සත්‍යවාදී කොමිසම! | දිනමිණ

සත්‍යවාදී කොමිසම!

මිනිස් සමාජය වෙත ගලාඑන තොරතුරු - දත්ත හා නිරූපණ ඉතා පරෙස්සමෙන් වටහා ගත යුතු ය. එලෙස ම ඊටත් වඩා පරෙස්සමෙන් භාවිත කළ යුතු ය. එක අතෙකින් අප වෙත ලැබෙන තොරතුරු හා ආරංචි අමූලික බොරු වන්නට පුළුවන. සාවද්‍ය වන්නට පුළුවන. අපගේ ආවේගයන් අවුස්සන සුලු ඒවා වන්නටත් පුළුවන. විශේෂයෙන් බහුවාර්ගික, බහු ආගමික සමාජයක පැතිර යන වැරදි ආරංචියකින් බලවත් විනාශයක් සිදුවන්නට පුළුවන. මේ පිළිබඳ සත්‍ය අත්දැකීම් ඉතිහාසය පුරාවටම පවතී. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම් බො‍හෝමයක් ආරම්භ වී ඇත්තේ වැරැදි හා අසත්‍ය තොරතුරු ආවේගශීලී ලෙස සන්නිවේදනය කිරීම නිසා යැයි කියන්නට පුළුවන.

තොරතුරු සම්පාදනයේ දී මෙන් ම ඒවා ප්‍රචාරය කිරීමේ දී ද සත්‍යවාදී බව, නිරවද්‍යතාව හා ඊට අදාළ මූලාශ්‍ර දැක්වීමත් ඒ පිළිබඳ පරීක්ෂාවෙන් සිටීමත් ආචාර ධර්මයක් සේ පවතින්නේ වුව; සමාජ වෙබ් අඩවිවලට හෝ කට‍කතාවලට හෝ ආචාරධර්ම අදාළ නො වේ. ඒවා පාලනය කළ හැකි වෙනත් ක්‍රමෝපායක් ද දැනට නැත. මේ අනුව මහජනයාට කළ හැකි හොඳ ම ක්‍රියාවලිය වන්නේ තොරතුරු හා ආරංචි නිරීක්ෂණය කිරීම හා ඒවා පරෙස්සමෙන් වටහා ගැනීම ය. මේ වනවිට ඇතැම් ජනමාධ්‍ය පවා ප්‍රවෘත්ති පළකරන්නේ ආචාර ධර්ම ඒ හැටි සැලැකිල්ලට ගනිමින් නොවේ. මෙහි අර්ථය වන්නේ තොරතුරු සම්පාදනයට හා ඒවා ඉදිරිපත් කිරීමට අදාළ අර්බුදකාරී තැනෙක අප පසුවන බව ය.

ජාතිය, ආගම, භාෂාව යන විෂයයන්ට අදාළව සමාජය තුළ සංචලනය වන වැදගත් හා සංවේදී අවස්ථා - සිද්ධි ආදිය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්වන තොරතුරු හා වාර්තාවලට වගකියන ආයතනයක් පිහිටුවන්නැ’යි සංඝයා වහන්සේ වෙතින් ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි. මෙහි සාකල්‍ය අදහස වන්නේ එබඳු තොරතුරු හා වාර්තා නිවැරැදි කරන හා සත්‍යවාදී කරන වගකිවයුතු නිල ආයතනයක් තිබිය යුතු බව ය. රටේ සිදුවන බොහෝ දේවල් දෙස බලන විට ‍පෙනී යන්නේ මෙය හදිසි අවශ්‍යතාවක් බව ය. ඉහත විෂය ක්ෂේත්‍රවලට අදාළ අසත්‍ය හා ආවේගශීලී ප්‍රකාශ හා ආරංචි විදේශයන්හි පවා ප්‍රචලිත වෙයි. ඒවායින් රටට බරපතළ හානි සිදුවන අවස්ථා ද තිබේ.

ජනාධිපතිවරයාගේ දැඩි අවධානය ඉහත කී ආයතනයක් පිහිටුවීම කෙරෙහි යොමු වී ඇති බව දැනගන්නට ලැබේ. මේ අනුව ඊට අදාළ කොමිසමක් ළඟදීම පිහිටුවනු ඇතැ’යි සිතන්නට පුළුවන. එය රටේ සංහිඳියාව හා සහජීවනයට ද අදාළ යැයි කිව යුතු ය. විදෙස් ගතවන ඇතැම් දේශපාලකයෝ මෙන්ම ඇතැම් උගත්තු ද එක්කෝ සිදුවීම් උත්කර්ෂයට නංවා ආවේගශීලී ප්‍රකාශ සිදු කරති. නැතහොත් තම අභිමතයට අනුව වැරැදි මත පළ කරති. විදේශිකයකුට මේවා නිවැරැදි කරගත හැකි නිල ආයතනයක් නැත. එය විශාල අඩුවක් ලෙස පෙනී යයි. මෙබඳු ආයතනයකට රටේ පැතිර යන වැරදි මත නිවැරැදි කළ හැකි ය. විදේශීය වශයෙන් රටේ කීර්තිනාමය ආරක්ෂා කළ හැකි ය.

එල්.ටී.ටී.ඊ සංවිධානය උතුරේ බලය තහවුරු කරගෙන තිබූ අවධියෙහි යුද්ධය පිළිබඳ අසත්‍ය ‍වාර්තා මෙන් ම ආවේගශීලී වාර්තා විදෙස් ආයතනවලට ලබා දුන්නේ ත්‍රස්තවාදයට වාසි සහගත ලෙස ය. එදා ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රචාරක ජාලයට වඩා එල්.ටී.ටී.ඊ. ප්‍රචාරක ජාලය බලවත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරැදි ප්‍රචාර ලෝකය පුරා ප්‍රචලිත විය. අදත් ඇතැම් රටවල ජනතාවගේ අදහස වන්නේ ශ්‍රී ලංකාව යනු සුළු ජන කණ්ඩායම් අමානුෂික ලෙස මර්දනය කරන රටක් බව ය. අසූ තුන කළු ජූලියේ දී පවා වැරැදි තොරතුරු ලෝකය පුරා ප්‍රචාරය වී ඇත. මේවා නිවැරද කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනයක් පිහිටුවීම කෙරෙහි කිසිවකුගේ අවධානය යොමුවී තිබුණේ නැත. මේ අනුව බලන විට සංඝයා වහන්සේගේ යෝජනාව කාලෝචිත ය.

මීට මාස කිහිපයකට ඉහත දී එංගලන්තය, අමෙරිකාව හා යුරෝපීය රටවල් කිහිපයක ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාවද්‍ය මත ගණාවක් පැතිර ගියේ ය. එක මතයකින් කියැවුණේ රටේ තවම ජනවාර්ගික ගැටුම් පවතින බව ය. තව මතයකින් කියැවුණේ දරුණු ගණයේ මංකොල්ලකෑම් හා මිනීමැරුම් රටේ සිදුවන බව ය. තවත් මතයකින් කියැවුණේ ශ්‍රී ලංකාවේ කුලී රථ රියැදුරන් අතිශය අවිනීත පුද්ගලයන් බව ය. මේ තත්ත්වය සංචාරක කර්මාන්තයට මෙන්ම ආ‍යෝජකයන්ගේ පැමිණීමට ද අතිශය අහිතකර බව අමුතුවෙන් කිව යුතු නැත. යුද්ධය පවතින සමයේ බටහිර රටවල් බොහොමයක් සිය ජනතාව වෙනුවෙන් තහනමක් පැන වූහ. ඒ ශ්‍රී ලංකාවේ සංචාරය අත්හිටවනු යනුවෙන් ය.

ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවහොත් අසාර්ථක රාජ්‍යය යන අපකීර්තිමත් නාමය දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සඳහා යෙදී තිබුණි. එසේම අසාර්ථක රාජ්‍යවලට විදේශ ණය ලැබෙන්නේ නැත. ආයෝජකයන් එන්නේ නැත. සංචාරක ආකර්ෂණයක් ද එම රටවලට නැත.

ශ්‍රී ලංකාව සිය ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන උපායමාර්ග දෙකක් ලෙස සඳහන් කර ඇත්තේ විදේශීය ආයෝජකයන්ගේ පැමිණීම හා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය යි. මේ දෙකම අහිමිවන්නේ නම්; අපට අලුත් ආර්ථික සාධක හඹා යන්නට සිදුවනු ඇත. වඩාත් වැදගත් වන්නේ ඉහත සාධක දෙක සුරක්ෂිත ලෙස තබා ගැනීම ය. ඊට අදාළ ප්‍රධාන මූලෝපාය වන්නේ රටේ කීර්තිනාමය පවත්වාගැනීම යැයි කියන්නට පුළුවන.

යෝජිත ආයතනය පවත්වා ගැනීම සඳහා විධිමත් ක්‍රියාවලියක් ද අවශ්‍ය වේ. එක අතෙකින් මේ ආයතනයට සුදුසු ම පුද්ගලයන් බඳවාගෙන ඔවුනට අවශ්‍ය පහසුකම් සැපයිය යුතු ය. තව අතෙකින් නිවැරැදි තොරතුරු ලබාගත හැකි ජාලයක් මෙන් ම ක්‍රමවේදයක් ද ආයතනය සතු විය යුතු ය. තවත් අතෙකින් අසත්‍ය ප්‍රවෘත්ති නිවැරැදි කිරීමේ නෛතික ප්‍රතිපාන ද ආයතනය සතු විය යුතු ය. මෙය පහසු හා සරල කටයුත්තක් නොවේ. එහෙත් රටේ ඉදිරි ගමන වෙනුවෙන් මෙබඳු ආයතනයක් පවත්වා ගත යුතු ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...