ජාතික ක්‍රීඩා සංගම් 21ක නිලවරණ අවසන් | දිනමිණ

ජාතික ක්‍රීඩා සංගම් 21ක නිලවරණ අවසන්

ප්‍රින්ස් ගුණසේකර

මේ වසරේ පැවැත්වීමට නියමිත ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණ අතුරින් සංගම් 21ක් නිලවරණ පවත්වා අවසන්ව ඇති අතර සංගම් 25ක නිලවරණ පැවැත්වීම තවමත් ප්‍රමාද වී ඇත. මේ අතර ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණ පැවැති ආකාරය ක්‍රීඩා රෙගුලාසිවලට පටහැනි බැවින් ක්‍රීඩා සංගම් 5ක පරිපාලනය ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ නියෝග අනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පවරාගෙන ඇත.

එලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත පරිපාලන බලය පවරා ඇති සංගම් වන්නේ බොක්සිං, බැඩ්මින්ටන්, ජූඩෝ, හොකී හා හෑන්ඩ්බෝල් යන සංගම්ය. මෙයින් බොක්සිං හා බැඩ්මින්ටන් සංගම් විගණිත මූල්‍ය ප්‍රකාශ සාමාජික සංගම් වෙත ලබා නොදීමේ හේතුව මත තහනම් කොට ඇති අතර ජූඩෝ, හොකී හා හෑන්ඩ්බෝල් යන සංගම් අධිකරණ ක්‍රියා මාර්ග හේතුවෙන් නිලවරණ පැවැත්වීමේ අවස්ථා අහිමිව ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් 62ක් අතුරින් වාර්ෂික මූල්‍ය ප්‍රකාශ තවමත් විගණනය සදහා භාරදී නොමැති සංගම් 5කි. චෙස්, පාපැදි, බෝල් රූම් ඩාන්ස්, කඳු නැගීම හා අංගම් පොර යන ජාතික ක්‍රීඩා සංගම් විගණනය සඳහා තවමත් පසුගිය වසරේ මූල්‍ය වාර්තා ලබාදී නොමැති බව වාර්තා වේ. මෙයින් අංගම්පොර ක්‍රීඩා සංගමය මෑතකදී පිහිටුවා ගත් අතර අනෙක් සංගම් හතර කාලයක සිට ක්‍රියාත්මක වේ. මේමෙම ජාතික ක්‍රිඩා සංගම් පහ මූල්‍ය ප්‍රකාශ සකස් කර රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත යැවීමට අපොහොසත්වීම පිළිබඳ එම සංගම් ප්‍රධානීන්ගෙන් නිදහසට කරුණු විමසා ඇතැයි වාර්තා වේ.

නිලවරණ තවමත් පැවැත්වීමට නොහැකි වූ එහෙත් විගණකාධිපති වාර්තා ලබාගෙන ඇති හා විගණන සමාගම් වෙත ගිණුම් වාර්තා භාරදී ඇති විගණනය වෙමින් පවතින සංගම් වන්නේ කබඩි, ත්‍රෝ බෝල්, කායවර්ධන, එල්ලේ, රයිෆල් ෂූටිං, බෝල් රූම් ඩාන්ස්, බේස්බෝල්, කැනොයින් හා කායිත්, ස්පැක්ට්‍රෝ, මොඩර්න් පෙන්තලෝන්, රෝද සපත්තු, රෝල් ස්කේටින්, ජුජුට්සු, සූමෝ සැම්බෝ, බ්‍රිජ්, මල්ලවපොර, ෆෙන්සින්, පාරම්පරික කරාටේ, ආබාධිත ක්‍රීඩා, සැහැල්ලු පන්දු, රෝල්බෝල් හා ස්කොෂ් වේ.

මේ වන විටත් නිලවරණ පවත්වා අවසන් කොට ඇති රගර්, ක්‍රිකට්, ජීවිතාරක්ෂක, සවි එසැවීම, දුනු විදීම, වෙඩි තැබීම, කූදෝ, නෙට්බෝල්, පාපන්දු, වොලිබෝල්, අශ්වාරෝහක, මලල ක්‍රීඩා, බාස්කට්බෝල්, ජල ක්‍රීඩා, රුවල් ඔරු, බර ඉසිලීම, ඔරු පැදීම, ගොල්ෆ්, කෝ කෝ, ඔටෝ මොබයිල් හා කරාටේ දෝ යන ජාතික ක්‍රීඩා සංගම් ඉදිරි වසර හතරක කාලයක් පරිපාලන කටයුතු කිරීමට වරම් ලබා ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද 62වැනි අලුත්ම ජාතික ක්‍රීඩා සංගමයවන ශ්‍රී ලංකා මූයිතායි ක්‍රීඩා සංගමයට ද නව ක්‍රීඩා රෙගුලාසි අනුව ඉදිරි කාලයේදී නිලවරණයක් පැවැත්වීමට සිදුවේ. එම ක්‍රීඩා සංගමය මුයිතායි සටන් කලාව රටපුරා ප්‍රචලිත කිරීමේ කාර්යයේ නිරතව සිටින ජාතික ක්‍රීඩා සංගමයකි.

විගණිත මූල්‍ය ප්‍රකාශන සමග නිලවරණ දැන්වීම වාර්ෂික මහා සභාවට දින 14කට කලින් ඒ ඒ ක්‍රීඩා සංගමයට අදාළ සාමාජික සංගම් වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු අතර එසේ නොකරන කිසිදු ක්‍රීඩා සංගමයකට නිලවරණ පැවැත්වීමේ අවස්ථාව ලබානොදෙන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා උපදෙස් දී ඇතැයි ක්‍රීඩා සංගම් නිලවරණ කටයුතු සම්බන්ධව සිටින සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්. බී. වික්‍රමසිංහ මහතා පැවැසීය.

ක්‍රීඩා සංගම්වල සිදුවෙතැයි පවසන දුෂණ හා අක්‍රමිකතා අවම කිරීම උදෙසා විගණිත මූල්‍ය ප්‍රකාශන අනිවාර්ය බවත් ඒවා කල් ඇතිව සියලු සාමාජික සංගම් වෙත යවා මහා සභාවේ අනුමැතිය ලබාගත යුතු බවත් ක්‍රීඩා ඇමැතිවරයා තරගයේ උපදෙස් දී ඇත. එලෙස මූල්‍ය ප්‍රකාශන විගණනය නොකර වගකීම් පැහැර හරින ක්‍රීඩා සංගම් නිලධාරීන්ට ජීවිතාන්තය දක්වා ක්‍රීඩා සංගම් නිලතල තහනම් කිරීමට ද රෙගුලාසි පනවා ඇත. එවැනි අවස්ථාවකදී ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරික හා ලේකම්, සභාපති යන තිදෙනාටම දඩුවම් පැනවීම අනිවාර්ය බව ක්‍රීඩා රෙගුලාසිවල දක්වා ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...