සූරියවැව බෝගහඉදිවැවට පානීය ජල පහසුකම් | දිනමිණ

සූරියවැව බෝගහඉදිවැවට පානීය ජල පහසුකම්

වතුර නැතිව වසර පහක පමණ තිස්සේ දුක් විඳි සූරියවැව බෝගහඉදිවැව ජනතාවට පානීය ජලය ලබා දීම ඇරැඹේ.

වසර පහක් පමණ තිස්සේ පානීය ජලය නොමැතිව දුක් විඳි සූරියවැව බෝගහඉදිවැව ගම්වාසීන්ට පානීය ජලය ලබාදීම මේ වන විට ආරම්භ කර ඇතැයි සූරියවැව ජලසම්පත් මණ්ඩලයේ ස්ථානාධිපති අනුර අමරකෝන් මහතා පැවසිය.

ඒ මහතා පැවසුවේ ජල නළ එළීම සිදු කළ කොන්ත්‍රාත් සමාගමේ සිදු වූ ප්‍රමාදය නිසා ජලය ලබාදීමද ප්‍රමාද වූ බවයි. කෙසේවෙතත් මේ දිනවල ජලය ලබාදීම සිදු කරන බැවින් ජලය ලබාගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍ර සූරියවැව ජල සම්පාදන මණ්ඩලයෙන් ලබා ගතහැකි බව ඒ මහතා පැවැසීය.

මීට වසර කීපයකට පෙර බෝගහඉදිවැව ගම්මානයට වැලිවැව ප්‍රජා ජල ව්‍යාපෘතිය මගින් ජලය ලබා දුන්නද සූරියවැව ගොන්නොරුව හරහා හම්බන්තොටට දිවෙන ප්‍රධාන මාර්ගය මන්තීරු හතරකට පුළුල් කිරීමේදී මාර්ගයේ එලා තිබු ජල නළ කැඩි ගිය අතර එතැන් සිට මේ දක්වා වසර පහක පමණ කාලයක සිට බෝගහඉදිවැව ගම්මාසීන්ට බීමට පිරිසුදු ජලය නොලැබුණි.වසරක පමණ කාලයක් බවුසරයක් මගින් ජලය ගෙනවිත් දුන්නද එයද අතර මග නැවතී ගියහෙයින් ජනතාව දැඩි දුෂ්කරතාවට පත් වූයේ දෛනික කටයුතු සඳහා පමණක් නොව සනීපාරක්ෂක කටයුතු සඳහාවත් ජලය නොමැති විම නිසාය. ගෙවුණු වසර කීපය මුළුල්ලේම ජනතාව විඳි මෙම දුෂ්කරතාව පිළිබඳ වගකිවයුතු පාර්ශව දැනුවත් කිරීමටද ජනතාව පියවර ගැනුණි. කෙසේවෙතත් පසුගිය දින සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නැවත මේ දුෂ්කරතාව පිළිබඳ නිවාස හා ඉදිකිරීම් අැමැති සජිත් ප්‍රේමදාස මහතාට දැන්වීමත් සමඟ ඒ මහතා මේ සම්බන්ධයන් මැදිහත්වී අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙමින් පවසා සිටියේ වහාම මේ මස අවසන් වීමට පෙර ජනතාවට ජලය ලබාදීම සිදුකරන ලෙසයි. ඒ අනුව මේ වන විට සූරියවැව බෝගහඉදිවැව ගම්මානයේ ජනතාවටද ජලය ලබාදීමට කටයුතු කර තිබේ.

සූරියවැව නුවන් ජයසේකර 

නව අදහස දක්වන්න