පරා­ජයේ දුක නිවූ වාර්තා­ගත ඉනිම | දිනමිණ

පරා­ජයේ දුක නිවූ වාර්තා­ගත ඉනිම

පසුගියදා අවසන් වුණු චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දී ලැබූ පරාජයත් සමඟ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳව බොහෝ විවේචන එල්ල වුණා. එහෙත් ජය පරාජය දෙකම සම සිතින් ඉවසමින් ක්‍රීඩකයන්ට හැමදාමත් ශක්තියක් වන ක්‍රීඩා ලෝලීන් ඒ දෙස බැලුවේ උපේක්ෂා සහගතව කීවොත් නිවැරැදියි.

මෙරට ක්‍රීඩාලෝලීන් ගේ ඊළඟ බලාපොරොත්තුව වුණේ එදා අර්ජුන, අරවින්ද සනත් වගේ ක්‍රීඩකයන් කළා වගේ සිම්බාබ්වේ කණ්ඩායමට රිදෙන්න ගහලා 5-0 ක් ලෙස තරගාවලිය දනා වාර්තා පිට වාර්තා තබමින් පරාජයෙන් වුණු සිත්වේදනා මකාගන්න. පළමු තරගයෙන් ලැබූ අනපේක්ෂිත පරාජයත් එක්ක ඒ බලාපොරොත්තු පවා බොඳවී යන බවක් පෙනෙනවා. එහෙත් දෙවැනි තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු යළිත් අපට සැනසුම් සුසුමක් හෙළන්නට හැකි වාතාවරණයක් පෙනෙනවා.

අද මෙම සටහන තැබෙන්නේ පරාජයන් හමුවේ වුවත් ලැබෙන ජයග්‍රහණ ගැන ඒ ජයග්‍රහණ සමඟ රටට කීර්තියක් ගෙනෙන වාර්තාවක් ගැන ලැබුණු සතුටුවිය හැකි පුවතක් පිළිබඳවයි.

මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන 11 වැනි ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී අපේ සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු ගේ පිති හරඹය මෙම සටහනට හේතුවනවා. මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම සටහන තැබෙන දිනය වනවිට සහභාගි වුණු තරග තුනෙන්ම පරාජය වී තිබේ. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව මේ දක්වා සහභාගි වූ තරග තුනම ජයගෙන ඉදිරියෙන්ම සිටින අතර දකුණු අප්‍රිකාව සහ එංගලන්තය තරග දෙක බැගින් ජයගෙන 3 සහ 4 ස්ථාන ගෙනතිබේ. මේ අනුව ශ්‍රී ලංකා පිලට තරගාවලියේ ඉදිරියට යාමට බලාපොරොත්තු තබ ගන්නට නම් ඉතිරි තරග හතරම ජයගතයුතු වෙයි.

මෙම තරගාවලියේ දෙවැනි තරගය වූ ඕස්ට්‍රේලියාව සමග පැවැති තරගයේ දී නොදැවී ලබාගත් ලකුණු 178 නිසා චමරි අද අපේ ලිපියේ කතා නායිකාව බවට පත්වන්නීය. ඇය මෙම ලකුණු 178 ලබා ගැනීමට පන්දු 143 ක් වැය කළ අතර හතරේ පහර 22 ක් සහ හයේ පහර 6 ක් ඊට ඇතුළත් වෙයි.පන්දුවට පහර දීමේ වේගය 124.47 කි. මෙම තරගය ඕස්ට්‍රේලියාව ජයගත් නමුත් චමරි ගේ මෙම සුපිරි පිති ප්‍රහාරය තරගයේ වීරයා සම්මානය හිමිකර දීමට තරම් විශිෂ්ට වුණා. චමරි ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් ඉතිහාස පොතේ ශ්‍රී ලංකා නාමය සනිටුහන් කරන්නට සමත් වීම අපට සැබැවින්ම ආඩම්බරයක්.මෙම ඉනිම කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලොව තුන්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා. මෙහි පළමු තැන ගෙන සිටින්නේ 1997 වසරේ කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා බෙලින්ඩා ක්ලාර්ක් ඩෙන්මාර්කයට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 229 යි.දෙවැන්න වන්නේ 2017 අයර්ලන්තයට එරෙහිව ඉන්දීය ක්‍රීඩිකා දීප්ති ෂර්මා ලබාගත් ලකුණු 188 යි.චමරී ලබාගත් මෙම ලකුණු 178 ,මෙතෙක් කලක් තුන්වැනි තැනගෙන සිටි එංගලන්ත හිටපු නායිකා චාලට් එඩ්වඩ් නොදැවී ලබාතිබූ ලකුණු 173 සිව්වැනි තැනට දමා තුන්වැනි තැන ගන්නට මඟ පෑදුවා. චමරී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු සහ එකම ශතක ලාභිනිය වන අතර ශතක තුනක් ලබාගත් එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවද වෙනවා.ඇය ලබාගත් මංගල ශතකය අපේ රට වෙනුවෙන් ක්‍රීඩිකාවක් ලබාගත් මංගල ශතකය වූ අතර එය වාර්තා වන්නේ ඇගේ හත්වැනි තරගයේදී එනම් 2011 අප්‍රෙය්ල් 28 පී සරා ඕවල් පිටියේ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවයි. චමරිගේ දෙවැනි ශතකය වන්නේ 2014 ඔක්තෝබර් 17 වැනිදා කාන්තා ශූරියන්ගේ කුසලාන තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් කොළඹ එස්.එස්.සී. පිටියේ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව පන්දු 151 කදි ලබාගත් ලකුණු 106 යි.

චමරී නොදැවී ලබාගත් මෙම ලකුණු 178 කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සම්පූර්ණ ඉනිමකදී 69.26 % ක් වාර්තා කළ පළමු ක්‍රීඩිකාව ලෙසින් වාර්තා පොතට එක්වනවා. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ 1982 වසරේ ලින් තෝමස් ක්‍රීඩිකාව ඉන්දියාවට එරෙහිව වාර්තා කළ 61.94% යි.

එසේම හයේ සහ හතරේ පහර වලින් 124 ක ලකුණු ප්‍රමාණයක් ලබාගත් හොඳම ඉනිම ලෙසද චමරිගේ මෙම ඉනිම වාර්තා පොතට එක්වනවා. ඇය බිඳ දැමුවේ ඉන්දියාවේ දීප්ති ශර්මා ලබාගත් ලකුණු 188 දී ලබාතිබූ ලකුණු 120 යි.

2010 අප්‍රියෙල් 18 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව එක්දින වරම් ලබන චමරි පළමු තරගයේදී ආරම්භක පිතිකාරිය ලෙස පිටියට පිවිස ඩැනියල් ස්මෝල් ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු නොලබාම දැවී ගියා.

මේ දක්වා තරග 62 කට සහභාගිවී ඉනිම් 62 ක් ක්‍රීඩාකර ශතක තුනක්, අර්ධ ශතක 12 ක් සමගින් ලකුණු 1907 රැස්කරගෙන ඇති ඇය කලක් ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබා දුන්නා.

27 වැනි වියේ පසුවන චමරි ට රට වෙනුවෙන් තව තවත් ජයග්‍රහණ ලබන්නට ශක්තිය ප්‍රාර්ථනා කරමු. 

(ඉඳුනිල් වීරරත්න)

නව අදහස දක්වන්න