සමීක්ෂණයක්! | දිනමිණ

සමීක්ෂණයක්!

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට කෘතඥතාව පළකරමින් අද මේ තීරය ආරම්භ කරන්නට කැමැත්තෙමු. මේ ආයතනය පළමු වරට පෞද්ගලික හා අවිධිමත් අංශවල ශ්‍රම බල ඉල්ලුම පිළිබඳ විධිමත් සමීක්ෂණයක් සිදු කිරීමට යයි. රැකියා සඳහා වැඩි ම ඉල්ලුමක් ඇති හා පුරප්පාඩු පවතින ක‍්ෂේත්‍ර හඳුනාගැනීම, එම වෘත්තීන්ට අදාළ අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් දැක්වීම හා අදාළ වෘත්තිකයන්ගේ වැටුප් හා වෙනත් දීමනා පෙන්වාදීම සමීක්ෂණයේ ඉලක්ක ලෙස දක්වා ඇත. ජූලි මාසය තුළ සමීක්ෂණය සිදු කරන බව ද; ඒ සඳහා පෞද්ගලික ආයතන තුන්දහස් පන්සියයක් මේ වනවිටත් තෝරාගෙන ඇති බවද, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධ්‍යාපනය සඳහා ද, රැකියා සඳහා ද වැඩමුළු, සම්මන්ත්‍රණ හා සංවාද පවතී. ‍මේවාට විශාල වශයෙන් තරුණ තරුණියන් සහභාගි වීමෙන් කරුණු දෙකක් පැහැදිලි වෙයි. පළමු කරුණ වන්නේ රැකියා සම්පාදනයට අදාළ නිවැරැදි දත්ත හා තොරතුරු සමාජය වෙත ගලා යන්නේ නැති බවය. අනෙක් කාරණය වන්නේ අධ්‍යාපනය හා රැකියා සැපයුම අතර ඇති සම්බන්ධය බොහෝ දෙනකුට වැටහී නැති බවය. කුමන හෝ උපාධියක් ලබා ඇති තැනැත්තා ඕනෑම රැකියාවකට සුදුසුයැයි බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් එය නිවැරැදි අදහසක් නො වේ. ඕනෑම වෘත්තියකට අදාළ නිශ්චිත සුදුසුකම් තිබේ. රැකියාව ඉල්ලුම් කරන තැනැත්තා එම සුදුසුකම සපුරා ගත යුතු ය.

තරුණ පරපුර සම්බන්ධයෙන් පැවැති ප්‍රධාන චෝදනා දෙකක් මේ මොහො‍තේ අප සිහියට නැ‍ඟේ. පළමු චෝදනාව වන්නේ ‍පෞද්ගලික අංශයේ රැකියාවලට ඔවුන් දක්වන අකමැත්ත ය. එහෙත් වැඩි පඩි ඇත්තේද ඉක්මනින් උසස්වීම් ලැබිය හැක්කේ ද ඇබෑර්තු බහුල ලෙසින් ඇත්තේ ද පෞද්ගලික අංශය තුළ ය. ‍දෙවන චෝදනාව වන්නේ පෞද්ගලික අංශය අපේක්ෂා කරන දැනුම හා හැකියාව තරුණ පරපුර ළඟ නැති බවය. කලකට පෙර අපේ තරුණ පරපුර යොමුවූයේ ශාස්ත්‍රීය අධ්‍යාපනය කෙරෙහි ය. නව නිෂ්පාදන සඳහා අවශ්‍ය ශිල්පීය දැනුම හා කළමනාකරණ හැකියා කෙරෙහි ඔවුන් උනන්දු වූයේ නැත. එහෙත් වෙළෙඳ පොළ ආර්ථිකයත් සමඟ ආර්ථික ක්‍රියාවලිය සාකල්‍යයෙන් ම වෙනස් වී ඇත. අද ප්‍රධාන රැකියා සම්පාදකයා බවට පත් ව ඇත්තේ පෞද්ගලික අංශය යි.

පෞද්ගලික අංශය වෙත ද තරුණ පරපුරෙන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් වී තිබිණි. එක; රැකියාවේ සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නය යි. ‍දෙක; විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටලුවයි. තුන; අධ්‍යාපන සහතිකයට නිසි සැලැකිල්ලක් නොදක්වන්නේ යැයි කරන ‍චෝදනාව යි. පෞද්ගලික අංශය හැමවිට ම අපේක්ෂා කරන්නේ ක්‍රියාශීලී ප්‍රායෝගික වෘත්තිකයෙකි. ඔහු නිශ්චිත කාලයක දී නිශ්චිත වැඩ කොටසක් ඉටු කළ යුතු ය. කාලය, ශ්‍රමය, හා දැනුම ඒ සඳහා මුළුමනින්ම යෙදවිය යුතු ය. පෞද්ගලික අංශය කල්මැරීමක් අපේක්ෂා කරන්නේ නැත. ‍මේ ක්‍රමවේදය ආයතනයේ දියුණුවට මෙන් ම පුද්ගලයාගේ දියුණුවට ද අදාළ ය. ප්‍රශ්නය ඇත්තේ පෞද්ගලික අංශය හා තරුණ පරපුර අතර සම්බන්ධීකරණයක් හා අවබෝධයක් නො තිබීම යැයි සිතන්නට පුළුවන.

මීට ටික කලකට පෙර අපේ තරුණ පරපුර අතර පැවැති අදහසක් වූයේ ඉංග්‍රීසි භාෂා දැනුම හා පරිගණක දැනුම අතින් සන්නද්ධ වීමෙන් රැකියා ලබාගත හැකි බව ය. පරිගණක ක්ෂේත්‍රයෙහි විශාල ඇබෑර්තු ප්‍රමාණයක් තිබූ බව සත්‍යයෙකි. එහෙත් දැන් එය අවසන් වෙමින් පවතී. අද වන විට පරිගණක දැනුම මූලික සුදුසුකමක් පමණක් බවට පත්වෙමින් තිබේ. නව රැකියා ඇත්තේ වෙනත් ක්ෂේත්‍ර තුළය. ඒවා කලින් - කලට වෙනස් වන බවද පෙනී යයි. ශ්‍රී ලංකාව මුල සිට ම අධ්‍යාපනය හා රැකියා ‍වෙළෙඳ පොළ අතර සම්බන්ධයක් පවත්වාගෙන ගොස් නැත. අද එය විශාල ගැටලුවක් බවට පත් ව ති‍බේ. විදේශීය ආයෝජකයන් පැමිණ නව කර්මාන්ත ඇති කරන විට මේ ගැටලුව තවදුරටත් උග්‍ර වන්නට පුළුවන.

ජර්මනිය වැනි දියුණු රටවල් නව තාක්ෂණය කෙරෙහි විශ්වාසය තබමින් තරුණ පරපුර එම අංශවලට බහුල ලෙසින් යොමු කරයි. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයද මීට හොඳ නිදසුනකි. ආන්ද්‍රා ප්‍රාන්තයේ තරුණ - තරුණියෝ විශාල වශයෙන් විදේශ රටවල සේවය කරති. ඔවුන් නූතන ලෝකයට අවශ්‍ය දැනුමෙන් හා කුසලතාවෙන් සමන්විත බව කියති. නූතන ලෝකයේ කිසිදු රටක ආර්ථිකය තනි ඒකකයක් වන්නේ නැත. විවිධ ගනුදෙනු හා හුවමාරු ඔස්සේ ලෝකය විශ්ව ගම්මානයක් බවටද, තනි යායක් බවට ද පත්ව තිබේ. චීනය, ජී - 20 ආර්ථික සමුළුව, යුරෝපා සංගමය වැනි රටවල් හා ආයතන ගෙන යන ආර්ථික වැඩසටහන් අනුව ලෝකය තවදුරටත් සමීප වනු ඇත. ඒ අනුව විශ්ව තරුණයකු හා විශ්ව තරුණියක නිර්මාණය කර ගැනීමේ අභියෝගය අපට තිබේ.

පෞද්ගලික අංශයේ සාර්ථක කළමනාකරුවන් හා දක්ෂ වෘත්තිකයන් සඳහා විදේශ රටවල රැකියාව ඇති බව කවුරුත් දන්නා කාරණයකි. මේ කළමනාකරුවන් හා වෘත්තිකයන් අභියෝග භාරගැනීමට කැමැති; වේග‍යෙන් ඉලක්ක කරා හඹා යන පිරිසක් බවද අපි දනිමු. ලෝකයේ රැකියා වෙළෙඳ පොළ විවෘත වන්නේ ද එබඳු සාර්ථක පුද්ගලයන්ට මිස: සාම්ප්‍රදායික උපාධිධරයන්ට නොවේ. ඉන්දියාවේ ද මේ ගැටලුව පවතී. වරක් රජයේ කන්තෝරුවක කාර්යාල කාර්ය සහායක තනතුර සඳහා ඉල්ලුම් පත් කැඳ වූ අතර ලැබුණු විශාල ඉල්ලුම්පත් ප්‍රමාණය අතර ආචාර්ය උපාධි ලැබූ කිහිප දෙනෙක්ද සිටියෝ ය. ශාස්ත්‍රීය අධ්‍යාපනය රැකියා සඳහා සුදුසුකමක් වන්නේ අවස්ථා කිහිපයකදී පමණි. එම අවස්ථා ඇත්තේ ද, අධ්‍යාපන හා පර්යේෂණ අංශ තුළ පමණකැ’යි කිව හැකි ය. නූතන ලෝකයට අනුව අපගේ ආකල්පද වෙනස් විය යුතු ය.

කුමක් වුව ශ්‍රී ලංකාවේ විරැකියාව පිළිබඳ ගැටලුව වර්ධනය වෙමින් පවතින බව පිළිගත යුතුය. අප මුලින්ද සඳහන් කළ පරිදි ඊට බලපාන හේතු සාධක රැසක් ද තිබේ. ඒවා විසඳා ගැනීම සඳහා නිවැරැදි දත්ත හා තොරතුරු තිබිය යුතුය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව උත්සාහ කරන්නේ අවශ්‍ය අවස්ථාවලදී භාවිත කිරීම සඳහා එම දත්ත හා තොරතුරු ලබාදීමට ය . එය රටේ සංවර්ධනයට අදාළ සාධකයක් ලෙස ද පෙන්වා දිය හැකි ය. දියුණු රටවල ‍මෙබඳු තොරතුරු හා දත්ත ප්‍රසිද්ධ කරන වෙන ම ආයතන තිබේ. එම ආයතනවලට ගාස්තුවක් ගෙවීමෙන් රැකියා ඇබෑර්තු ඇති ආයතන දැන ගත හැකි ය. එහෙත් අපේ රටේ පෞද්ගලික අංශයේ තොරතුරු රහසිගත ය. එය වෙනස් කළ යුතුය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...