සුබ ආරංචි දෙකක්...!

මේ දිනවල වැඩිපුර ම අසන්නට ලැබෙන්නේ අසුබ ආරංචි හා බරපතළ විවේචන ය. කලාතුරෙකින් හෝ සුබ ආරංචියක් අසන්නට ලැබු‍ණහොත් අපගේ හිස්ගෙඩිවල ද මල් පිපෙයි. අද අප කතා කරන්නට යන්නේ එබඳු සුබ ආරංචි දෙකක් ගැන ය. පළමු ආරංචියට අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අග්‍රාමාත්‍යවරයා අතර එකඟතාවක් ඇති වී තිබේ. ඒ සයිටම් අර්බුදය විසැඳීමට අදාළව ය. දෙවන ආරංචියට අනුව රජය දූෂණ හා වංචා විමර්ශනය සඳහා වැඩි බලතල සහිත ආයතනයක් පිහිටුවීමට යයි. ඊට සම්බන්ධ පනත් කෙටුම්පත් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

වෛද්‍ය සංගමය පෙන්වාදෙන අන්දමට පසුගිය 12 දා අගමැතිවරයා සමඟ පැවැත් වූ සාකච්ඡාව මුළුමනින්ම පාහේ සාර්ථක ය. ඒ අනුව හදිසි වැඩ වර්ජනයකට යෑමේ අවශ්‍යතාවක් නැතැ’යි සංගමය කියා සිටී. එම වචනය පවා සැනසිලිදායක බව කිව යුතුය. වෛද්‍ය සභාවේ සභාපතිධුරය සම්බන්ධ ගැටලුව, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලුව, සයිටම් අර්බුදය යන සංවාද සාකච්ඡාවට ගෙන තිබේ. දෙපාර්ශ්වය පියවරෙන් - පියවර ගැටලු විසඳාගැනීමට තීරණය කර තිබේ. කාලය විසින් බොහෝ ප්‍රශ්න විසඳනු ලැබේ යැයි කතාවක් තිබේ. එය බොරුවක් නොවන බව මේ සිද්ධියෙන් ද පැහැදිලි වේ.

පසුගිය කාලය පුරාවට ම රජය හා වෛද්‍ය සංගමය යා දෙක නොරත රත තැනෙක පසු වූ බව දකින්නට ලැබිණි. විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා හා වෛද්‍ය සංගමය අතර පැවැතියේ තියුණු කඹ ඇදිල්ලකි. සයිටම් ප්‍රශ්නය ජාතික ගැටලුවක තැනට තල්ලු වූයේ ද මේ හේතුව නිසා යැයි කියන්නට පුළුවන. කෙනකුගේ මතය වූයේ සයිටම් අර්බුදය රජය පෙරළා දමන කැරැල්ලක් දක්වා වර්ධනය වෙන බව ය. මේ මතය ඉදිරියට ගෙනයෑම සඳහා දේශපාලන තල්ලුවක් ද ලැබිණි. ඇත්ත තත්ත්වය වන්නේ අර්බුදයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට එක්තරා කණ්ඩායමක් පුල - පුලා බලා සිටීම ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අත්තනෝමතික ලෙස ක්‍රියා කළ අවස්ථා තිබිණි. සෞඛ්‍ය අමාත්‍යවරයා ද සංගමයට සවන් නොදුන් අවස්ථා තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ තුවාලය ඔඩු දිවීම ය. මෙහි පාඩුව තුවාලකාරයාට ය. හෙවත් මහජනයාට ය. වෛද්‍ය වර්ජන නිසා ජීවිත කීයක් අහිමි වූයේ ද යන්න ගණනය වී නැත. එය ගණනය කිරීම ද අපහසු ය. සැත්කම් කීයක් කල් ගියේ ද? සායන කීයක් අසාර්ථක වූයේ ද? රෝගීන් කොපමණ ප්‍රමාණයක් අපහසුවට පත් වූයේ ද යන්න සොයා බලා නැත. එය නිසි අයුරින් ගණනය කිරීම ද අපහසු ය.

බොහෝ රටවල වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරන්නේ නැත. වෛද්‍යවරුන් පමණක් නො ව; සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනත් වෘත්තිකයන් ද වැඩ වර්ජනවලට යන්නේ නැත. එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගෞරවයට හා ආචාර ධර්මවලට නොගැ‍ළපෙන බැවින් ය. එහෙත් අපේ රටේ වසරකට වැඩිම වර්ජන ප්‍රමාණයක් වාර්තා වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ ය. මෙතෙක් බොහෝ වැඩවර්ජන සිදුව ඇත්තේ සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකි ව තිබූ ප්‍රශ්න අරභයා යැයි කියන්නට පුළුවන. වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණ හැර වෙනත් අරමුණු ඉලක්කකොට වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල වැඩ වර්ජන හා ආරවුල් ඇතිවන බවක් පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකාවේ සමාජ සන්දර්භය තුළ වෛද්‍ය වෘත්තියට විශාල ගෞරවයක් හා පිළිගැනීමක් තිබේ. ඒ අනුව ඉහළ සමාජ වටිනාකමක් ද වෛද්‍යවරයා සඳහා නිර්මාණය වී ඇත. එහෙත් පසුගිය කාලය පුරාවට සිදු වූ වර්ජන, විරෝධතා හා වෛද්‍යවරුන්ගේ ම ඇතැම් ක්‍රියාකාරකම් ද හේතුවෙන් පළමු කී සමාජ වටිනාකම ක්ෂය වෙමින් පවතී. වෛද්‍ය සංගමය පසුගිය කාලයේ ක්‍රියාත්මක වූයේ යම් හිතුවක්කාරී පිළිවෙතකට යැයි කියන්නට පුළුවන. මේ නිසා වෛද්‍ය ක්ෂේත්‍රයේ කීර්ති නාමයට කැළලක් සිදු විය. ඒ හැරෙන්නට සයිටම් අර්බුදය නිසා වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනය අර්බුදයට ගොස් තිබේ. මේවා ගැන පසුවිපරමක් කරන්නේ නම් එය වැදගත් ය.

වෛද්‍ය ක්ෂේත්‍ර‍ය සම්බන්ධයෙන් නොවිසඳුණු ගැටලු කිහිපයක් ඇති බවද; ඒවා හැකි විගස නිරාකරණය කළ යුතු බව ද අප කව්රුත් පිළිගත යුතුය. එක; අපේ වෛද්‍ය වෘත්තියේ හා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හා නියාමනය පිළිබඳ ප්‍රධාන ගැටලුවක් පවතී. දෙක පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ගැටලුවක් පවතී. තුන; සයිටම් ප්‍රශ්නය ජාතික අර්බුදයක් බවට පරිවර්තනය වී තිබේ. හතර; වෛද්‍ය සභාවේ සංයුතිය හා එහි සභාපති පදවිය සම්බන්ධයෙන් ද ගැටලු පැන නැඟී ඇත. මේවා නිරාකරණය කරගත යුත්තේ සාකච්ඡා මාර්ගයෙන් මිස විරෝධතා මාර්ගයෙන් නොවේ. අපට හැඟෙන පරිදි අගමැතිවරයා හා වෛද්‍ය සංගමය අතර පැවැති සාකච්ඡාවෙන් පසු ඊට කදිම පසුබිමක් නිර්මාණය වී තිබේ. කළ යුත්තේ එය දිගටම පවත්වාගෙන යෑම ය.

මහා පරිමාණයේ දූෂණ හා වංචා විමර්ශනය කිරීම රටේ කාගේත් කතාබහට ලක් වූ මාතෘකාවකි. මෙය සංවාදයට ලක් වූයේ දූෂණ හා වංචා සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන ඇතත්; ඔවුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොතිබූ නිසා ය. පසුගිය කාලය තුළ සිදු වූ මහා පරිමාණ දූෂණ - වංචා හා අක්‍රමිකතා ගැන මහජනයා තුළ ඇත්තේ බලවත් කෝපයකි. දූෂණ ගැන බරපතළ කතාබහක් පැවැතියද, ඒවා විමර්ශනය සඳහා නව ආයතන හා කොමිසන් සභා ඇති කළ ද අල්ලපු හොරෙකු නැතැ’යි මහජනයා රජයට දොස් නගති. මේ අතර දූෂණ සොයන ඇතැම් ආයතන වසා දමන තැනකට රජය ගොස් තිබේ. ඒවා වියදමේ හැටියට වැඩ නැති ආයතන ලෙස සමහරු හඳුන්වති.

රජය දූෂණ හා වංචා සොයන බලගතු ආයතනයක් අලුතින් පිහිටුවීමට යයි. පරණ ආයතනවලට වඩා බල සහිත මේ ආයතනය කාර්යක්ෂම ලෙස විමර්ශන කටයුතු සිදු කරන බව ද ප්‍රකාශයට පත් වී ඇත. මේ ආයතනය පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. වැඩි බලතල සහිතව විමර්ශන කටයුතු සිදු කරන්නේ නම්; එයින් ප්‍රතිඵලයක් ලැබිය හැකි යැයි විශ්වාස කළ හැකිය. දූෂණ හා වංචා සොයන ආයතන ගණනාවක් ඇතත් ඒවායින් බොහොමයකට නිසි බලතල නැත. විමර්ශන ප්‍රමාදවීමට එය ද හේතුවක් වී ඇත. කුමක් වුව සිදුවිය යුත්තේ යුක්ති සහගත ලෙස ද අපක්ෂපාතී ලෙස ද විමර්ශන සිදුකොට වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒම ය. අපි අලුතින් පිහිටුවන විමර්ශන ආයතනය දෙසත් බලා සිටිමු! 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...