උපාධියට හිරගෙවල් !

එක පාසලක් විවෘත කිරීමෙන් සිරගෙවල් සියයක් වසා දැමිය හැකි යැයි පරණ කතාවක් තිබේ. අද කාලයේ හැටියට නම්; මේ කතාවේ ඒ හැටි සත්‍යතාවක් හා ගැළපීමක් නැත. දැන් පවතින තත්ත්වයේ හැටියට පාසල් නොව; විශ්වවිද්‍යාල අලුතින් විවෘත කළත් අපරාධවල අඩුවක් දකින්නට නැත. මෙය සනාථ කරන සාක්ෂියක් බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වේ. ඒ අනුව උපාධිධාරීහු හැත්තෑ පස් දෙනෙක් හිර ගෙවල්වල දඬුවම් විඳිති. අ.පො.ස උ/පෙ. සමත් එක් දහස් ගණනක් ද, අ.පො.ස. සා/ පෙ. සමත් තුන්දහස් ගණනක් ද හිර ගෙවල්වල දඩුවම් විඳිති.

මේ වාර්තාව අපේ සමාජය අවදිකරවනසුලු එකක් යැයි කියන්නට පුළුවන. එක අතෙකින් උගත් පිරිස අපරාධවලට යොමුවන්නේ මන්දැ’යි මේ මඟින් ප්‍රශ්න කෙරේ. තව අතෙකින් අධ්‍යාපනය හා මිනිසාගේ විනය අතර සම්බන්ධයක් නැති දැ’යි ප්‍රශ්න කරන්නට අප පෙළැඹේ. ඉහත වාර්තාව පෙන්වා දෙන අන්දමට අපේ හිර ගෙවල්වල දඬුවම් විඳින සමස්තය 19,000ක් පමණ වෙති. එයින් පන් දහසකට ආසන්න පිරිසක් සම්මතයට අනුව උගත්තු වෙති. මේ අනුව ශ්‍රී ලංකාවේ උගතුන් බහුල ලෙසින් අපරාධවලට සම්බන්ධ වන්නේ යැයි නිගමනයක ට එළැ‍ඹිය හැකි ය. මෙය අතිශය අහිතකර තත්ත්වයකි.

දඬුවම් විඳින උපාධිධාරීන් අතර නව දෙනකු කාන්තාවන් බව සඳහන් ය. උපාධිධාරීන් හැත්තෑ පස් දෙනකු සිර ගෙවල්වල දඬුවම් විඳින අතර එයින් හත් දෙනකු මත්කුඩු ව්‍යාපාරයට සම්බන්ධ වී වරදකරුවන් වූ අය බවද සඳහන් ය. උපාධිධාරී කාන්තාවන් අපරාධවලට සම්බන්ධ වීම කලාතුරෙකින් අසන්නට ලැබෙන ප්‍රවෘත්තියකි. ඉන් පෙනී යන්නේ රටේ උගත්කම් හා විනය අතර පැවැති සම්බන්ධය බොහෝ සෙයින් කෙලෙසී ඇති බව ය. උපාධිධාරී කාන්තාවන්ගේ ජනප්‍රිය වෘත්තීය බවට පත්ව ඇත්තේ ගුරු වෘත්තිය යැයි කියන්නට පුළුවන. ගුරුවරුන් වියයුතු අය හිර ගෙවල්වල තපින්නේ නම් කොහේ හෝ විශාල වැරැද්දක් සිදුවී ඇති බව ඉතා පැහැදිලිය.

මත්කුඩු ව්‍යාපාරය මුළු මහත් ලෝකයට ම බලවත් තර්ජනයක් එල්ල කර ඇති අතර ඇතැම් රටවල් එය මර්දනය සඳහා දැඩි නීති - රීති ක්‍රියාත්මක කරයි. සමහර රටක මත්කුඩු වෙළෙඳාමට ලබා දෙන ප්‍රධාන දඬුවම මරණ දණ්ඩනය වේ. මේ ජාවාරමෙහි යෙදෙන්නෝ පාතාලය නියෝජනය කරන්නෝ වෙති. ශ්‍රී ලංකාවේ ද පාතාල මැරයන් අතර කුඩු ජාවාරම සිදුවේ. උපාධිධාරීන් ද ඊට සම්බන්ධ වීම අලුත් සොයා ගැනීමක් ලෙස සලකන්නට පුළුවන.අනාගතයේ දී ආචාර්ය, මහාචාර්යවරුන් ද කුඩු ජාවාරමට සම්බන්ධ යැයි සොයා ගනු ලැබුවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත. ඊට අදාළ සිදුවීම් නොයෙක් තැන්වලින් සපයා ගත හැකි ය.

මෑතක දී අවසන් වූ නඩු විභාගයක් මේ සඳහා දෘෂ්ධාන්ත කරගත හැකි ය. සිද්ධිය විද්‍යුත් මාධ්‍ය ආයතනයකට සම්බන්ධ ය. එහි හිටපු සභාපතිවරයෙක් හා තවත් නිලධාරීහු පිරිසක්; ආරවුලක දී සේවක පිරිසකට පහර දුන්හ. මෙය පොලිස් පැමිණිලි පොතේ ලියැවුණු අතර පසුව නඩු විභාගයක් දක්වා දිග්ගැසී ඇත. නඩු විභාගය අවසානයේ තීන්දුව වී ඇත්තේ නිලධාරී කණ්ඩායම පහරදීමට වරදකරුවන් වීම හා ඔවුන් විවෘත අධිකරණයේ දී වින්දිතයන්ගෙන් සිංහල ක්‍රමයට සමාව ගත යුතු වීමය. තීන්දුව ක්‍රියාත්මක විය. හිටපු සභාපතිවරයා ප්‍රසිද්ධ මහාචාර්යවරයෙකි. සෙසු වරදකරුවෝද උගත්තු වෙති.

රටේ ප්‍රසිද්ධ මහාචාර්යවරුන් ගැටලු විසඳාගන්නේ අත - පය විසි කිරීමෙන් හා තර්ජනය කිරීමෙන් නම්; රටේ සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතා ද? මෙබඳු සිද්ධිවලින් පෙනී යන්නේ උගතුන් යැයි අප පිළිගනු ලබන බොහෝ දෙනකු ළඟ ආචාරධර්ම තබා සාමාන්‍ය මනුස්සකමවත් නැති බවය. දීර්ඝ කාලයක සිට අපේ විශ්වවිද්‍යාල සිසුන් වෙත එල්ල වන චෝදනාවක් වන්නේ ඔවුන් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන බවට ය. පොදුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ විනය පිරිහී ඇතැ’යි කියති.

ශ්‍රී ලංකාව නිදහස් අධ්‍යාපන රටාවක් පවතින රටක් හැටියට ජාතික අධ්‍යාපනය පවත්වාගැනීම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන අන්දමට ජනතාවගේ සදාචාරයෙහිත්,සංස්කෘතියෙහිත් තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ද, පුද්ගල පෞරුෂත්වයෙහි පූර්ණ වර්ධනය තහවුරු කිරීම සඳහා ද ඉහත මුදල් වැය කරනු ලැබේ. අධ්‍යාපනයෙහි එක් පරමාර්ථයක් වන්නේ යහපත්, ගුණගරුක, හික්මුණු මිනිසකු ඇති කිරීම ය. එහෙත් බොහෝ සිදුවීම්වලින් පෙනී යන්නේ එම කටයුත්ත සිදුවී නැති බව ය. මෙය අධ්‍යාපනයේ වරදක් ද, ගුරුවරුන්ගේ වරදක් ද? නැතහොත් සමාජ ක්‍රමයේ වරදක් ද යන්න සොයා බැලිය යුතු ය.

අපේ විශ්වවිද්‍යාල ක්‍රමය ආරම්භ කිරීමට මූලික වූ සර් අයිවර් ජෙනින්ස් මීට දසක පහකට පමණ ඉහත දී කියා සිටියේ උපාධිධාරියා තම උගත්කම උපයෝගී කරගෙන තමන් වෙත පැවරෙන ඕනෑම වගකීමක් සාර්ථක ලෙස ඉටු කරනු ඇත යන්න ය. සර් අයිවර් ජෙනින්ස් මැතිතුමාගේ ඉලක්කය වූයේ හැකියාවෙන් හා ශික්ෂණයෙන් යුතු සදාචාරවත් උගතුන් පිරිසක් බිහි කිරීම යැයි කියන්නට පුළුවන. අතීතයට සමගාමීව බැලුවහොත් ඒ අරමුණ යම් පමණකින් ඉටුවී ඇතැ’යි සතුටු විය හැකි ය. එහෙත් අද තත්ත්වය ඊට ඉඳුරා ම වෙනස් ය. අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඇතැම් විට ගුරුවරුන්ටත් පහර දෙති. ගුරුවරු ද තම අභිමානය ආරක්ෂා කරගැනීමට නො දනිති. මේවා ගැන බරපතළ සංවාදයක් තිබීම වැදගත් ය.

උගත්කමට ද සම්බන්ධ මේ ප්‍රශ්නය දෙස ආපසු හැරී බලන විට අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ද, ප්‍රතිපත්ති තුළ ද, පාඨමාලා තුළ ද ගැටලු පවතින බව පෙනී යයි. එක අතෙකින් රටේ සංවර්ධනයට අවශ්‍ය වෘත්තිකයන් මේ අධ්‍යාපනය ඔස්සේ බිහිවන්නේ නැතැ’යි කියන්නට පුළුවන. අනෙක් අතින් සදාචාරවත් සමාජයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පසුබිම මේ මඟින් නිර්මාණය වන්නේ නැතැ’යි කියන්නට පුළුවන. මේවා ඔස්සේ නිරීක්ෂණය කරන විට උගතුන් අපරාධවලට සම්බන්ධ වන්නේ ඇයි? යන ප්‍රශ්නයට යම් පමණක විසඳුමක් සොයාගත හැකි යැයි කිව හැකි ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...