සිසිලස පිරි සොඳුරු දියදහර අලගියවන්න ඇල්ල

ගිරි ශිඛර සහ උස් කඳු මුදුන් සිප ගනිමින් හමා ආ සිසිල් සුළඟ, ගත හී ගඩු පුබුදුවන්නට විය.රිදී පැහැ රශ්මි ධාරා විහිදුවමින් පෙරදිග අහස බබලවමින් සූර්යයා තවත් දවසක් රැගෙන ආවේ ය. විඩාබර දින පහක ඇවෑමෙන්එළැඹුණු සති අන්තයේදී සොඳුරු දියඇලි අතර රැඳෙමින්, එහි සිසිල් සුව පහස විදීම සුව යැයි සිතූ අපි, ඒ සදහා පහසුවෙන් ම ළඟාවිය හැකි ස්ථානයක් පිළිබඳ විමසිලිමත් වීමු.

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක දෙකේ ම දියඇලි හතර බැගින් පිහිටා ඇත. ඒ අනුව අපගේ වෑයම වූයේ, ගම්පහ දිස්ත්‍රික්කය සොඳුරු කරන ඒ ඉසව් අතරින් කිහිපයකට හෝ යාමට ය. පළමුවෙන් ම යා යුත්තේ කුමන දියඇල්ලක් වෙත ද යන්න පිළිබඳ අප හට ස්ථිර අදහසක් නොවුණි. අතරමඟට ගොස් පහසුවෙන් ළඟාවිය හැකි දියඇල්ලක් වෙත පළමුවෙන් ම යාමට සිතීමු. ඒ අනුව අපගේ වෑයම වූයේ, අලගියවන්න ඇල්ල වෙත යාමට ය.

හංවැල්ල ප්‍රදේශයට කිට්ටුව මීවිටිගම්මන හංදිය වෙත පැමිණි අපි, එතැනින් අමිතිරිගල පාරේ කිලෝමීටර් එකහමාරක් පමණ ඉදිරියට ගොස්, ඇල්ල පිහිටි පෙදෙස පිළිබඳ විමසීමු. එමඟ පිහිටි සමූපකාර මංසන්ධියෙන් හැරී, බෝපාගම පන්සල අසලින් වැටී ඇති මාවතේ කිලෝමීටරයක පමණ දුරක් ගියවිට මේ දියඇල්ල වෙත පැමිණිය හැකි ය. බෝපාගම ඇල්ල, නාගස් ඇල්ල යන නම්වලින් ද හැඳින්වෙන මේ දියඇල්ල, එතරම් උස් නොවූවකි. මීටර් හතරක පහක පමණ උසකින් යුතු එම දියඇලි කොමලිය,කිරි පැහැති පෙණපිඬු විසුරුවමින්, සිසිල් ජල බිඳිති දසත විසුරුවමින් ගලා යන්නේ අපූර්ව ආකාරයෙනි.

දියඇල්ල අවට පරිසරය තරමක අඳුරු පැහැයෙන් යුක්ත වූයේ, එදින තද හිරු රැස් නොවැටි නිසා ම නොවේ. අවට පිහිටි උස්ව වැඩුණු ගහකොළ නිසා ය.වල්දෙල්, ඇහැල, කැන්ද, බට, නා, කිතුල්, කොස්, පුවක්, උණ , කරුවල වැනි විවිධ ශාකවලින් බහුල පෙදෙසක පිහිටි මේ ස්ථානය, අප්‍රමාණ සිසිලසකින් යුක්ත ය. අමුතුම සුන්දරත්වයක් විදහාපාමින් ගලන මේ දියදහර පිහිටි පෙදෙසින්

කුරුලු කෙවිල්ලන්ගේ නාදය ද විටින් විට ඇසෙනමුත්, ඒ හඬ දියදහරාවේ හඬ සමඟ යටපත්ව යයි. මේ පෙදෙසේ තුරු මත වසා සිටින කුරුල්ලන් අතර, කවුඩා, සුදුරෙදිහොරා, සිවුරුහොරා, මයිනා, කොබෙයියා, ගිරවුන්, දෙමලිච්චා,පොල්කිච්චා, කොහා, ඇටිකුකුළා වැන්නන් ඉතා බහුල ය. සමනල් විශේෂ ද කිහිපයක් ම දැකිය හැකි ය. ගල්පාඬියා, පෙතියා, දණ්ඩියා වැනි මත්ෂ්‍ය විශේෂ, විටෙක දිය රැලි මතින් පිහිනමින් යන අපූරුව චමත්කාර දසුනකි.

මේ දියඇල්ලට ජීවය සපයන්නේ, කැන්දලන්ද වතු යායෙන් උපදින දිය දහරාවලින් සහ නාගස් ඇළ ජල ධාරාවලිනි. කළු ගල්තලා දෙකකින් පහළට කඩාහැලෙන මේ ඇල්ල, අනතුරුව ගලා යන්නේ, පෙදෙසේ ජන ජීවිතයට මහඟු මෙහෙයක් ඉටු කරමිනි. දිය නෑමට, රෙදි සේදීමට මෙන් ම තම ජල අවශ්‍යතා සංතෘප්ත කර ගැනීමට ද ප්‍රදේශයේ අවට ගම්වල බෝ දෙනා මෙහි පැමිණෙති. දියඇල්ල අසලට පැමිණ එහි සුන්දරත්වය විඳිනවා මෙන් ම, විනෝදයක් ලබන්නට ද හැකි ය.

ඇල්ලෙන් ඇදහැලෙන දිය දහරා ප්‍රදේශයේ එළවළු කොරටු සහ කෙත්වතු සරු කරමින් ගලා ගොස්, අවසන අත්තනගලු ඔයට එක්වේ. නාගස් ඇළෙන් උපදින නිසා කලකට ඉහතදී නාගස් ඇල්ල ලෙස ද හැඳින්වූ මේ ඇල්ල, අලගියවන්න පරපුරට අයත් කලාකරුවන්, ප්‍රභූන්ගෙන් ගැවසීගත් ‍පෙදෙසක පිහිටි හෙයින් අලගියවන්න ඇල්ල ලෙස ප්‍රකට ය. දියඇල්ල අවට විශාල ගල් පිහිටා ඇති නිසාවෙන් ම අපූර්වත්වයක් දැකිය හැකි ය.

ගතට සිසිලසක් ලැබදෙන මේ අපූරු දියඇල්ල,සොබාදම් මෑනියන් ලැබ දුන් අමිල දායාදයකි.

 

ඉරෝෂිණී දීපිකා
ඡායාරූප සුගත් මාතරගේ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...