ක්‍රිකට් ඒජන්තවරයා ක්‍රීඩාව විනාශ කරනවා

ක්‍රිකට් මාෆියාව යට සිටින චාලි ඔස්ටින් නම් ඒජන්තවරයා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බව හිටපු ක්‍රිකට් නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි.

ඔහු පසුගිය කාලයේ ප්‍රවීණ ක්‍රීඩකයන් කීප දෙනකුගේම ඒජන්තවරයා බවත් බොහෝ වෙලාවට මෙරට ක්‍රිකට් කණ්ඩායම තෝරන්නේ ඔහු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි. මේ විනාශයට ප්‍රවීණ ක්‍රීඩකයන් පවා සම්බන්ධ බව පවසන අමාත්‍යවරයා, තරුණ ක්‍රීඩකයන්ට චාර්ලි ඔස්ටින් සමග කොන්ත්‍රාත් අත්සන් කරන ලෙස ඔවුන් ගේ බලපෑම් තිබෙන බවට චෝදනා ඇති බව අනාවරණය කරයි.

‘චාර්ලි ඔස්ටින් හැමදාමත් කළේ තමන්ට මුදල් හම්බ කිරීම පමණයි. රටට හොඳ දේ නෙවෙයි. මේ ඒජන්තවරයා සමග කී දෙනෙක් ඉන්නවද කියලා සොයා බැලිය යුතුයි. මම කවදා හරි බලයක් ලැබුණ දවසට මේ රටේ ඒජන්තවරු තහනම් කරනවා. එහෙම නොකොළොත් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්න ලැබෙන්නේ නෑ.’

බඩවල් ගැනයි ෆිට්නස් ගැනයි කතා කරනවාට වඩා මේවා තමයි ක්‍රීඩා ඇමැතිවරයා සොයා බැලිය යුත්තේ. ක්‍රීඩා ඇමැතිවරයා වරක් මේවා තහනම් කරනවා කියලා කිව්වා. ඒත් ඒක ප්‍රකාශයක් විතරක් වුණා. අද ඒ ඒජන්තවරයා තාමත් රජ කරනවා. ඔහු ක්‍රිකට් පරිපාලනයත් සමග ඉතා සමීපව ඉන්නවා.

මොහු අයි. පී. එල් තරගාවලියට යන්න සියලුම ක්‍රීඩකයන්ගේ ඒජන්තවරයා වුණා. 10% කොමිස් මුදලක් ලැබුණා. ක්‍රීඩකයන්ව වෙළෙඳ දැන්වීම් වලට විකුණනවා. ඕනෑම ජරා වෙළෙඳ දැන්වීමකට දාලා මුදල් හම්බ කරනවා. මම තවම දැකලා නැත්තෙ ක්‍රිකට් ක්‍රීඩකයන් වැසිකිළි සෝදන ඒවා විකුණන වෙළෙඳ දැන්වීම් වල විතරයි. මොවුන් මේ හම්බ කරන මුදල් වලට බදු ගෙවනවද? මේ මුදල් රටින් එළියට යන්නේ කොහෙන්ද? කොහොමද වියදම් කරන්නේ? එංගලන්තයෙන් ආපු මේ ඒජනත්වරයාට අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්න දෙනවාද?

මම වගකීමෙන් කියනවා ඔහු තමයි තේරීම් කමිටු වලට බලපෑම් කරන්නේ. මම ගොඩක් කට පියා ගෙන හිටපු කෙනෙක්. හැබැයි මේවා තව දුරටත් මේ විදියටම පැවතුණහොත් මම කණ්ඩායමක් අරන් උසාවි යනවා. 

ක්‍රිසන්ති විතාරණ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...