පොලිතින් තහනම! | දිනමිණ

පොලිතින් තහනම!

අපට දැන් සිදු වී ඇත්තේ පොලිතින් හා ප්ලාස්ටික්වලින් ජීවිතය ඉල්ලා සිටින්නට ය. මේ ද්‍රව්‍ය දෙක ඒ තරමට ම අපේ ජීවිත ආක්‍රමණය කර තිබේ. අපේ බත්පත ඇත්තේ පොලිතීන් කොළයක් මත ය. ඖෂධ, සුවඳ විලවුන් පමණක් නොව; බීම වර්ග පවා ඇත්තේ ප්ලාස්ටික් බෝතල් තුළය. නැතහොත් එම රඳවන මත ය. පානීය ජලය පවා ප්ලාස්ටික් බෝතලයක බහා ඉදිරිපත් කිරීම අලුත් තාලය වී තිබේ. එහෙත් හොඳින් කල්පනා කර බලන විට පෙනී යන්නේ මාරයා අප ළඟට ම පැමිණ අපේ ඇ‍ඟේ දැවටෙන බව ය. පොලිතීන් හා ප්ලාස්ටික් යනු මිනිස් සංහතිය හා පරිසර පද්ධතිය විනාශ කරන ප්‍රධාන සාධකයක් බව හඳුනාගෙන බොහෝ කල් ය.

දිනකට එක නිවෙසක කුණු මුල්ලේ ගොඩ ගැසෙන පොලිතින් තොගය කොපමණ ද? ප්ලාස්ටික් තොගය කොපමණ ද? දිනකට ශ්‍රී ලංකාව තුළ සිලි බෑග් මිලියන විස්සක් භාවිත වන බව කියති. දිනකට ශ්‍රී ලංකාව තුළ ලන්ච් සීට් මිලියන පහළොවක් භාවිත වන බව ද කියති. අපේ ජීවිතත්; පරිසර පද්ධතියත් විනාශ වීමට මේ ධාරිතාව හොඳට ම ප්‍රමාණවත් ය. අපි වරෙක මේවා ආනයනය කරන්නෙමු. තව වරෙක නිෂ්පාදනය කරන්නෙමු. තවත් වරෙක ඒවායින් ප්‍රති - නිෂ්පාදන ඇති කරන්නෙමු. මේ සියල්ලෙන් ම සිදුවන්නේ මිනිස් සංහතියේ විනාශයට පාර කැපීම ය. විශේෂයෙන් පොලිතින් හා ප්ලාස්ටික් දහනයෙන් මතුවන විෂ වායුව පිළිකා ඇතුළු රෝග ගණනාවකට හේතුකාරක වන බව සොයාගෙන තිබේ.

වත්මන් ජනාධිපතිවරයා පරිසරය ගැනත් මිනිසාගේ සෞඛ්‍යය ගැනත් බලවත් සේ උනන්දු වන රාජ්‍ය නායකයෙකි. එතුමාගේ මඟ පෙන්වීම යටතේ පරිසර හිතකාමී නීති - රීති ගණනාවක් මෑතක සිට ක්‍රියාත්මක වෙයි. එම නීති - රීති ගණනාවට අලුතින් එකතුවන්නේ ලන්ච් සීට් හා සිලි කවර තහනම් කිරීම ය. සැප්තැම්බර් පළමුවන දා සිට ක්‍රියාත්මක වන නීතියට අනුව මයික්‍රෝන 20 හා ඊට අඩු පොලිතීන් හා ප්ලාස්ටික් වර්ග භාවිතය තහනම් ය. මේ ප්‍රමිතිය හඳුන්වා දී ඇත්තේ නොදිරන අපද්‍රව්‍ය මගින් මිනිස් ජීවිතවලට හා පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ය. අපහසුවෙන් වුව ක්‍රියාවට නංවා ගතහොත් බොහෝ ප්‍රතිඵල උදාකර ගත හැකි ය. රජය පෙන්වා දෙන අන්දමට මෙය දිගුකාලීන වැඩසටහනකි. එය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වේ.

පළමු අදියර ක්‍රියාත්මක වන්නේ කඩිනම් වැඩසටහනක් ලෙස ය. ඊට අදාළ කරුණු හා සාධක දොළහක් හඳුන්වා දී තිබේ. ඒ අනුව ලන්ච් සීට් තහනම් ය. සිලි බෑග් ද තහනම් ය. ඒවා නිෂ්පාදනය කිරීම ද අත්හිටවනු ලැබේ. පහසුවෙන් දිරන නිසි ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරන ලන්ච් සීට් හා සිලි බෑග් වෙනුවෙන් ද පරිසර අධිකාරියෙන් අනුමැතියක් ලබාගත යුතුය. මෙය වැදගත් පියවරකි. මෙතෙක් එබඳු නිෂ්පාදන සම්බන්ධයෙන් කිසිදු ආයතනයක් වගකීම ගත්තේ නැත. ව්‍යාපාරිකයන් තම අභිමතයට අනුව අදාළ භාණ්ඩ නිෂ්පාදනය කර තිබේ. අවම ලෙස මේ සම්බන්ධයෙන් ප්‍රමිතියක් ඇති කිරීම වුව අතිශය වැදගත් පියවරක් සේ සැලැකිය හැකි ය.

අන්තර්ජාතික පර්යේෂණ ආයතනයක් මෑතක දී කළ පර්යේෂණයක වාර්තාවකින් දක්වා ඇත්තේ දකුණු ආසියාවේ මුහුදට කසළ මුදාහරින ප්‍රධාන රටක් හැටියට ශ්‍රී ලංකාව සැලැකිය හැකි බව ය. අප මෙලෙස මුහුදට අත හරින කසළවලින් වැඩි ප්‍රමාණය පොලිතීන් හා ප්ලාස්ටික් වන්නට පුළුවන. ප්ලාස්ටික් බෝතලයක් දිරන්නට වසර දහස් ගණනක් ගතවන බව පර්යේෂණවලින් හෙළිදරව් වී තිබේ. එසේ දිරාපත් වීමට ලක්වන්නේ වුව පොලිතින් හා ප්ලාස්ටික් මුළුමනින් ම විනාශ නොවන බව සොයාගෙන තිබේ. ඊජිප්තුවේ පර්යේෂණ කණ්ඩායමක් ප්ලාස්ටික් ආහාරයට ගන්නා පණුවකු පිළිබඳ පර්යේෂණයක නිරත වුව එය සාර්ථක වූ බවක් පෙනෙන්නට නැත. දැනට ගත යුතු බුද්ධිමත් ම තීරණය වන්නේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන් වැළකීම පමණි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය කියා සිටින්නේ මේ ද්‍රව්‍ය දෙක හානිකර බව ඉඳුරා පිළිගන්නේ වුව ඊට අදාළ විකල්ප ද්‍රව්‍ය හඳුනා නොගැනීම නිසා ඉහත තහනම ඔස්සේ පාරිභෝගිකයා අපහසුවට පත්වන බව ය. මේ තර්කය පිළිගත නො හැකිය. පොළට, කඩයට, සුපර්මාර්කට් එකට යන පාරිභෝගිකයාට පන් මල්ලක් හෝ හම් මල්ලක් හෝ පාවිච්චි කළ හැකි ය. බත් එතීම සඳහා කෙසෙල් කොළ හෝ වෙනත් දේවල් භාවිත කළ හැකි ය. පිඟානක් තවත් පිඟානකින් වසා රෙදි කඩකින් බැඳගෙන කාර්යාල වෙත කෑම රැගෙන එන ක්‍රමයක් අදටත් භාවිත වෙයි. ඕනෑම දෙයක පහසුව ගැන පමණක් නොව; ප්‍රතිඵලය ගැන ද බැලිය යුතුය. මේ තහනම නිසා පාරිභෝගිකයා බලවත් අසීරුවට පත්වන්නේ යැයි සිතිය නො හැකි ය.

කෑගල්ල යනු රටේ ප්‍රධාන නගරයකි. දිනපතා දහස් ගණනක් විවිධ කටයුතු සඳහා නගරයට කඩා වදිති. එහි හෝටල් හා කඩ රාශියක් ද පවතී. මේ කිසිදු හෝටලයක ලන්ච් සීට් හා සිලි බෑග් භාවිත නොකරන බව කියති. කෑගල්ල නගරය එබඳු තීන්දුවකට පැමිණ ඇත්තේ මහජන අභිමතය පරිදි බව ද දැනගන්නට ලැබේ. මෙය ආදර්ශයක් ලෙස ගත හැකි ය. කෑගල්ලට ලන්ච් සීට් එපා නම්; අනෙක් නගරවලට ද ඒ ක්‍රමය අනුගමනය කළ හැකිය. නගරයෙන් - නගරයට මේ ක්‍රමය ක්‍රියාත්මක වුවහොත් පොලිතීන් ගැටලුව ඉබේ ම විස‍ඳෙනු ඇත. මහජනයාගේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කළ හැකි මෙබඳු තවත් වැඩසටහන් ගැන සොයා බැලීම වැදගත් ය.

පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය ව්‍යාප්ත වූයේ විවෘත ආර්ථිකයත් සමඟ ය. ආර්ථිකය පුළුල් වෙත් ම පරිභෝජනය ද සංකීර්ණ විය. එය නැවැත්විය හැකි ක්‍රියාවලියක් නොවේ. එහෙත් භාණ්ඩවල ගුණාත්මක භාවය විමැසීමේ දී එහි අසුරන හා දවටන ගැන වුව විමසා බැලෙන ක්‍රමයක් දැන් පවතී. දියුණු රටවල පාරිභෝගිකයා භාණ්ඩයක් මිලට ගනු ලබන්නේ ඒ සියල්ල විමැසීමෙන් පසු ය. අපේ රටේ ද සිදුවිය යුත්තේ පාරි‍භෝගිකයා දැනුවත් කිරීම යැයි සිතන්නට පුළුවන. ඒ අතර සිදුවෙමින් පවතින මහා විනාශය වැළැක්වීම සඳහා අලුත් නීති - රීති ද අවශ්‍ය වේ. සැප්තැම්බර් 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත අලුත් නීතියට මහජන සහයෝගය අවශ්‍ය වේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...