ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රගර් දෙවැනි අදියර හෙට සහ අනිද්දා | දිනමිණ

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රගර් දෙවැනි අදියර හෙට සහ අනිද්දා

ෆවුස් මොහොමඩ්

මෙරට රගර් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලබා දෙන ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් සත් සාමාජික රගර් තරගාවලියේ දෙවැනි අදියර හෙට (15) සහ අනිද්දා (16) කොළඹ තුරඟ තරග පිටියේදී දිවා රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වෙයි.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා රගර් ආයතනයේ මෙහෙයවීමෙන් සහ ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් දෙවැනි වරටත් පැවැත්වෙන මේ තරගාවලියේ හෙට ඇරැඹෙන තරග අදියර වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

පසුගිය සති අන්තයේ මහනුවර නිත්තවෙල පිටියේ පැවැති පළමු අදියර ජයගැනීමට පසුගිය වසරේ සමස්ත කිරුළ දිනු රොෂාන් වීරරත්නගේ නායකත්වයෙන් යුතු මොබිටෙල් ඊගල්ස් පිල සමත්වූ අතර පාසල් තරගාවලියේ ශූරතාව ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට හිමිවිය.

හෙට ඇරැඹෙන දෙවැනි අදියරේ තරගාවලිය පෙරවරු 11.00ට ආරම්භ වන අතර රාත්‍රී 9.20 දක්වා පැවැත්වෙයි.

මොබිටෙල් ඊගල්ස්, සී.එම්.එල්.වයිපර්ස්, ඊසි වුල්ව්ස් සහ කාගිල්ස් ග්ලැඩියේටර්ස් හෙට ඇරැඹෙන දෙවැනි අදියරේ දී ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර සොෆ්ට්ලොජික් වොරියර්ස්, ඇක්සස් කිංග්ස්, කේ.බි.එස්.එල්.ඩ්‍රැගන්ස් සහ එටිසලාට් පැන්තර්ස් ‘බී’ කාණ්ඩයට ඇතුළත් වෙති.

විද්‍යා විද්‍යාලය, වෙස්ලි, කිංග්ස්වුඩ් සහ සාන්ත අන්තෝනි විදුහල් පාසල් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයට ඇතුළත් වන අතර ඉසිපතන, සාන්ත පීතර, සහිරා සහ සාන්ත ජෝශප් විදුහල් ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙති.

මෙවර තරගාවලියේදි පළමු වරට ඇතුළත්වූ කාන්තා තරගාවලියේදී යුද හමුදා පිල සහ නාවික හමුදා පිල ‘ඒ’ කාණ්ඩයෙන් ද, ගුවන් හමුදා පිල සහ සී.ආර්.කණ්ඩායම ‘බී’ කාණ්ඩයෙන් ද තරග වදිති.

පළමු අදියරේ සහ දෙවැනි අදියරේ ප්‍රසාද ලකුණු අනුව මෙවර ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් සමස්ත ශූරයන් තෝරාගන්නා අතර පළමු අදියර ජයගත් මොබිටෙල් ඊගල්ස් පිල මෙවර සිය ශූරතාව රැක ගැනීමේ අදිටනින් පසුවෙයි.

නිත්තවෙල පිටියේ පැවැති පළමු අදියරේ තරගාවලිය නිමාවීමෙන් පසුව මොබිටෙල් ඊගල්ස් පිල පෙරමුණේ පසුවෙද්දී සොෆ්ට්ලොජික් වොරියර්ස් පිල දෙවැනි තැන හිමිකරගෙන සිටී. ඇක්සස් කිංග්ස් පිල තුන්වැනි ස්ථානයටත්, වෝකර්ස් වයිපර්ස් පිල සිවුවැනි ස්ථානයටත් පත්ව සිටිති.

විද්‍යා විද්‍යාලයීය පිල පාසල් තරගාවලියේ පෙරමුණ ගනිද්දී ත්‍රිත්ව විදුහල දෙවැනි ස්ථානයේ රැඳී සිටී. එහි තුන්වැනි ස්ථානය සාන්ත පීතර විදුහල් පිලට සහ කිංග්ස්වුඩ් විදුහල් පිලට හිමිවිය.

කාන්තා තරගාවලියේ පෙරමුණේ පසුවන්නේ යුදහමුදා කණ්ඩායමය. නාවික හමුදා පිල දෙවැනි ස්ථානයත්, ගුවන් හමුදා පිල තුන්වැනි ස්ථානයත් අත්කරගෙන සිටින අතර සී.ආර්.පිල සිවුවැනි තැන පසුවෙයි. 

නව අදහස දක්වන්න