උමා ඔය

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කැණීම් කටයුතු තාවකාලික ව නවතා ඇත. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙන අන්දමට එහි උමඟ තුළ ඇති විදුම් යන්ත්‍ර දින දහයක් ගතවීමට පෙර ඉවත් කෙරෙනු ඇත. මෙය බුද්ධිමත් තීරණයක් සේ පිළිගත හැකි ය. එක අතෙකින් උමං මාර්ග දිගේ විශාල ජල කාන්දුවීමක් සිදුවේ. තව අතෙකින් ඉහත යන්ත්‍ර ඔස්සේ මතුවන කම්පනය ඌවේ උස් බිම්වලට ඔරොත්තු දෙන්නේ නැත. තවත් අතෙකින් ව්‍යාපෘතියට එරෙහිව බලවත් මහජන විරෝධතාවක් ද පවතී. මේ සියල්ල සලකා බලන විට පෙනීයන්නේ මෙබඳු තීන්දුවක් ගැනීම කාලෝචිත බව ය.

ස්විස්ටර්ලන්ත විශේෂඥයකු පැමිණ ව්‍යාපෘතිය පිළිබඳ නිරීක්ෂණයක් සිදුකර තිබේ. එම විශේෂඥයාගේ අදහස් ද තීරණය සඳහා බලපාන්නට ඇත. ලෝකයේ මෙබඳු උමං තැනීම පිළිබඳ විශේෂ දැනුමක් හා ප්‍රාගුණ්‍යයක් ඇති රට නෝර්වේ ලෙස හැඳින්වේ. නෝර්වේ රටේ විශේෂඥ කණ්ඩායමක් තව නොබෝ දිනකින් දිවයිනට පැමිණීමට නියමිත ය. ඔවුන්ගේ නිර්දේශ මත ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු තීන්දු කරන බව අදාළ අමාත්‍යාංශය පෙන්වාදෙයි. වැදගත් වන්නේ සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නවතා දැමීම නොව; ඒවා විධිමත් ආකාරයකට තහවුරු කිරීම ය. රජ‍යේ ඉලක්කය වන්නේ මේ ව්‍යාපෘතිය පරිසර හානිවලින් තොරව නැවත ඉදිකිරීම බව පෙනීයයි. ඒ සඳහා බොහෝ ක්‍රියාකාරකම් කළ යුතුව තිබේ.

අමාත්‍යාංශය තවත් වැදගත් තීරණ කිහිපයක් ගෙන තිබේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් පිළිබඳ පුළුල් විද්‍යාත්මක ගවේෂණයක් සිදු කිරීම එහි පළමුවන්න වේ. ඊට අදාළ විද්‍යාත්මක උපකරණ මේ මස දහඅටදාට පෙර දිවයිනට ගෙන්වා ගන්නා බව ද සඳහන් ය. නෝර්වේ විශේෂඥ කණ්ඩායමේ නිර්දේශ අගෝස්තු පහළොව දිනට ලබා දීමට සැලැසුම් කර ඇත. මේ ව්‍යාපෘතිය නිසා හානියට පත් හා දේපොළ අහිමි ජනතාව වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා රුපියල් දස ලක්ෂ තුන්සියයක් මේ වනවිටත් නිදහස් කර ඇත. ජනාධිපතිවරයාගේ නිර්දේශය මත එම මුදල ලැබී ඇත. තක්සේරු වාර්තා කඩිනමින් සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා කියා තිබේ. උමා ඔය ව්‍යාපෘතියට අදාළ ගැටලු සාකච්ඡා කිරීම සඳහා සෑම මසකම ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට ද නියමිත ය.

ව්‍යාපෘතියට අදාළ ගැටලු විසඳාගත හැකි එකම ක්‍රමය ඒ යැයි සිතන්නට පුළුවන. මේ ව්‍යාපෘතිය නවතා දමා අත සෝදාගැනීම සුදුසු ක්‍රියාවක් නොවේ. ඉරාන රජයෙන් ලබාගත් ණය මුදලක් ද ව්‍යාපෘතියට ඇතුළත් ය. ව්‍යාපෘතිය අතරමඟ නවතා දමන්නේ නම්; ලබාගත් ණය මුදල ආයෝජනයක් බවට පත්වන්නේ නැත. ව්‍යාපෘතියෙන් දේශපාලන වාසි ලබාගන්නේ නම්; සියල්ල ගිය ආණ්ඩුවේ ගිණුමට බැරකොට විවේචනයක් ද සමඟින් ව්‍යාපෘතිය අත්හිටුවා දැමිය හැකි ය. එහෙත් රජයේ උත්සාහය වන්නේ හානි අවම කර ගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑම ය. මෙහිදී දේශීය බුද්ධිමතුන්ගේ මෙන්ම ජනතාවගේ ද අදහස් විමැසීම වැදගත් ය. ප්‍රගති සමාලෝචන රැස්වීම ඒ සඳහා යොදාගත හැකි හොඳම උපාය මාර්ගය බව පෙනී යයි.

2008 මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු තම සේවයෙන් ඉල්ලා අස්වී ඇත. හේතුව උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු විධිමත් ආකාරයකට සිදු නොවීම ය. නිලධාරීන් මෙය හඳුන්වා ඇත්තේ ජාතික අපරාධයක් හැටියට ය. ඒ පමණක් නොව; ව්‍යාපෘතිය ආරම්භ කළ වකවානුවේම පරිසර සංවිධාන මීට විරෝධය දක්වා ඇත. මහජනයා ද සුළු වශයෙන් විරෝධතා දක්වා ඇත. ගිය ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය කිසිදු විරෝධතාවක් සැලකිල්ලට ගෙන නැත. ආණ්ඩුවකට එලෙස හිතුවක්කාරී ලෙස ක්‍රියා කළ හැකි ද යනු ගැටලුවකි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු බලයට පත්වන්නේ මහජනයාගේ ඡන්දයෙනි. ඡන්දයට පෙරත්; බලයට පත් වූ පසුවත් ජනතාවට ඇහුම්කන්දීමේ වුවමනාවක් ආණ්ඩුවකට තිබිය යුතුය. ඒ අතින් බලනවිට වත්මන් ආණ්ඩුවේ පිළිවෙත නිවැරැදි ය.

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී මහ නායක හිමිවරුනට සවන්දීමට තීන්දු කිරීම ආණ්ඩුව ගත් වැදගත් පියවරක් සේ සැලැකිය හැකි ය. සංඝ සභාවේ යෝජනා නැවත සලකා බැලිය යුතු තැනක තිබුණ ද පළමුව නායක හිමිවරුන් වෙත සවන්දීම වැදගත් ය. කුණු-කසළ පිළිබඳ ගැටලුවේදී මෙන් ම සයිටම් පිළිබඳ ගැටලුවේදී ද ආණ්ඩුව සාමකාමී හා නම්‍යශීලී ප්‍රතිපත්තියක සිට කටයුතු කරනු දැකිය හැකිය. මෙය ආණ්ඩුවේ දුර්වලකමක් යැයි සිතීම වැරැදි ය. මහජන වි‍රෝධතා නිසා කුණු - කසළ ගැටලුව අවුලක් බවට පත් ව තිබේ. එහෙත් විරෝධතාකරුවන්ට පහර දී හෝ වෙඩි තබා හෝ ගැටලුව විසැඳීමට ආණ්ඩුව ගියේ නැත. මෙය කෙනකුගේ විවේචනයට ලක්විය හැකි වුව; ආඥාදායක ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් යහපාලන ආණ්ඩුවකට නැත.

උමා ඔය ව්‍යාපෘතිය ජාතික ගැටලුවක් බවට පත් වී ඇත්තේ ගිය ආණ්ඩුව ගත් වැරැදි තීන්දු හා තීරණ නිසා බව ඉතා පැහැදිලි ය. එය දේශපාලන ව්‍යාපෘතියක් වන අතර තීරණ ගැනීමේ අයිතිය පැවරී තිබුණේ ද දේශපාලන බලවතුන්ට ය. මේ ව්‍යාපෘතිය සැලැසුම් කිරීම, පාරිසරික වාර්තා සකස් කිරීම, ඉදිකිරීම් කොන්ත්‍රාත් භාරදීම යන සියල්ල දේශපාලන බලවතුන්ගේ හිතුමතේට සිදු වී ඇත. උමං තැනීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇති ඉරාන සමාගම ශ්‍රී ලංකාව බඳු කඳුකර රාජ්‍යයක උමං තැනීම පිළිබඳ කිසිදු අත්දැකීමක් නැති සමාගමක් බව සමහරු පෙන්වා දෙති. ඒ සඳහා සමාගම භාවිත කරන තාක්ෂණය මෙන් ම යන්ත්‍ර - සූත්‍ර ද අපේ රටට නොගැළපෙන බව තවත් අය පෙන්වා දෙති.

ගිය ආණ්ඩුවේ පව්; මේ ආණ්ඩුවට ගෙවන්නට සිදු වී ඇත යන්න සමාජයේ පවතින පොදු කියමනකි. විදේශ ණය කන්දරාව, සයිටම් ප්‍රශ්නය, උමා ඔය ගැටලුව, මහා පරිමාණ දූෂණ හා වංචා, මානව හිමිකම් පිළිබඳ ගැටලු, විදේශීය සබඳතා බිඳවැටීම යනා දී ලෙසින් ක්ෂේත්‍ර ගණනාවක ඇති අර්බුද විසඳමින් රජය ගෙන යෑමට සිදු වී ඇත. මේ සඳහා ගතවන කාලය හා ධනය ගැන සලකන විට එය ද අර්බුදයක් බවට පත් ව තිබේ. උමා ඔය ව්‍යාපෘතිය නැවත ගවේෂණය කිරීම, විධිමත් ආකාරයකට ජනතාවට වන්දි ලබාදීම ආදිය සඳහා ද විශාල ධනයක් යට කිරීමට සිදුවේ. ඒ සියල්ල සිදු වී ඇත්තේ ගිය ආණ්ඩුවේ දේශපාලකයන්ගේ වැරදි නිසා ය. එහෙත් පුදුමයකට මෙන් ගිය ආණ්ඩුවේ හිටපු බලධරයන් තමන්ගේ වැරදි පිළිගන්නේ නැත.

කුමන තත්ත්වයක් යටතේ වුව සංවර්ධනයේ නාමයෙන් දේශපාලන ව්‍යාපෘති ගෙන යෑම වරදකි. උමා ඔය ව්‍යාපෘතිය අපට පෙන්වා දෙන වැදගත් පාඩම එය යි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...