ලස්සන වෙන්න කොළ කැඳ බොන්න | දිනමිණ

ලස්සන වෙන්න කොළ කැඳ බොන්න

ශ්‍රී ලංකාවේ වෙසෙන මිනිසුන් පිටි බහුල ආහාර සඳහා යොමුවීම 20% කින් වැඩිවී ඇත. පිටි කෑම වෙනුවට උදෑසන කොළ කැඳ වීදුරුවක්‌ බීමෙන්, ජනප්‍රිය රෝගවලින් මිදිය හැකි ය.කොළ කැඳ යනු සමබර ආහාරයකි. කොළ යුෂ මඟින් සිරුරට ඛනිජ ලවණ, ඇමයිනෝ අම්ල, විටමින් එක්වේ. සහල් මඟින් පිෂ්ටයත්, පොල් කිරි මඟින් මේදයත් ලැබේ. එසේ ම, ඊට එක් කරන ඉඟුරු , සුදු ලූණුවලින් ලැබෙන අමතර පෝෂණය ද අති විශේෂ ය.

මේ සඳහා සුදුසු සහල් ලෙස,තැම්බූ රතු සහල් යොදා ගැනීම ඉතා සුදුසු ය. වී තම්බන විට පොත්තෙහි අඩංගු විටමින් බී ආදිය සහල් ඇටයට තදින් ඇලේ. එබැවින්, පාහින විට හෝ සෝදන විට එම පෝෂ්‍ය පදාර්ථ ඉවත් නොවේ. එහෙත්, කැකුළු හාල්වල නිවුඩ්ඩ, සේදීමේදී ඉවත්ව යන නිසා, එම පෝෂ්‍ය පදාර්ථ ශරීරයට නොලැබී යයි. මෙහිදී කැඳ සඳහා බහුලව යොදා ගන්නා කොළ වර්ග මඟින් ලැබෙන පෝෂණ ගුණ විවිධ ය.

හාතාවාරිය

වා පිත් නසයි. ප්‍රජනන පද්ධතියට ඉතාමත් ගුණ දෙන ඖෂධයකි. ශුක්‍ර වඩයි . මවුකිරි වඩයි. ගර්භ පෝෂකයි, ශරීර ශක්‌තිය වඩවයි.තරුණ බව ඇති කරයි. හෘදයට හිතකර ය. මුත්‍රා කාරකයකි. ශරීරයේ දාහ සමනය කරයි.

ඉරමුසු

වා පිත්, සෙම් යන ත්‍රිදෝෂයම සමනය කරයි. ලේ පිරිසුදු කර, දාහය නසයි. උණ නසයි.ගර්භ ස්‌ථාපනය කරන බැවින්, ගර්භ ස්‍රාව සඳහා විශේෂයෙන් හිතකර ය. කුසගිනි වඩයි. ආහාර රුචිය ඇති කරයි. මුත්‍ර ජනනය කරයි. මළ මුත්‍ර පරිවෘත්තිය පහසු කරයි. කුෂ්ට රෝග සඳහා හිතකර ය.

ගොටුකොළ

මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරයි. හෘදයට හිතකර ය. තිත්ත රසය හේතුවෙන් කළු හෙවත් සෙම් කොටස්‌ බැහැර කරයි. කිරිදෙන මවුවරුන්ට ඉතා ගුණදායක ය. බාහිර සමෙහි රුධිර ගමන ක්‍රමානුකූල කරයි. එබැවින් කුෂ්ට රෝග සඳහා ද හිතකර ය. ආයුෂ වැඩි කරයි.

මොණරකුඩුම්බිය

වා සෙම් නසයි. උණ නසයි. මුත්‍ර කාරකයි. මුත්‍ර ගල් බිඳ හෙලීම සිදු කරයි. ශරීරයේ ඉදිමුම් සමනය කරයි. කුඩා ළමයින්ගේ පණු රෝග සඳහා හිතකර ය.

පොල්පලා

විශේෂයෙන් මුත්‍ර රෝග වහා සමනය කරන ඔසුවකි. අතිශයින් මුත්‍ර කාරක ය. එබැවින්, අපහසුවෙන් මුත්‍ර පිටවන අවස්‌ථාවලදී භාවිත කිරීම ගුණදායක ය.

මුකුණුවැන්න

කුසගිනි වඩයි. දාහ සමනය කරයි. කුෂ්ට නසයි. ඇස්‌වල පෙනීම වර්ධනය කරයි.

කොහිල

ත්‍රිදෝෂ සමනය කරයි.මළපහ වීමේ දෝෂ ඇතිවිට අතිශයින් ම සුදුසු ය. අර්ශස්‌ සඳහා හිතකර ය. මධුමේහය ඇතිවිට, කොහිල කරටි හීනටි හාල් සමඟ පිළියෙළ කළ කැඳ ඉතාමත් ම ගුණදායක ය.

රණවරා

ගුණ අනුව කළු පිත්ත සමනය කරයි. සියලු ප්‍රමේහ රෝග සඳහා විශේෂයෙන් ගුණදායක ය. පිපාසය සමනය කරයි. සමෙහි කැසීම්, කුෂ්ට ආදිය සඳහා හිතකර ය. ශරීරයේ වර්ණය ඇති කරයි .ශුක්‍ර වඩයි. ඇසේ පෙනීම වර්ධනය කරයි.

වැල්පෙනෙල

වාත සමනය කරයි. කුසගිනි වඩවයි. ශරීරයේ සෞම්‍ය ධාතු වර්ධනයේ ලා ගුණදෙන ඔසුවකි.ශුක්‍ර ධාතු වර්ධනය කරයි. අණ්‌ඩවෘද්ධි රෝගය සඳහා ගුණදායක ය. ආර්ථව ගැටලු ඇති ස්‌ත්‍රීන්ට ආර්ථව ජනකයක්‌ ලෙස භාවිත කෙරේ. අර්ශස්‌ නසයි.

කරපිංචා

පණු රෝග නසයි. රුධිරගත මේදය අඩු කරයි. ඇස්‌ පෙනීම වැඩි කරයි . විෂ නසයි. කටහඬ පැහැදිලි කරයි. කොලෙස්ටරෝල් නැසීම සඳහා ගුණදායක ය.

පොළොං ආදී සර්ප විෂට ද කරපිංචා කොළ කැඳ විශේෂ ප්‍රතිකාරයක්‌ ලෙස යෙදේ. කැඳ පිසීමේදී අමු ඉඟුරු හා සුදුලූණු ස්‌වල්පයක්‌ එක්‌කර ගැනීමෙන් අමතර ගුණයක්‌ එකතු වෙයි.

ඉඟුරු

කටු රස හේතුවෙන් කුසගිනි වඩයි. ආහාර දිරවීම පහසු කරයි. සෙම් නසයි.

සුදුලූණු

සෙම් වා නසයි. අග්නිය වඩයි. ආහාර දිරවීම පහසු කරයි. ඉන්ද්‍රිය ශක්‌තිය වර්ධනය කෙරේ.

කොළ කැඳ සෑදීමේදී එක ම කොළ වර්ගයක්‌ එක දිගට භාවිත නොකර, විවිධ කොළ වර්ග යොදාගත යුතු ය. එවිට එම කොළවල අඩංගු විවිධ ගුණ ශරීරරයට ලැබේ. එමෙන් ම, ශීත ගුණයෙන් යුත් කොළ වර්ග නිසා ප්‍රතිශ්‍යා, කාස වැනි සෙම් බහුල රෝග ඇතිවීම ද වළක්‌වාගත හැකි ය.

 

යශෝදා ඉන්දීවරී 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...