ඩෙංගු මර්දනයට මැලේරියා පාඩම් | දිනමිණ

ඩෙංගු මර්දනයට මැලේරියා පාඩම්

මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රාදේශීය නිලධාරී රවින්ද්‍ර ජයනෙත්ති

ඩෙංගු වසංගත තත්ත්වයකට රට මේ වන විට පත්ව තිබේ. රෝගයෙන් පීඩා විඳින පිරිස අසූ පන් දහස ඉක්මවන බව සෞඛ්‍යය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙන අතර මරණ සංඛ්‍යාව දෙසිය පනහකට ආසන්නව ඇත. මේ ආකාරයෙන්ම මැලේරියා වාසංගත තත්ත්වයකට මෙරට ජනතාව මුහුණ දුන්නේ මෙයට දශක පහකට පමණ ඉහතදීය.

වර්ෂ 1965 වන විට ලක්ෂ හයකට ආසන්න සංඛ්‍යාවක් රෝගීන් හමු වූවත් මැලේරියා මර්දන ව්‍යාපාරය තුළ පැවැති සංවිධානත්මක ව්‍යුහය තුළ දියත් වූ පුළුල් වැඩපිළිවෙ‍ළෙහි ප්‍රතිඵලයක් ලෙස වසර 2015 වන විට, මැලේරියාව සම්පූර්ණයෙන්ම රටින් තුරන් කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය. ඩෙංගු රෝගය මැලේරියාව ද මදුරුවන්ගෙන් බෝ වුවත් මේ දෙකෙහි පැහැදිලි වෙනස්කම් දක්නට ලැබෙයි. එසේ වුවත් මැලේරියා මර්දන ව්‍යාපාරය එකල සිට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළේ යම් යම් අන්තර්ගතයන්, වර්තමාන රටවැසියන් මුහුණදී සිටින ඩෙංගු වසංගතයෙන් මිදීම‍ට ද භාවිත කිරීමට පුළුවන. එහෙත් එය ඒ ආකාරයෙන්ම සිදු නොවීම දිනෙන් දින ඩෙංගු රෝග වාර්තාවීම් ඉහළ යෑමට ප්‍රබල හේතුවක්ව තිබේ.

අද වන විට මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ වත්මන් දත්ත ඉක්මවා යන අගයක් ගන්නා බව කවුරුත් පිළිගන්නා සත්‍යකි. ඒ නිවැරැදි ලෙස රෝගීන් හඳුනා ගෙන ඒවා දත්තගත කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් තවමත් හිරිහැටි ක්‍රියාත්මක නොවන බැවිනි. තවමත් මෙම රෝගය ව්‍යාප්ත වෙමින් තිබේ. එය උපරිමය වෙත තවමත් පැමිණ නොමැත. ඉදිරි වර්ෂා කාලයත් සමඟ මෙහි ව්‍යාප්තිය තවත් ඉහළ යෑමට බොහෝ සෙයින් ඉඩ තිබේ.

ඩෙංගු හා මැලේරියාව අතර වසංගත විද්‍යාත්මක වෙනස්කම් මෙන්ම රෝග වාහක මදුරුවාගේ ජීවන පිළිවෙත්වලද වෙනස්කම් පවතී. විශේෂයෙන්ම ඩෙංගුවලදී මෙන් නොව මැලේරියාවේදී විධිමත් පාලන ක්‍රමයකට යා හැකිය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පමණක් එය මෙහෙය වීමේ හැකියාව තිබිණි. මැලේරියාව ව්‍යාප්ත වන්නේ පරපෝෂිතයකු මඟිනි. මැලේරියාව ඉතා ඉක්මනින් හඳුනා ගත හැකි වීම එහි ඇති විශේෂත්වකි. එමෙන්ම ඊට අවශ්‍ය ඖෂධද ඇත. නිසි ලෙස එම ඖෂධ පාවිච්චියෙන් රෝගය නිට්ටාවට සුවකර ගත හැකිය. මැලේරියා මදුරුවා බොහෝ විට වාසය කරන්නේ ගෘහාශ්‍රිතව ය. නිවෙස්වල බිත්ති, වහල යට වැනි ස්ථාන මැලේරියා මදුරුවා බහුලව වාසය කරන ස්ථානයි. ගෙවල්වලට ශේෂ කෘමිනාශක ඉසීමෙන් මෙම මදුරුවා මර්දනය කිරීමේ ඉඩක් තිබිණි.

මුලින් ඩි.ඩී.ටී. වලට ගොස් පසුව මැලතියන්වලටද අවසානයේ ප්‍රයිරෙක් ට්‍රොයිඩ්ද ඉසීමෙන් මදුරුවා පහසුවෙන් මර්දනය කිරීමට පුළුවන. ඒ වාසිය මැලේරියා මර්දන ව්‍යාපාරයේ නියුතුවූවන්ට තිබිණි. මෙම ක්‍රියාවලිය මඟින් රෝගය සම්ප්‍රේෂණය වීම විශාල වශයෙන් අඩු කරගෙන ගොස් එක්තරා අවස්ථාවකදී එය රටින් තුරන් කිරීමේ තත්ත්වයට ළගා විය හැකි විය. ප්‍රතිකාර මඟින් රෝගීන් සුව කිරීමට හැකිවීමත් මදුරුවා ගෘහකාමී නිසා ඌ සම්ප්‍රේෂණය වීම සම්පූර්ණයෙන් පාලනය කිරීමේ හැකියාව තිබීමත් මැලේරියාව රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක වීමට බෙහෙවින් බලපෑවේය.‍

හැටේ දශකයේ මුල් භාගයේදී මැලේරියාව විශාල ගැටලුවක්ව තිබිණි. අද ඩෙංගු මෙන් එදා මැලේරියාව මර්දනය සම්බන්ධයෙන්ද ප්‍රශ්න තිබිණි. එක දිගට සාර්ථක වූ ක්‍රියාවලියක් ඒ තුළ නැත. ඩි.ඩී.ටී. සොයා ගැනීමට ප්‍රථම ශේෂ කෘමිනාශක පිළිබඳ දැනුමක් මෙරට ජනතාවට නොතිබිණි. රෝගයට ගොදුරුවූවන්ට ක්විනින් ඖෂධය ලබාදීම මරණයෙන් රෝගීන් ගලවා ගැනීම සඳහා වූ එකම විසඳුම විය. මදුරුවන් සම්බන්ධයෙන් මැලේරියා මර්දන ව්‍යාපාරයට කිරීමට දෙයක් නොතිබිණි. ඩී.ඩී.ටී. සොයාගැනීමත් සමග ශේෂ කෘමිනාශක පාවිච්චිය මඟින් විශාල ලෙස මැලේරියාව මර්දනය කිරීමට හැකි බව තහවුරු විය.

මේ මඟින් පනහේ දශකයේ අග භාගයේ ලෝකයේම මැලේරියාවට ගොදුරු වන පිරිසෙහි පැහැදිලි අඩු වීමක් සිදුවිය. මෙම දත්ත සමඟ ලෝකයෙන් සම්පූර්ණයෙන්ම මැලේරියාව තුරන් කළ හැකිය යන අදහස සමාජ ගත විය. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සඳහා මූලෝත්පාදන ව්‍යාපාරය නමින් වැඩපිළිවෙළක් හඳුන්වා දෙනු ලැබීය. මැලේරියා පරපෝෂිතයා ලොවින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම මෙහි අරමුණ විය. මේ යටතේ පළමු අවුරුදු තුන තුළ මැලේරියා රෝගය නිදන්ගතව පැවැති ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල සෑම නිවසක්ම ආවරණය වන පරිදි ඩී.ඩී.ටී. වට දෙකක් ඉසීම සිදු කරනු ලැබීය. 'ප්‍රහාරක අවධි' ලෙස හැඳින්වූ තෙවසරක තුළ මැලේරියාව ඉතාම අවම තත්ත්වයකට ගෙන ඒමට හැකි විය.

මෙම ක්‍රියාවලියෙන් පසු අවසානයේ රෝගීන් සොයා යෑමේ වැඩසටහනක් “තහවුරු කිරීමේ අවධිය” නමින් ක්‍රියාත්මක කෙරිණි. එම අවධිය වූ 1963දී මැලේරියා රෝගීන්ගේ සංඛ්‍යාව 17කට අඩුවිය. මෙරට රෝහල් පද්ධතිය එතරම් දියුණු තත්ත්වයක නොතිබීම නිසා මෙම සංඛ්‍යා ලේඛන කොතෙක් දුරට නිවැරදිද යන්න පිළිබඳ සැකයක් පවතී. එය වඩාත් තහවුරු වන්නේ 1965 පමණ වනවිට යළිත් මැලේරියාව හිස ඔසවා රෝගීන් ලක්ෂ 06 ක පමණ සංඛ්‍යාවක් රටින් වාර්තා වීමෙනි.

තාවකාලික පදනම මත මැලේරියා මර්දන ව්‍යාපාරයට බඳවා ගෙන සිටි පිරිස් මැලේරියාව පාලනය වීමත් සමඟ විසුරුවා හැර තිබුණ නමුත්, රෝගය යළිත් හිස එසවීම නිසා ඔවුන් නැවත සේවයට බඳවා ගැනීමට රජය පියවර ගනු ලැබීය. යළිත් ඩී.ඩී.ටී. ඉසීමට රජය ක්‍රියා කළේය. ඉසිම් කිරීමේ ක්‍රියාවලියේදී හමුදා විනයක් වැනි පාලනයක් තිබිණි. වර්ග මීටරයකට ඩී.ඩී.ටී. ග්‍රෑම් දෙකක් ඉසිය යුතු බවට සම්මතයක් පැවතිණි. ඊට අමතරව තවත් කරුණු ගණනාවක් කෙරෙහි ඉසීම් ක්‍රියාවලියේදී අවධානය යොමු විය. මේවා ඒ ආකාරයෙන්ම සිදුවන්නේද යන්න විමර්ශනය කිරීමට වෙනම කණ්ඩායමක් යොදවා තිබිණි. පසුකාලීනව මැලේරියා මදුරුවා ඩී.ඩී.ටී. වලට ප්‍රතිරෝදයක් දැක්වීම නිසා 1977 වසරේදී මැලතියන් හඳුන්වා දීමට සිදුවිය.

මහවැලි ව්‍යාපාරය හේතුවෙන් අවතැන් වූ පිරිස් වියළි කලාපයේ පදිංචි කිරීමත් ඒ සමඟ වනාන්තර එළි පෙහෙළි වීමත් නිසා මැලේරියා ව්‍යාප්තියක් යළිත් අසූව දශකයේ දක්නට ලැබිණි. වර්ෂ 1987 පමණ වන විට ලක්ෂ ගණනක රෝගීන් වාර්තා විය. මැලේරියා මර්දන ව්‍යාපාරයේ පැහැදිලි ප්‍රතිපත්ති තිබිණි. මැලේරියාවට ලබා ලෙන ඖෂධ පැවතියේ මැලේරියා මර්දන ව්‍යාපාරය සතුවය. විවෘත වෙළෙඳ පොළේ ඒවා මිලට ගැනීමට නොහැකි විණි. මෙය එම ප්‍රතිපත්ති සඳහා එක් උදාහරණයකි.

මැලේරියාව ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට අපට හැකි වූයේ පැහැදිලි වැඩපිළිවෙළක් ඔස්සේ නිසි ප්‍රතිපත්තික පිහිටා කටයුතු කිරීම හේතුවෙනි. සෑම දිස්ත්‍රික්කයක් සඳහාම ප්‍රාදේශීය මැලේරියා මර්දන නිලධාරියකු පත්කර ති‍බුණි. ආචාර්ය උපාධි ඇත්තන්ද කීට විද්‍යාඥයන් මෙන්ම වෛද්‍යවරුද මේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදී දුන්හ. ඉහළ පුහුණුවක් සහිත නිලධාරීන් සිටීමත් ඉහළ සිට පහළ දක්වා මනා සැකසුමක් තිබීමත් නිසා මැලේරියාව මෙරටින් තුරන් කිරීමට හැකි විය.

මැලේරියාව රටින් තුරන් කළද අදත් එය අඛණ්ඩව ක්‍රියාත්මකය. විදේශ රටවලින් වසරකට 15 දෙනකු පමණ මැලේරියාවට ගොදුරුව පැමිණෙන බවට වාර්තා තිබේ. මේ නිසා ඒ අය තුළින් යළිත් රෝගය රටේ ව්‍යාප්ත වීමේ අවධානම මඟ හැරවීම පිණිස නිරන්තර අවධානයෙන් පසුවීම වැදගත්ය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුළ මැලේරියා මර්දන වැඩපිළිවෙළක් තිබුණද ඩෙංගු සඳහා එවැන්නක් දක්නට නැත.‍ එවැනි ව්‍යාපාරයක් ඩෙංගු සඳහා සැකසීමද අසීරුය. මැලේරියා මදුරුවා මෙන් ඩෙංගු මදුරුවාද නිවාස අශ්‍රිතව ජීවත් වුවත් උන්ගේ හැසිරීම් රටා එකිනෙකට වෙනස් ය. ඩෙංගු මදුරුවා මැලේරියා මදුරුවා මෙන් බිත්තිවල, වහල යට වැනි ස්ථානවලට වඩා ප්‍රිය කරන්නේ ඇඳුම්වල හා කර්ටන්වල වැනි තැන්වල ගැවසෙන්නටය. එවැනි ස්ථානවලට කෘමි නාශක යෙදීමේදී ගැටලු මතුවෙයි.

අනෙක් සුවිශේෂ කාරණය වන්නේ ඩෙංගු ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව සිදුවීමයි. මැලේරියාව ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වූයේ ග්‍රාමීය ප්‍රදේශවලය. ග්‍රාමීය වශයෙන් ගත් කල නිවාස ප්‍රමාණය නගරයට සාපේක්ෂව අඩුය. මේ නිසාද ගැටලු මතුවෙයි. මෙම පසුබිම තුළ ඩෙංගු මර්දනය සඳහා ශේෂ කෘමිනාශක යෙදීම සම්බන්ධව කතා කිරීම ඵල රහිතය. මැලේරියාවට ප්‍රතිකාර තිබුණද ඩෙංගු සඳහා ප්‍රතිකාර නැත.

ඒ සඳහා මෙතෙක් එන්නතක්ද සොයා ගෙන නැත. වෛරස් රෝගයක් වන මෙයට ගොදුරුවූවන් නිශ්චිතව හඳුනා ගැනීම ද කල්යන ක්‍රියාවකි.

ඩෙංගු රෝගියකු කලින් හඳුනාගත හැකි නම් මැලේරියාවලදී මෙන් රෝගියා මදුරු දැලකින් ආවරණය කර තබා ඔහුගෙන් වෙනත් අයෙකුට රෝගය බෝවීම වලක්වාගත හැකිය. මැලේරියා රෝගී ප්‍රමාණය අඩුවීමත් සමඟ එහි සංවිධානාත්මක ව්‍යුහය තරමක් දුරට ගිලිහී ගියේය. තෙල් ඉසින යන්ත්‍රකරුවන්, ක්ෂේත්‍ර නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් ඒකාබද්ධව පවත්වා ගෙන ගිය සංවිධානත්මක ජාලය දැන් බිඳ වැටෙමින් ඇත. ඉසින යන්ත්‍ර ක්‍රියාකරුවන් 2020 වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කිසිවකුත් ඉතිරි වන්නේ නැත. මැලේරියා ව්‍යාපාරය සඳහා එකල බඳවා ගත් පිරිස් දැන් විශ්‍රාම යෑමට ආසන්න ය. අලුතින් බඳවා ගැනීමක්ද සිදුකර නොමැති වීම ගැටලුවකි.

අනුරාධපුරයේ ඩෙංගු වසංගත තත්ත්වයක් 2002 දී ඇති විය. එය පාලනය කිරීම සඳහා මා යෝජනා කළේ මැලේරියා මර්දනයේදී අනුගමනය කළ ඒකක ක්‍රමය ක්‍රියාත්මක කිරීමටය. ඩෙංගු වැනි රෝග මර්දනයට මෙම ඒකක ප්‍රතිව්‍යුහගත ඒකක ලෙස තබා ගැනීම වැදගත්ය.

එහෙත් එය ක්‍රියාත්මක කිරීමට යෑමේදී ගැටලු මතුවිය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ යමක් ක්‍රියාත්මක කිරීමට යෑමේදී මතුවන විශාලම ගැටලුව වන්නේ දෙපාර්තමේන්තුවේ එක් අංශයක් අභිබවා යෑමට තවත් අංශයක් උත්සාහ කිරීමයි. එක් අංශයක රාජකාරී වපසරිය තවත් අංශයක් ආක්‍රමණය කරාවි යැයි බියක් පැවතීම සෞඛ්‍යය ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ගැටලුවක් බවට පත්ව තිබේ.

මැලේරියා මර්දන ව්‍යාපාරයේදී ක්‍රියාත්මක වූ ඒකක ක්‍රමය ක්‍රියාත්මක වූවා නම් ගම් මට්ටමින් ඩෙංගු මර්දන ව්‍යුහයක් සකස් කිරීමට එමඟින් පසුබිම සැකසෙනු ඇත. ඩෙංගු සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය අඩුය යන මතයක් තිබේ. වසංගතයක් එන්න කලින් පිළියම් නොයදන බව එහිදී නැගෙන ප්‍රබලතම චෝදනාවයි. අවදානමක් පැමිණි පසු මදුරු මර්දන සති ප්‍රකාශයට පත්කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා පොලීසිය සම්බන්ධ වී ගම් මට්ටමින් කණ්ඩායම් පත්කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විමර්ශනය කිරීම මේ යටතේ සිදු කෙරෙයි. මෙයට සහභාගී වන බහුතරයක් අදාළ කාර්යය සම්බන්ධව නිසි පුහුණුවක් ලැබූවන් නොවේ. මැලේරියාවේදී යොදා ගත් ආකාරයේ වාහක රෝග සම්බන්ධව පුහුණු කණ්ඩායම් සිටින්නේ නම් ඔවුනට ඉතා හොඳින් මෙම කටයුත්ත කළ හැකි බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි.

නිසි පුහුණු ශ්‍රමය නැතිවීම අද ඩෙංගු මර්දන ව්‍යාපාරය තුළ පවත්නා බරපතළම අඩුපාඩුවයි. අවශ්‍ය දැනුම ලබාදීම හෝ නිසි දැනුම ඇති කණ්ඩායමක් පුහුණු කෙරෙහි අවධානය කඩිනමින් යෙදිය යුතු කාලය දැන් එළඹ ති‍බේ. මැලේරියා මර්දන ව්‍යාපාරයේදී වාර්තා වන සෑම සිද්ධියක් සම්බන්ධයෙන්ම විමර්ශනයක් සිදුකර, ඒ ඔස්සේ වාර්තාවක් සකස් කෙරෙයි.

රෝගයට ගොදුරුවූයේ පදිංචි ප්‍රදේශයේදීද නැත්නම් සංචාරය කළ ප්‍රදේශයකදීද යන්න පිළිබඳව පැහැදිලිව තහවුරු කර ගැනීම වැදගත්ය. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මෙය කළ යුතුය. අද එම ක්‍රියාව කොළ පිරවීමෙන් ඔබ්බට ගොස් නැත. ඩෙංගු මදුරුවා විදින්නේ දහවල් කාලයේදී ය. දහවල අපි සක්‍රීය දිවි පෙවතක් ගත කරන්නෙමු. මේ නිසා අඛණ්ඩව එක් පුද්ගලයකු ගෙන් රුධිරය උරා බොන්නට ඩෙංගු මදුරුවාට අවකාශ සැලසෙන්නේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස මදුරුවා කීප දෙනකුට දෂ්ඨ කිරීම නිසා රෝගය වැඩි පිරිසකට වැළදීමේ හැකියාවක් ඇත. මේ පිළිබඳව අප දැනුවත්ව සිටිම වැදගත් ය.

ඩෙංගු මර්දනය සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙළක් අද දක්නට නැත. මැලේරියා මර්දනයේදී දුටු ග්‍රාමීය පුහුණු ශ්‍රමයද මෙහිදී දක්නට නැත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ග්‍රාමීය මට්ටමින් මෙය සිදුකළත් ඔවුන් හා බද්ධ වන පිරිස්වලට ඩෙංගු මදුරුවා මර්දනය පිළිබද සැලකිය යුතු අවබෝධයක් හා පුහුණුවක් නොතිබීම නිසා බොහෝ වැඩකටයුතු පවතින්නේ සතුටු විය හැකි මට්ටමක නොවේ. සෞඛ්‍ය කාර්ය සහයකයන්ට මේ පිළිබද පුහුණුවක් ලබා දීම මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි එක් ක්‍රමයකි.

මැලේරියාවෙන් ඉගෙන ගත් පාඩම් ඩෙංගුවලින් ගොඩ ඒම පිණිස අප ප්‍රයෝජනයට ගත යුතුව ඇත. මැලේරියා මර්දන ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ වෙනම වැඩසටහනක් ලෙසිනි. ඩෙංගුවල වගකීම දරන්නේ ජාතික ඩෙංගු මර්දන ඒකකයයි. අනෙක් පසින් වසංගත රෝග විද්‍යා අංශයයි. ඩෙංගු වාහකයා මර්දනය කිරීමේ දැනුම එම ඒකකයට නැත. මැලේරියා මර්දන ව්‍යාපාරයට එම දැනුම ඇත. වසංගත රෝග විද්‍යා ඒකකය සිදු කරන්නේ වාර්තා වන රෝගීන් ප්‍රමාණය හා ඉදිරියේදී වාර්තා වනු ඇතැයි අපේක්ෂා කරන රෝගී ප්‍රමාණය පිළිබඳ දත්ත ඉදිරිපත් කිරීමයි.

ඩෙංගුවලට ප්‍රතිකාරයක් නැති නිසා, රෝගය පාලනය කිරීමට අනුගමනය කළ හැකි හොඳම ක්‍රමවේදය වන්නේ මදුරු වාහකයා මර්දනය කිරීමය. ඒ සම්බන්ධ පෘථුල දැනුමක් වංසගත විද්‍යා ඒකකයට නැති බැවින් අදාළ දැනුම ඇති ඒකකයක අවශ්‍යතාව රටට තදින් දැනෙමින් තිබේ. මැලේරියා ව්‍යාපාරයට සම්බන්ධ පිරිස්ද සම්බන්ධ කර ගෙන වාහකයන් පිළිබඳ දැනුම ඇති පිරිස් හා බද්ධ වී නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තවමත් ප්‍රමාද නැති අතර ජාතික හා දිස්ත්‍රික් වශයෙන් නොව පහළම කොටස ඉලක්ක කර වැඩපිළිවෙළක් දියත් කළ යුතුව තිබේ.

මැලේරියාව සම්බන්ධ කටයුතු ආණ්ඩුව මඟින් සම්පූර්ණ‍යෙන් බාර ගත්තද ඩෙංගුවලදී සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යභාරය 20 % ක පමණ අගයක් දක් වා පහත බසියි. ඉතිරිය සහමුලින්ම කළ යුත්තේ ප්‍රජාව විසිනි. විශේෂයෙන් පළාත් පාලන ආයතනවලට මෙහිදී සුවිශේෂී කාර්යභාරයක් පැවරෙයි.

රාජ්‍ය අංශයට සම්බන්ධ ආයතන ඩෙංගු සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල පවතින්නේ අවම මට්ටමකය. රෝග පාලනයට නොව රෝග ව්‍යාප්තියට එම ආයතන උඩ ගෙඩි දෙන තත්ත්වයක් දක්නට ලැබෙයි. රාජ්‍ය ආයතනවල අබලි ද්‍රව්‍ය ගොඩ ගසා ඇති අන්දම කොතෙකුත් දැකිය හැකිය.වෛරසය ශරීර ගත වූ වැඩිහිටි මදුරුවන් මරා දැමීම දූමායනය කිරීමෙන් අපේක්ෂා කළද එමඟින් පරිසර හිතකාමී කෘමීන් විශාල පිරිසක් මරු වැළඳ ගන්නා බවද අප අමතක නොකළ යුතුය.

 

සටහන
අසේල කුරුළුවංශ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...