'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් | දිනමිණ

'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක්

චීනයේ සියාමෙන් නගරයේ සිට මැලේසියාවේ කවාලාලම්පුර් නුවර බලා පියාසර කළ ගුවන් යානයක ව්‍යාපාරික පන්තියේ ගමන්ගත් චීන දෙව් රූ තුනක ඡායාරූප සමාජ මාධ්‍ය ජාල හරහා වේගයෙන් පැතිර යමින් පවතියි.

සමුදුරු දෙවඟනට උපහාර පිදීමට හා ඇය වෙනුවෙන් උත්සවයක් සැමරීමේ සමාරම්භක සංස්කෘතික හුවමාරු චාරිකාවක් වෙනුවෙන් මෙම දෙව් රූ තුන චීනයේ 'මෙයිශු මාසූ' දෙවොල විසින් මැලේසියාව හා සිංගප්පූරුව වෙත පිටත්කර හරිනු ලැබිණි.

මෙම ගුවන් ගමනට එක්වූ දෙව් රූ සිය සමුද්‍රාසන්න දෙවොලෙන් පිටත්ව සියාමෙන් ගාකි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අයුරු චීන සමාජ මාධ්‍ය ජාලවල පළවීමත් සමග බොහෝදෙනා ඒ පිළිබඳ විනෝදශීලීව ඒ පිළිබඳ සංවාදයේ යෙදුණාහ.

WeChat පණිවිඩ ජාලයෙන් ටොන්ග් හුයිචුවාන් නැමැත්තා ප්‍රශ්න කර තිබුණේ "ආරක්ෂක පරීක්ෂාව ඇය පසුකළේ කෙසේද ?" යැයි විමසමිනි.

"මේ ගමන ඇයට දුර වැඩියි. බෝට්ටුවක නැගුනොත් ඊට දිගු වෙලාවක් යනවා. ගමන දුර වැඩි නිසා ඇය ගුවනින් යනවා" යැයි WeChat ඔස්සේම ප්‍රකාශයක් කළ තවත් අයෙකු පැවසීය.

දේවාලයේ සිට ගුවන් තොටුපොළ වෙතත් එතැන් සිට සියාමෙන් ගුවන් සේවයේ යානයකින් මැලේසියාවේ ක්වාලාලම්පුර් ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ වෙත දෙව් රූ වැඩම කරවන ලද්දේ පරිවාරයෙහි "130ට අධික නියෝජිත පිරිසක්" සමග බව දේවාල කාර්ය මණ්ඩලය සඳහන් කළේය.

ව්‍යාපාරික පන්තියේ සුව පහසුව මැද ගිය මේ ගමනේදී එක් අයෙකුගේ ගුවන් ටිකට් පතක මිල යුවාන් 2,091 ක් (පවුම් 237ක්) විය.

ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ සහය ඇතිව, පුජනීය දේව රූප ව්‍යාපාරික පන්තියේ ඉදිරියේම අසුන් පෙළේ වඩා හිඳුවන ලද්දේ වැඩි ඉඩකඩක් සළසමිනි.

"මෙය 'මාසූ' දෙවඟන වෙනුවෙන් කළ ඉතාම සරළ පිදීමක්" බව මැලේසියාවේදී ඇයව පිළිගත් එක් ප්‍රකාශකයකු, "අඩි හයකට වඩා උස නිසා ව්‍යාපාරික පන්තියේ පියාසර කරන්නට වුණා" යැයි ද කීය.

මේ දෙව් රූ වෙනුවෙන් විශේෂ ගමන් බලපත්‍ර ද නිකුත් කෙරුණු බව සඳහන් කළ දේවාලයේ කාර්ය මණ්ඩලය, ගුවන් සමාගම "විශේෂ ගරු සැළකිල්ලක්" දැක්වූ බවද සඳහන් කළේය.

සාගරයට අධිපති දෙවඟන ලෙස සැළකෙන ඇය ධීවරයින් මෙන්ම නාවිකයින් ද සුරකින බව විශ්වාස කෙරේ.

දෙව් රූ අතරින් පළමුවැන්නී, දකුණු චීනයේ මෙන්ම මැලේසියාව, වියට්නාමය හා තායිවානය වැනි චීන බෞද්ධ ප්‍රජාව මෙන්ම තාඕ බැතිමතුන් අතර පුළුල්ව වන්දනයට පාත්‍රව සිටින 'මාසූ' (මත්සු ලෙසද හැඳින්වේ) නම් දෙවඟනය.

අනෙක් දෙදෙනා වන්නේ 'මාසූ' දෙවඟනගේ ආරක්ෂකයින්වන 'කියන්ලියන්' සහ 'ශුන්ෆෙන්ග්'අර්' ය.

දිගු දුර දැකීමේ බලයකින් 'කියන්ලියන්' සමන්විත වන අතර සුළගේ පාවන ඕනෑම ශබ්දයක් ඇසීමේ හැකීයාව අසුරයකුවන 'ශුන්ෆෙන්ග්'අර්' සතුවන අතර ඉදිරියේ එන කුණාටු හමුවේ නාවිකයින් මෙන්ම නැව්වලට ද ඔහු සහය වේ යැයි විශ්වාස කෙරේ.

(බී.බී.සිය ඇසුරෙනි)

 

 

නව අදහස දක්වන්න