ජී - විස්ස සමුළුව

 ලෝක බලවතුන්ගේ ආර්ථික සමුළුව නිමාවට පත්වූයේ තරමක් කලබල මධ්‍යයේ ය. එහෙත් සමුළුවේ දී ගනු ලැබූ තීරණ සමස්ත ලෝකයේම ඉදිරි ගමනට බලපාන බව කිව යුතු ය. ලෝකයේ ආර්ථික වශයෙන් බලවත් ම රාජ්‍යයන් හා පිබිදෙන ආර්ථිකයන් සහිත රාජ්‍යයන් විස්සකින් මේ සමුළුව සමන්විත ය. 2008 / 2009 කාලයේ ආරම්භ වූ ලෝක ආර්ථික අවපාතයට මුහුණ දීම සඳහා මේ සමුළුව මුලින්ම රැස්වූයේ ලන්ඩන් නුවරදී ය. මෙවර සමුළුව පැවැත්වූයේ ජර්මනියේ හැම්බර්ග් නුවර දීය. විරෝධතා උද්ඝෝෂණ හා කඩාකප්පල්කාරී ක්‍රියා මධ්‍යයේ වුව සමුළුව රටවල් විස්සේ ම නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ලෝකය ගමන් ගන්නා ආර්ථික හා දේශපාලනික දිශානතිය තීන්දු කරන එක් සාධකයක් ලෙස ජී- 20 සමුළුව හැඳින්විය හැකි ය. මෙවර සමුළුවේ දී වැදගත් තීන්දු - තීරණ ගණනාවක් ගෙන තිබේ. සමුළුවේ තීන්දු හා තීරණ පිළිබඳ සියලු විස්තර ලෝකයට මුදා හැරෙන්නේ නැත. එහෙත් රටවල් විස්සම ලබාගත් එකඟතා මත ක්‍රියා කරනු ලැබේ. ලෝක ‍වෙළෙඳාම පිළිබඳ මාර්ග සිතියමට රටවල් විස්සම එක හෙළා එකඟතාව පළකර තිබේ. ලෝක ත්‍රස්තවාදය මර්දනය කිරීම සම්බන්ධයෙන් ද රටවල් විස්සම එකඟතාවට පැමිණ තිබේ. පරිසරය සම්බන්ධ පැරිස් ගිවිසුමට ‍අමෙරිකාව පමණක් විරුද්ධ වී ඇත.

ලෝක වෙළෙඳාම හා ලෝක ආර්ථිකයේ ධාරිතාව සම්බන්ධයෙන් ජී - 20 සමුළුවේ හවුල්කාරී බව අමුතුවෙන් කිව යුතු නැත. ‍ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් මේ රටවල ජීවත් වෙති. ලෝකයේ සමස්ත නිෂ්පාදනයෙන් 90% ක් මේ රටවලට අයත් ය. ලෝක වෙළෙඳාමේ කොටස් ප්‍රමාණයෙන් 80% ක් ද මේ රටවලට අයත් ය. මේ අනුව ලෝක වෙළෙඳාම හා ලෝක ආර්ථිකය පිළිබඳ තීන්දු ගැනීමේ වැඩි අයිතිය ජී - 20 සමුළුවට ඇත. එහෙත් මෙහි දී සලකා බැලිය යුතු කාරණය වන්නේ උක්ත රටවල පවා ආදායම් බෙදීයෑමේ දැඩි විසමතාවක් පැවැතීමය. උද්ඝෝෂණ ඇතිවීමට හේතුව ද එය යි. ලෝක බලවතුන් මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුව තිබේ.

නවත ම සංඛ්‍යා ලේඛනවලට අනුව දිනකට විසි දහසකට ආසන්න පිරිසක් සාගින්නේ මිය යති. ලෝකයේ සම්පත් බෙදීයාම පිළිබඳ යථාර්ථය එයින් හොඳහැටි පැහැදිලි වෙයි. සාගින්නේ දරුවන් මිය යන්නේ වුව ආර්ථික අවපාතයක් පවතින්නේ වුව බොහෝ සමාගම්වල ලාභය දෙගුණ - තෙගුණ වී තිබේ. මේ සමාගම් තර වන්නේ ද දිළිඳු රටවලට භාණ්ඩ අලෙවි කිරීමෙන් බව අමතක නොකළ යුතු ය . හැම්බර්ග් නුවර විරෝධතාවල තර්කයක් ඇතැ’යි සි‍තෙන්නේ ලෝක වෙළෙඳාමෙහි යථාර්ථය නිරීක්ෂණය කරන විට ය. මේවා පිළිබඳ යම් සාකච්ඡාවක් ජී -20 නායකයන් අතර පැවැති බවට ආරංචි පළ වී ඇත. එය සුබවාදී ලක්ෂණයක් වන්නේ ගැටලු විසැඳීමේ හැකියාව ද ලෝක බලවතුන් සතුවන බැවින් ය.

මේ සමුළුවේදී දැකගන්නට ලැබුණු ද්විපාර්ශ්වික සාකච්ඡාවන් කෙරෙහි ලෝකයේ අවධානය යොමු වී ඇත. අමෙරිකන් ජනාධිපතිවරයා හා රුසියන් නායකයා අතර පැවැති සාකච්ඡාව හා චීන නායකයා හා අමෙරිකන් ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාව දැන් ඒ අතින් විශේෂ යැයි සිතන්නට පුළුවන. රුසියාව හා අමෙරිකාව අතර පවත්නා සාකච්ඡා ලෝක දේශපාලනය සම්බන්ධයෙන් ද ගැටුම් සම්බන්ධයෙන් ද වැදගත් ය. රුසියාව හා යුක්රේනය අතර පවත්නා ගැටුම, සිරියාවේ යුද්ධය, මැද පෙරදිග ආරවුල යන සිද්ධි සියල්ලට රුසියාව හා අමෙරිකාව අනියමින් සම්බන්ධ ය. යථා ස්වරූපයෙන් ද සම්බන්ධ ය. මේ ගැටලු නිරාකරණයට හොඳම මාර්ගය සුහද සාකච්ඡාවයි.

චීනය හා අමෙරිකාව අතර සාකච්ඡා ද ඒ තරමටම වැදගත් ය. දකුණු චීන මුහුදේ ඇති අර්බුදය, උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් සේම ලෝක ආර් ථිකය හැසිරවීම යන සාධකවල දී මේ රටවල් දෙක යම් - යම් සාධනීය එකඟතා ඇතිකර ගත යුතු ව තිබේ. මේ වන විට ලෝක වෙළෙඳාමේ වැඩි නැඹුරුතාව චීනය දෙසට ගොස් තිබේ. සේද මාවත, එක් තීරයක් වැනි ආර්ථික වැඩසටහන්වල වැඩි පංගුකාරිත්වය චීනය ලබාගෙන තිබේ. අමෙරිකාව හා චීනය පරිසර විනාශය අතින් ප්‍රමුඛ රටවල් දෙක වන’මුත් පැරිස් එකඟතාවෙන් අමෙරිකාව ඉවත් වී ඇත. ජනාධිපති ට්‍රම්ප් මේ එකඟතාව දැඩි ලෙස විවේචනය කරන බවක් ද පෙනෙයි. එය ලෝකයට යහපත් නැත.

ලෝක ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණවල දී ජී - 20 සමුළුව අතිශය සාර්ථක බව පෙනී යයි. ර ටවල් විස්සම මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ සිටීම සුබදායී කාරණයෙකි. ත්‍රස්තවාදයට කුමන ආකාරයකින් හෝ බුරුලක් නොදීම සමුළුවේ එකඟතාව වී තිබේ. හැම්බර්ග් සමුළුව අවසන් වෙත් දී එහි සාර්ථක ප්‍රතිඵලයක් ද දැකගන්නට ලැබිණි. එනම්; ඉරාකයේ මු සෝල් නුවර අයි. එස්. ත්‍රස්තවාදීන් වෙතින් මුළුමනින් ම මුදාගැනීමට හැකි වීම ය. ඉරාක හමුදාවට මෙහිදී අමෙරිකන් හමුදාව වෙතින් අනගි සහයෝගයක් ලැබුණු බව සිහිපත් කළ යුතුය. ලෝක බලවතුන් එක තීන්දුවක සිටින්නේ නම්; ත්‍රස්තවාදය මර්දනය කිරීම අපහසු නැත.

ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල් කළ යුත්තේ ජී - 20 වැනි සංවිධානයක් ලෝක මට්ටමින් ගනු ලබන තීන්දු - තීරණ කෙරෙහි අවධානයකින් පසුවීම යැයි කියන්නට පුළුවන. එක අතෙකින් ලෝක ආර්ථිකයේ මාර්ග සිතියම තේරුම් ගැනීම වැදගත් ය. තව අතෙකින් ලෝක බලවතුන්ගේ හා ජගත් සංවිධානවල සහයෝගය ලැබෙන ලෙසින් අප ක්‍රියා කළ යුතු ය. තවදුරටත් හුදෙකලා රාජ්‍ය ලෙස පැවැතීමේ හැකියාව ලෝකයේ කිසිදු රටකට හිමිවන්නේ නැත. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික කේන්ද්‍රයක් බවට පත්කිරීම, සංචාරක කර්මාන්තය දියුණු කිරීම, ආයෝජකයන්ගේ පැමිණීම, අපනයන සංවර්ධනය යන සියල්ල රැඳී ඇත්තේ ලෝක ගනුදෙනු මත ය. ඒ අනුව ලෝක ආර්ථිකය හා එහි ගනු දෙනු හඳුනාගැනීම අපගේ පළමු කාර්යය විය යුතු ය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...