පැය 35ක දීර්ඝ ගුවන් ගමනකින් ශ්‍රී ලංකා පිල පොදු රද මඬුලු ක්‍රීඩා උළෙලට බහමාස් එයි | දිනමිණ

පැය 35ක දීර්ඝ ගුවන් ගමනකින් ශ්‍රී ලංකා පිල පොදු රද මඬුලු ක්‍රීඩා උළෙලට බහමාස් එයි

ප්‍රින්ස් ගුණසේකර

හයවැනි වරටත් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම බහමාස්හී නිව් ප්‍රොවිඩන්ස් නස්සාවූ නගරය වෙත ඊයේ පස්වරු 1ට පමණ පැමිණියේය. එය බහමාස් වේලාවෙන් අලුයම 3.30 පමණ වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවෝ පැය 35ක පමණ වෙහෙසකර ගුවන් ගමණක නිරතවී බහමාස් වෙත ළගා වූහ. බහමාස් හා ශ්‍රී ලංකාව අතර පැය 9.30ක වෙනසක් ඇති අතර බහමාස්, ශ්‍රී ලංකාවට සැතපුම් දසදහස් ගණනක් ඈතින් පිහිටි අමෙරිකාවේ මියාමී නගරයේ සිට මිනිත්තු 55ක ගුවන් ගමණක් ඇති කුඩා දූපත් සමූහයකින් එකකි.

කෙසේ වුවද ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට තවත් දින දෙකක් පමණ ඇති හෙයින් පැය ගණනක දීර්ඝ ගුවන් ගමන එතරම් ගැටලුවක් නොවනු ඇතැයි කණ්ඩායම් ප්‍රධානී ගෘෘප් කපිතාන් එරන්දික ගුණවර්ධන මහතා විශ්වාසය පළ කළේය. ක්‍රීඩා උළෙලේ සමාරම්භයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවේක ගැනීමට හා පුහුණු කටයුතු ආරම්භ කිරීමට දින දෙකකට අධික කාලයක් ඇති බව ඒ මහතා සඳහන් කළේය.

වයස අවුරුදු 14 හා 18 අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28ක් හා නිලධාරීහු 9ක් ශ්‍රී ලංකා කණ්ඩායමට අයත්වන අතර මලල ක්‍රීඩා, සත් සාමාජික රගර්, බොක්සිං, ජූඩෝ, පිහිනුම් හා ටෙනිස් යන ක්‍රීඩා ඉසව් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී නියෝජනය කරති.

ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති අතර එදින ශ්‍රී ලංකා පිලට ජූඩෝ තරග වලට පමණක් සහභාගීවීමට සිදු වේ. අනෙකුත් සියලුම තරග ආරම්භ වන්නේ මේ 19වැනිදාය.

හෙට දිනයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජූඩෝ තරගවලට සූරිය තුෂාර කස්තුරිආරච්චි හා හෆ්සා යාමිනා සහභාගී වෙති. ඔවුන්ගේ ප්‍රතිවාදීන් කව්ද යන්න අද පෙරවරුවේ කුසපත් ඇදීමෙන් සකස්වන ජූඩෝ තරග කාල සටහන අනුව තීරණය වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ජූඩෝ ක්‍රීඩාව මෙවර එක්කොට ඇත්තේ පළමුවරට බැවින් රටවල් වැඩි ගණනක් මේ ඉසව්ව නියෝජනය කරන්නේද යන්න තවමත් ගැටලුවක්ව පවතී. බහමාස් වෙත පැමිණි ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ පැමිණි දිනයේ බහමා හෝටලයේ නවාතැන්ගත් අතර අද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ගම්මානය වෙත පැමිණීමට සූදානමින් සිටී. ක්‍රීඩා ගම්මානය නිල වශයෙන් විවෘත කරනු ලබන්නේ බහමාස් වේලාවෙන් අද පෙරවරු 9ටය.

 

නව අදහස දක්වන්න