ස්වයං මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නෙ මෙහෙමයි

ඔබේ පෞද්ගලික මූල්‍ය කළමනාකරුවා වන්නේ ද ඔබ ය. එසේ කටයුතු කිරීමේදී, ඔබ එය අවබෝධයෙන් කළ යුතු ය. මේ, එසේ සිතිය යුතු කරුණු කිහිපයකි.

1. මේ මොහොතේ ඔබේ මූල්‍ය තත්ත්වය තක්සේරු කරන්න

ඔබේ මූල්‍ය චිත්‍රය දෙස වඩාත් පුළුල් හා අවංකව අවධානයක් යොමු කළ යුතු ය. ආදායම් වශයෙන් කොපමණ මුදලක් ලබන්නේද? සෑම මසකම කොපමණ මුදලක් ඔබේ සාක්කුවෙන් වියදම් වන්නේද? මෙහිදී, අදාළ මොහොතේ ඔබ සතු සියලූ වත්කම් මෙන් ම වගකීම් පිළිබඳ සොයාබලා, ඒ අගය ද සැලකිල්ලට ගත යුතු ය.

2. කෙටි කාලීන හා දිගු කාලීන සියලූ මූල්‍ය ඉලක්ක පිළිවෙළින් ලියා තබන්න.

විශ්‍රාම යෑමට සිදු වූ විට, ඔබ අනාගතය සැලැසුම් කරන්නේ කෙසේද, යන්න දැන් සිටම තීරණය කළ යුතු ය. තවත් වසර පහකින්, දහයකින්, විස්සකින් ඔබ කරන්නේ කුමක්ද යන්න පිළිබඳ ඒ මොහොතේම ඉලක්ක තබාගත යුතු ය. ඔබේ ජීවිතයේ වඩාත් වැදගත් ඉලක්කය වෙත යෑමේදී, වඩා වැදගත් අවස්ථාවට හෝ දෙයට මූලිකත්වය දීමට ඔබට හැකි ය.

3. අයවැයක් සකස් කරන්න.

ඔබේ ණය මුදල ගෙවා දැමීම සඳහා නියමිත කාල වේලාව සහිතව කාලසටහනක් සකස් කරගත යුතු ය. එමෙන් ම, සෑම දිනකම ඔබේ සාක්කුවෙන් ගිලිහී යන සෑම වියදමක්ම, ඒ ඒ වියදමට අදාළව ලැයිස්තු සකස් කළ යුතු ය. නිවාස ණය, වාහනයේ ලීසිං වාරිකය, ගෙදර දොර භාණ්ඩ, විදුලි බිල, ජල බිල, ගෑස් සඳහා වියදම් ආදී වශයෙන් වියදම් ලැයිස්තු සකස් කළ යුතු ය.

එමෙන් ම, ඉතිරි කිරීම් සහ විශ්‍රාම සැලසුම් සඳහා කෙරෙන මුදල් වෙන් කිරීම් ද ඔබේ අයවැයට ඇතුළත් විය යුතු ය. සෑම පවුලකම එක ම ආකාරයෙන් අයවැය සැකසෙන්නේ නැත. ඒ නිසා, ඔබ සකසන ලැයිස්තුවල ඔබේ සෑම වියදමක්ම අන්තර්ගත වන බව සැකහැර දැනගත යුතු ය. එහිදී ඔබේ අතින් වැඩිපුර වැයවන මුදල් සහ මුදල් ලැබීමේ අඩුවක් පවතින අවස්ථා ඔබට තීරණය කළ හැකි ය. එහිදී වියදම් කපා හැරිය යුතු සහ කපා හැරීම කළ හැකි ලැයිස්තු ඔබට හඳුනාගත හැකි ය. පෞද්ගලික මූල්‍ය කළමනාකරණයේදී මෙවැනි අයවැයක් අතිශය වැදගත් ය.

4. සැලැසුම නිතර සිහියට නගන්න

තම අයවැයට අනූව නිතරම ජීවත් වීමට සිතට ගත යුතු ය. ඔබේ අවශ්‍ය ඉක්මවා යමින්, අමතර වියදමක් දැරීමේ ආශාවක් ඇති වන්නේ නම්, ස්වයං පාලනයක් ඇති කර ගැනීමේ අභ්‍යාසයක් ඔබ පුරුදු විය යුතු ය.

5. වඩාත් සංවිධිත ක්‍රියාවලියකට යොමුවන්න.

ඔබ වෙත එන සෑම ලිපියක්ම, වෙන් වෙන් වශයෙන් එක් ස්ථානයක තැබිය යුතු ය. එකී බිල්පත් ගෙවා දැමීම සඳහා, සෑම මසකම නියමිත දිනයක් වෙන්කර ගත යුතු ය. එදිනට එම ගෙවීම් කළ යුතු ය. එසේ ම, නිතර ඔබේ ගිණුම් පරීක්‍ෂා කර, ඔබේ ආයෝජනය සහ ඉලක්කවලින් ඉදිරියෙන් ම සිටිය යුතු ය.

 

දිනුක මදුෂාන් වන්නිනායක
මනෝවිද්‍යා උපදේශක


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...