ලුතිනන් කමාන්ඩර් අත්අඩංගුවට ගැනීමට නියෝග | දිනමිණ

ලුතිනන් කමාන්ඩර් අත්අඩංගුවට ගැනීමට නියෝග

සුභාෂිණී සේනානායක

පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැති සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (11) නියෝග කළාය.

කොළඹ අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව එම නියෝගය මහේස්ත්‍රාත්වරිය ලබා දුන්නාය. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයේ සිටින නාවික හමුදා නිලධාරීන් වන සැකකරුවන් පස් දෙනා ලබන 19 දා දක්වා තව දුරටත් රක්ෂිත භාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (11) නියෝග කළාය.

මෙලෙස රක්ෂිතභාර ගත කෙරුණේ නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය සහ තම්මිට ඉහළ ගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරනලාගේ කිත්සිරි යන අය වේ.

එමෙන්ම මේ සිද්ධියට අදාළව සැකකරුවක් ඩී. එම්. පී. දසනායක යන නාවික නිලධාරියා සැකකරුවකු ලෙස නම් කරන බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

මේ සැකකරුවාට විදේශ පුහුණුවකට යාමට නියමිත බවත් එම පුහුණුව සිදු කිරීමෙන් අනතුරුව ඊළඟ තනතුර හිමි වන බවත් එම පුහුණුව සඳහා යාමට අධිකරණයෙන් අවසර ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම සැකකරු වසර තුන හමාරක් ඉක්ම යනතුරුත් සැකකරුවෙක් ලෙස හෝ සාක්ෂිකරුවෙක් ලෙස නම් කර නොතිබූ බව අධිකරණයට කියා සිටි අතර, එම නිලධාරියාට විදේශ ගත වීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිබඳ ලිඛිත දේශන හෙට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ පිළිබඳ නියෝගය අද (12) ලබා දෙන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

සිද්ධියට අදාළ ඇප මත සිටින පළමු සැකකරු වන සම්පත් මුණසිංහ යන අය ද ඊයේ අධිකරණයේ පෙනි සිටියේය.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට නියමිත නාවික නිලධාරියකු වන හෙට්ටිආරච්චි යන අය අත්අංඩංගුවට ගැනීමට දීර්ඝ කාලයක් ගත වීමට කරුණු විමසූ මහේස්ත්‍රාත්වරිය සැකකරු වහා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසටත් ලබන 19 වැනිදාට පෙර අත්අඩංගුවට ගැනීමට ඇති සියලු සැකකරුවන් සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළාය.

මේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් වාහනයක් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඒ සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එමෙන්ම නීතිපතිවරයාට අවශ්‍ය කටයුතු සඳහා ලිපියක් යොමු කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය රහස් පොලසියට නියෝග කළාය.

පුද්ගලයන් 11 දෙනකු වසර 2008 අගොස්තු 08 වැනිදා සිට වසර 2008 සැප්තැම්බර් මස 17 වැනි දා දක්වා අතුරුදන්වී ඇති අතර, කොටහේන , වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයක දී ඉකුත් කාලය තුළ කස්තුරිආරච්චිගේ ජොන් රීට්, රජිව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරිආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් යන අය මෙලෙස අතුරුදන්ව ඇත. 

නව අදහස දක්වන්න