අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටීමට ජනාධිපති නීතිඥ කාලිංග ඇතුළු කණ්ඩායමට ඉඩ

 කමනි අල්විස්

අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටීමට ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමට බැඳුම්කර කොමිසම ඊයේ (10) අවසර ලබා දුන්නේය.

ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස මහතා කොමිසම හමුවේ කරුණු දක්වමින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගත් කොමිසම එම අවසරය ලබා දුන්නේය.

ජනාධිපති නීතිඥ ඉන්ද්‍රතිස්ස මහතා සමඟ නීතිඥ චන්ද්‍රකුමාර සිල්වා, නීතිඥ චමින්ද අතුකෝරළ මහත්වරු සහ නීතිඥ තෙරනි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු නීතිඥ කණ්ඩායමක් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටිනු ලැබේ. පෑන් ඒෂියා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රිචඩ් අරුණ බැස්ටියන් ඩයස් මහතා පසුගියදා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඇලෝසියස් මහතා හා සාක්ෂිකරු අතර පැවැති දුරකථන සංවාද සහ දුරකථන ඇමතුම් පිළිබඳ කොමිසම හමුවේ ප්‍රකාශ කරන ලදී. සාක්ෂිකරුගෙන් බැඳුම්කරවලට අදාළ ලේඛන කිහිපයක් පිළිබඳ විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා සිදු කළ අතර ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා සාක්ෂි විමසීම් සිදු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතීත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන සහ වී. කන්දසාමි මහත්වරුන්ගෙන් හෙබි බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි විභාගය සිදු වෙයි. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා, අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කොදාගොඩ මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...