කාලෝ අයංතේ! | දිනමිණ

කාලෝ අයංතේ!

අද අපගේ වැකිය ආරම්භ කරන්නේ රටේ කීර්තිමත් පුද්ගලයකු ද ඊට සම්බන්ධ කරගනිමින් ය. ඔහු මහාචාර්ය කාලෝ ෆොන්සේකා ය. වෛද්‍යවරයකු හැටියට ද,  එම ක්ෂේත්‍රයේ ගුරුවරයකු හැටියට ද ඒ මහතා බැබළෙයි. එලෙස ම බුද්ධිමතකු ලෙස ද, කලා විචාරකයකු ලෙස ද ෆොන්සේකා මහතා ජනතා සම්මානයට පාත්‍ර වී සිටී. ඒ හැරත් රටේ විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් මත පළකරන්නකු හැටියට ද හෙතෙම ප්‍රසිද්ධියට පත් ව සිටී. කාලෝ ෆොන්සේකා මහතා අද අපගේ මාතෘකාවේ චරිතයක් බවට පත්වන්නේ වෛද්‍ය වැඩවර්ජන සම්බන්ධයෙන් එතුමාගේ කීර්තිමත් නාමය ද එකට ගැළපී ඇති බැවින් ය. මේ වෘත්තාන්තය හරිහැටි වටහාගැනීම සඳහා කෙටි පැහැදිලි කිරීමක් ද අවශ්‍ය යැයි හඟිමු.

කාලෝ මහතා වෛද්‍ය සභාවේ ප්‍රධානියා හැටියට වසර පහක් සේවයේ නිරත වී සිටියේ ය. අපගේ දැනුමේ හැටියට මේ පත්වීම ඔහුට ලබා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. ෆොන්සේකා මහතා හිටපු ජනාධිපතිවරයාගේ හිත - මිත්‍රයකු හැටියට ද ප්‍රසිද්ධ ය.

වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රමිතියක් හා නියාමනයක් ඇති කිරීම වෛද්‍ය සභාවේ හා සභාවේ ප්‍රධානියාගේ කාර්යභාරය ලෙස හැඳින්විය හැකි ය. එහෙත් එවැනි දෙයක් සිදුවී ඇති බවක් පෙනෙන්නට නැත. ඒ කෙසේ වුව සම්මතයට අනුව උක්ත තනතුර දැරිය හැක්කේ වසර පහක් වැනි කාලයකට ය. එම වසර පහ ඉක්ම ගොස් තවත් මාස හයක් ඒ මහතා තනතුරෙහි රැඳී ඇත. දැන් ඔහු විශ්‍රාම යා යුතු කාලය පැමිණ තිබේ.

ප්‍රශ්නය මතුවන්නේ මෙතැන දී ය. කාලෝ මහතා විශ්‍රාම යන්නට කැමැති ය. රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය ඔහු විශ්‍රාම යනවාට අකැමැති ය. කාලෝ ෆොන්සේකා මහතා විශ්‍රාම ගැන්වුවහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බව වෛද්‍යවරුන්ගේ සංගමය කියයි. ඒ හැරත් උක්ත සංගමය මහාචාර්යවරයා වෙත සන්දේශයක් භාර දෙමින් ඉල්ලා ඇත්තේ විශ්‍රාම නොයා සේවයෙහි දිගටම රැඳී සිටින ලෙස ය.

ෆොන්සේකා මහතා විශ්‍රාම ගැන්වීම නීති විරෝධී බව ද එම සංගමය කියා සිටී. ඩෙංගු උවදුර රට පුරා පැතිර යද්දී වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වුවහොත් එය භයානක තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ ප්‍රශ්නය විසඳාගැනීම සඳහා වැඩ වර්ජනයක් අවශ්‍ය ද යන්න සොයා බැලිය යුතුය.

මේ මොහොතේ කාලෝ ෆොන්සේකා මහතාගේ වචනවලට සවන්දීම ද අතිශයින් ම වැදගත් ය. ඒ මහතා කියා සිටින්නේ තමන් වෛද්‍ය වැඩ වර්ජන අනුමත නොකරන හා ඊට විරුද්ධ වෛද්‍යවරයකු බව ය. හැරත් මහාචාර්යවරයා දෑත් එක්කොට වැඳ නමස්කාර කරමින් වෛද්‍ය සංගමයෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ නාමය හේතු පාඨයක් කරගෙන වැඩ වර්ජනය කිරීම වහා ම නවත්වන ලෙසට ය. ඔහු එය ආයාචනයක් හැටියට වෛද්‍ය සංගමයේ සභාපතිවරයාට හා ලේකම්වරයාට දැනුම් දී තිබේ. දැනට ඇති තොරතුරුවලට අනුව වෛද්‍ය සංගමය ඉහත සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නැත. ඒ අනුව වටහාගත හැකි සත්‍යය වන්නේ වෛද්‍ය සංගමය මීට ඉහත ගත් තීන්දුවේ ම සිටින බව ය. එය සාධාරණ ද? යුක්ති සහගත ද?

වෛද්‍ය සංගමය පසුගිය කාලය පුරාවට වැඩ වර්ජන ගණනාවක් ක්‍රියාත්මක ‍කොට ඇත්තේ සයිටම් ප්‍රශ්නය මාතෘකාවක් කරගෙන ය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙන්ම වෛද්‍ය ශිෂ්‍ය සංගමය ද බරපතළ උද්ඝෝෂණ පවත්වා ඇත්තේ ද සයිටම් ප්‍රශ්නය මූලික කරගෙන ය. කරුණු හොඳින් නිරීක්ෂණය කරනවිට සයිටම් ප්‍රශ්නයේ එක් කොනක මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද සිටින බව කිව හැකි ය.

සයිටම් ආයතනය ස්ථාපිත කරන කාලය තුළ මහාචාර්යවරයා ඊට විරෝධයක් දක්වා නැත. විරෝධය මතුවන්නේ පසුව ය. අද ඔහුගේ මතය වන්නේ වෛද්‍ය සංගමයේ මතය ම යැයි කියන්නට පුළුවන. එම මතය වන්නේ සයිටම් ආයතනය වසා දැමිය යුතුය යන්න ය. මහාචාර්යවරයා වෛද්‍ය සංගමයේ බළල් අතක් වී ඇතැයි චෝදනාවක් ද මහජනයා අතර පවතී.

සයිටම් ප්‍රශ්නය මූලිකකොට වෛද්‍ය සභාවේ ද අවුලක් නිර්මාණය වී ඇතැ’යි කීම නිවැරැදි ය. ආණ්ඩුවට සිදු වී ඇත්තේ සයිටම් ප්‍රශ්නය විසඳන අතර වෛද්‍ය සභාවේ අවුල ද විසැඳීමට ය. මේ සභාව වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ ප්‍රමිතිය හා නියාමනය සිදුකර නැතැ’යි චෝදනාවක් තිබේ. එසේ නම්; එහි නිලධාරී මණ්ඩලය වෙනස්කොට අවශ්‍ය ප්‍රතිපත්ති හා සැලැසුම් සකස් කිරීම සඳහා අලුත් නිලධාරී මණ්ඩලයක් පත්කර ගත යුතුය. වෛද්‍ය සංගමය ඊට බාධා කිරීම වැරැදි ය. වැඩ වර්ජනය අවියක් කරගෙන ආණ්ඩුවට තර්ජනය කිරීම ද වැරැදිය. වෛද්‍ය සභාවට නිලධාරීන් ‍තෝරාගැනීමේ තනි අයිතියක් වෛද්‍ය සංගමයට නැති බව ද කිව යුතුය. එසේ නම්; මේ අවුල ඇතිකර ඇත්තේ වෛද්‍ය සංගමය යැයි කියන්නට පුළුවන.

මහාචාර්ය කා‍ලෝ ෆොන්සේකා මහතාට තවදුරටත් එම තනතුරෙහි සේවය කිරීමට නොහැකි බව පැහැදිලිව කියා ඇත. වෛද්‍ය සංගමය උත්සාහ දරන්නේ බලහත්කාරයෙන් ඔහු වෛද්‍ය සභාවේ සභාපති තනතුරෙහි තබාගන්නට ය. එහි හිතුවක්කාරී බවක් තිබෙන්නා සේම රහසිගත යමක් තිබෙන්නට ද පුළුවන. මහාචාර්යවරයාගේ වයස, ශාරීරික තත්ත්වය ආදිය දෙස බලන විට ද වෙනත් කෙනකු එම තනතුර සඳහා පත් කිරීම සුදුසු යැයි කියන්නට පුළුවන. එතුමා උක්ත තනතුර දරන කාලය තුළ වෛද්‍ය සභාව ලැබූ විශේෂ ප්‍රගතියක් ගැන ද දැනගන්නට නැත. එතුමා සේවයෙන් විශ්‍රාම ගැන්වීම නීති - විරෝධී කටයුත්තක් වන්නේ නම්; ඒ සඳහා අධිකරණය වෙත යෑම සුදුසුම ක්‍රියාව ලෙස සඳහන් කළ හැකි ය. වෛද්‍ය සංගමය අධිකරණය වෙත යෑම වෙනුවට වැඩ වර්ජනය තෝරා ගන්නේ මන්දැ’යි විමසා බැලිය යුතුය.

වෛද්‍ය සංගමය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මෙන් ම වෛද්‍ය ශිෂ්‍ය සංගමය පසුගිය කාලය පුරාවට ක්‍රියාත්මක වී ඇත්තේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව යැයි කියන්නට පුළුවන. සයිටම් ප්‍රශ්නය විසැඳීමට නොව; එය මූලිකකොට ආණ්ඩුව පෙරළා දැමීමට උත්සාහයක් මේ ක්‍රියාකාරකම් යට ඇතැ’යි සිතන්නට පුළුවන. දේශපාලන පක්ෂ කිහිපයක් ද ඒ පසුපස ඇති බව පෙනී යයි. අපට හැ‍ඟෙන පරිදි ආණ්ඩුව මේ සිද්ධි සම්බන්ධයෙන් ඍජු තීන්දුවක් ගත යුතුය. වෛද්‍ය සංගමයට, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට හෝ වෙනත් ව්‍යාපාරයකට අවශ්‍ය ලෙස රටේ වැදගත් දේවල් හසුරවන්නේ නම්;ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ නැත. මෙහි දී අමතක නොකළ යුතු කාරණය වන්නේ වත්මන් ආණ්ඩුවට හැට දෙලක්ෂයක ජනවරමක් ඇති බව ය.

අදහස් 1ක් ඇත

kalina awasthwanata uchitha padiwarayekya!

නව අදහස දක්වන්න