය දේශපාලන වශයෙන් සංවිධානය වූ මිනිස් සමාජයක ජීවත් වන සියලුම මිනිසුන්ගේ සභාගීත්වයෙන් පිහිටුවා ගත් පොදු සමාජ සංවිධානයක් වන අතර ආගම මිනිස් සමාජයක ජීවත් වන මිනිසුන්ගෙන් කොටසක් පමණක් සහභාගී වී සංවිධානය කරගත් පෞද්ගලික සමාජ සංස්ථාවක් වේ. දේශපාලන වශයෙන් සංවිධානය වූ මිනිස් සමාජයක් ක්‍රියාත්මක වන්නේ එක් රාජ්‍යයක් පමණක් පදනම් කර ගෙනය. නමුත් දේශපාලන වශයෙන් සංවිධානය වූ මිනිස් සමාජයක් තුළ ආගම් කිහිපයක් තිබිය හැකිය. අනෙක් අතට කිසිඳු ආගමක් නොඅදහන හෝ විශ්වාස නොකරන මිනිසුන්ද මිනිස් සමාජයක සිටිය හැක.

රාජ්‍යයක ජීවත් වන මිනිසුන් සියලු දෙනාම සාමාජිකයින් ය. අනිවාර්ය සාමාජිකත්වය රාජ්‍යය හා සම්බන්ධ අති විශේෂ ලක්‍ෂණය වේ. නමුත් ආගමක් ඇදහීම හෝ ආගමික සංවිධානයක සාමාජිකත්වය ලබා ගැනීම අනිවාර්ය දෙයක් නොවනවා පමණක් නොව අනිවාර්ය කළ හැකි දෙයක්ද නොවේ. හේතුව ආගම ඇදහීම මිනිසුන්ගේ පෞද්ගලික දෙයක් වීමත් මිනිසුන්ගේ ඕනෑ එපාකම් අනුව තමන් ආගමක් අදහනවාද හෝ ආගමික සංවිධානයක සාමාජිකත්වය ලබා ගන්නවාද හෝ යන කරුණ තීරණය කිරීමේ පරමාධිකාරී බලය මිනිසුන්ට පෞද්ගලිකව හිමි වීමත්ය.

රාජ්‍යය තම දේශසීමාව තුළ ජීවත් වන සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් පිහිටුවා ගත් පොදු ජාතික වස්තුවක් වේ. එය පිහිටුවා ගෙන තිබෙන්නේ රාජ්‍යය තුළ ජීවත් වන සියලුම ජනවාර්ගික කොටස්වල සහභාගීත්වයෙන් ජාතිකත්වය නැතිනම් ජාතිකවාදය යන මූලධර්මය පදනම් කර ගෙනය. නමුත් ආගම් ජාතිකත්වය පදනම් කරගෙන ගොඩනැඟී තිබෙන දෙයක් නොවේ.

ඕනෑම ආගමක් ගොඩනැගී තිබෙන්නේ මිනිසුන් පදනම් කර ගෙනය. ආගමකට ජාතියක් හෝ වර්ගයක් නොමැත. ඕනෑම ජාතියකට හෝ වර්ගයකට අයත් ඕනෑම මිනිසකුට තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතිය ආගම් සම්බන්ධයෙන් දැකිය හැකි විශේෂ ලක්‍ෂණය වේ. අනෙක් අතට ආගම් ඇදහීම මිනිසුන්ගේ කාර්යයක් විනා අවිඥානක භෞතික වස්තුවක් වන රාජ්‍යයේ කාර්යයක් නොවේ.

රාජ්‍යය විසින් මිනිසුන් පාලනය කරන්නේ රාජ්‍යය පනවන නීති පදනම් කර ගෙනය. මෙම නීති උත්තරීතර වන අතර එයට අවනත නොවී සිටීමට කිසිවකුට හැකියාව හෝ බලය නොමැත. මෙය ගිහියන්ට මෙන්ම ඕනෑම පූජකයකුට වුවද එකසේ අදාළ වේ. රාජ්‍යය නීතිය කඩකරන්නකුට සරළ අවවාද කිරීමේ සිට අවසාන වශයෙන් ජීවිතය අහිමි කිරීමට මරණ දඬුවම පැමිණවීමට වුවද රාජ්‍යයට බලය තිබේ. නමුත් ආගමට මෙවැනි බල අධිකාරියක් නොමැත. ආගමික වත් පිළිවෙත් කඩ කරන ගිහියකුට දඬුවම් පැමිණවීම කෙසේ වෙතත් අඩුම වශයෙන් පූජකයකුටවත් සරල අවවාද කිරීමකට එහා ගිය දඬුවමක් පැනවීමට ආගමකට හැකියාව නොමැත.

රාජ්‍යය මඟින් කරන්නේ මිනිසුන්ගේ භෞතික ජීවිතය පාලනය කිරීමය. ආගම මඟින් කරන්නේ මිනිසුන්ට සංසාරික ජීවිතයෙන් මිදී ආත්ම විමුක්තිය අයත් කර ගැනීම සඳහා මඟ පෙන්වීමය. මිනිසුන්ගේ භෞතික ජීවිතය පාලනය කිරීම සහ සැපවත් කිරීම සඳහා රාජ්‍යය මඟින් කරන කියන දේවල් පියවි ඇසින් බලා ගැනීමට මිනිසුන්ට හැකියාව තිබේ. ඒවායේ හොඳ නරක විනිශ්චය කිරීමට මිනිසුන්ට අයිතිය තිබේ.

එසේ කිරීමෙන් අනතුරුව නරක දේවල්වලට විරුද්ධ වීමට මිනිසුන්ට අයිතිය තිබේ. මිනිසුන් අකැමැති දේවල් කරන පාලකයින් පන්නා දැමීමට මිනිසුන්ට බලය තිබේ. හේතුව මිනිසුන්ගේ පරමාධිපතිත්වය පදනම් කොටගෙන රාජ්‍යය පිහිටුවා තිබීමය.

නමුත් ආගමේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් දැකිය හැක්කේ මෙයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක්ය. ආගම මඟින් කරන කියන දේවල් මිනිසුන්ගේ පියවි ඇසට කිසිසේත්ම දැක බලා ගත නොහැක. හේතුව ඒ සියල්ල මනස පදනම් කරගත් විඥානවාදී දේවල් වීමය. හුදෙක් විශ්වාසය මත පමණක් පදනම් වීමය. අනෙක් අතට ඒ කිසිවක් ගැන ප්‍රශ්න කිරීමට මෙන්ම හොඳ නරක කිරා මැන බැලීමටද මිනිසුන්ට අයිතියක් නොමැති වීමය.

නරක යැයි කියා සමහර විට තේරුම් ගතත්තද එයට විරුද්ධව නැඟී සිටීමේ අයිතිය මිනිසුන්ට නොමැති වීමය. එමෙන්ම නරක දේවල් කරන පූජකයින් ආගමෙන් පන්නා දැමීමට ගිහියන්ට බලයක් නොමැති වීමය. මේ සියල්ලටම හේතුව සෑම ආගමක්ම ඉතාම දැඩි අධිපතිවාදයක් පදනම් කරගෙන පවත්වා ගෙන යාමය. මෙම අධිපතිවාදයට විරුද්ධ වන්නේ කවරෙක්ද ඔහුට අවසාන වශයෙන් සිදු වන්නේ ආගමේ හැටියට අපායට යාමටය. ඊට මෙහා දඬුවමක් ආගමට අනුව නැත.

අවසාන වශයෙන් කිව යුත්තේ මිනිසුන්ගේ මිහිපිට ජීවිතය පවත්වා ගෙනයාම සඳහා ආරක්‍ෂාව සහ මඟ පෙන්වීම අත්‍යවශ්‍ය වන බවය. එවැනි තත්ත්වයකින් තොරව මිනිසුන් ජීවත් වීමට සිදුවුව හොත් ඇති වන්නේ අනධීකාරී තත්ත්වයක් ය. එවැනි තත්ත්වයක් තුළ මිනිසුන්ට භෞතික වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන්ද කිසිඳු ආකාර ප්‍රගතියක් අයත් කර ගත නොහැක.

මිනිසුන්ට ගත කිරීමට සිදු වන්නේ අතිශය කාලකන්නි ජීවිතයක් ය. නමුත් අවශ්‍ය නම් ආගමක් අදහන්නේ නොමැතිව වුවද මිනිසුන්ට ජීවත් විය හැක. ආගම් අදහන්නේ නැති මිනිසුන් ඕනෑ තරම් මේ මිහිපිට මේ මොහොතේද ජීවත් වන ආකාරය දැකිය හැකි වේ. මෙයින් පැහැදිලි වන එක් මූලික කරුණක් තිබේ.

එනම් රාජ්‍යයක් නොමැතිව මිහිපිට ජීවිතය පවත්වා ගෙන යාමට මිනිසුන්ට කෙසේවත් කළ නොහැකි දෙයක් වූවද රාජ්‍යයක් නොමැතිව වුවද ඕනෑම මිනිසෙකුට දිව්‍ය ලෝකයට යාමට හැකියාව තිබන බවය. හේතුව දිව්‍ය ලෝකයට යාමට මැදිහත් වීමක් හෝ මග පෙන්වීමක් අවශ්‍ය නොවන බැවිනි. මිනිසුන්ට දිව්‍ය ලෝකයට යාමට අවශ්‍ය වන්නේ රාජ්‍යය නොව ආගමය.

පව් පින් පදනම් කරගෙන නොව මුළුමණින්ම භෞතික කරුණු පදනම් කරගෙන ගොඩනගා තිබෙන භෞතික වස්තුවක් වන ට කෙසේවත් මිනිසුන් දිව්‍ය ලෝකයට යැවිය නොහැක. රාජ්‍යය කළ යුත්තේ මිනිසුන්ගේ භෞතික ජීවිතය සැපවත් කිරීමය. එම සැපවත් ජීවිතය එපා වී යමකු පූජක දිවියකට එළඹෙනවා නම් බාධා කිරීමකින් තොරව එයට ඉඩ දීමය. මේ හැරෙන්න ආගම සම්බන්ධයෙන් රාජ්‍යයට කළහැකි දෙයක් ඇත්තේ නැත.

එසේ නම් මේ රටේ බෞද්ධයන් රාජ්‍යය සමග ආගම ගැටගසා රාජ්‍යය හරහා දිව්‍ය ලෝකයට යාමට තැත් දරන්නේ ඇයි?. මෙයට ප්‍රධානම හේතුව රාජ්‍යය මෙන්ම ආගම ගැනද නිසි අවබෝධයක් නොමැති වීමය. රාජ්‍යය හරහා දිව්‍ය ලෝකයට යාමට දරන උත්සහය දෙස බලන විට සිහියට නැගෙන්නේ පරන ජන කථාවක් වූ කුඹුරේ ගොයම් කමින් සිටි අලියාගේ වලිගයේ එල්ලී ගමරාල දිව්‍ය ලෝකයට යාමට තැත්දැරූ සැටිය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ආගම ගැට ගසා දිව්‍ය ලෝකයට යාමට තැත් දරන අයටද අවසානයේ සිදු වන්නේ ගමරාලට සිදුවූ දෙය බව අකමැත්තෙන් වූවද කිව යුතුය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...