සැබෑ සිහින | දිනමිණ

සැබෑ සිහින

දීපාල් සූරියාරච්චි

පසුගිය ලිපියෙන් අප සාකච්ඡා කළේ විවිධ ව්‍යාපාරික ආයතන තම දිගු කාලීන දැක්ම ලෙස තෝරාගෙන තිබෙන ප්‍රකාශය. එය කියවන ඔබට එම ප්‍රකාශ අදාළ වන්නේ විශාල ආයතනවලටය යන හැඟීම ඇති වන්නට පුළුවන්.

අද අප ඉදිරිපත් කරන්නේ එයට වඩා හාත්පසින්ම වෙනස් ව්‍යාපාරික ආයතන කිහිපයක් තම දැක්ම පිහුටුවාගෙන කටයුතු කරන ආකාරයයි.

ශ්‍රී ලංකාවේ කුඩ නිෂ්පාදනයේ ප්‍රමුඛතම ආයතනය ලෙස සැලකෙන්නේ “රේන්කෝ” ව්‍යාපාරයයි. මෙය ඉතා කුඩාවට ආරම්භ කරන ලද ආයතනයකි. එහි නිර්මාතෘ එස්. එම්. ෆවුස් මහතා පසු ගිය දිනෙක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබූ සමුළුවක දී ප්‍රකාශ කර සිටියේ ඔහු එම ආයතනය ආරම්භ කළ අවස්ථාවේ ඔහුගේ සිහිනය වී තිබුණේ “ශ්‍රී ලංකාව තුළ යම් කෙනෙක් කුඩයක් ඉහලනවනම් එය ඔහු විසින් නිෂ්පාදනය කරන ග්ලෝබ් සන්නාමය දරන කුඩයක් විය යුතු”බවය. ( සන්නාම වෙනස සිදු වුණේ පසුවය) මෙය කෙතරම් ප්‍රබල දැක්මක් ද. නමුත් එම දැක්ම පිහිටුවා ගන්නා විට ඔහු සිටියේ ඉතා කුඩා ව්‍යාපාරිකයකු ලෙසය.

එමෙන්ම සිද්ධාලේප ව්‍යාපාරය ආරම්භ කළ දේශමාන්‍ය වෛද්‍යාචාර්ය විකටර් හෙට්ටිගොඩ මහතා ඔහුගේ දැක්ම ලෙස පිහුටුවා ගෙන තිබුණේ සෑම ගෙදරකම සිද්ධාලේප බෝතලයක් තිබිය යුතු බවය.

මේ සිහිනයන් දෙක අද ලෝකයේ විශාලතම ධනවතෙක් ලෙස සැලකෙන බිල් ගේට්ස් “සෑම කාර්යාලීය මේසයක් මතම සහ සෑම නිවසකම තමන් විසින් නිපදවන කුඩා කොම්පියුටරයක් තිබිය යුතුයි” ලෙස ආරම්භයේ දී පිහුටුවා ගන්නා ලද දැක්මත් අතර තිබෙන්නේ කෙතරම් කිට්ටු සමානතාවක් ද?

ලොව මෙතෙක් පහළ වුණ විශිෂ්ටම ව්‍යවසායකයෙක් ලෙස සලකන පැනසොනික් සමාගමේ නිර්මාතෘවරයා තම ව්‍යාපාරය ආරම්භ කර තිබෙන්නේ බයිසිකල් ඩයිනමෝ නිෂ්පාදනය කරමිනි. නමුත් ඔහුගේ මූලික අදහස වී තිබෙන්නේ “ මිනිසුන්ගේ ජීවිත පහසු කරන විදුලි උපකරණ නළ ජලය ලෙස සුලබ විය යුතුයි” යන්නයි.

මේ දැක්ම තුළම ගැබ්ව තිබෙන්නේ අඩු මිලට ලොව පුර ව්‍යාප්ත වන නිෂ්පාදනයන් බිහි කිරීම පිළිබඳ වුණ ව්‍යාපාරික උපාය මාර්ගයකි.

ආසියාවේ ඉතාමත් සාර්ථක සහන මිල ගුවන් සේවයක් වන එයාර් ඒසියා ගුවන් සමගම ආරම්භ කළ ටෝනි ෆ්ර්දිනන්දස් මහතාගේ අදහසවී ඇත්තේ “දැන් සැම කෙනකුටම පියාසර කරන්න පුළුවන් යන්නයි” මේ ප්‍රකාශයේ බලවත්කම ගැන සඳහන් කරන එම ගුවන් සමාගමේ ප්‍රධාන කළමනාකරුවෙක් මා සමඟ පැවසුවේ පිරිසිදු කරන්නකු ලෙස සේවයට බැඳුණු තරුණයෙක් අද ගුවන් සමාගමේ ගුවන් නියමුවෙක් ලෙස කටයුතු කරන්නට තරම් දැනුම් පුහුණුවෙන් ඉහළට ගොස් තිබෙන බවයි.

තම සමාගමේ අනාගතය ගැන විශ්මයජනක අදහසක් ඉදිරිපත් කරන මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයෙක් මට ජපානයේ දී මුණ ගැසුණි. එවකට ඔහුගේ වයස අවුරුදු 75 ඉක්මවා තිබුණි. සුගි සේයික නම් ආයතනයේ නිර්මාතෘ වන ඔහුගේ දැක්ම වනුයේ ඉස්සෝ පපඩම් නිපදවන තම සමගම විශාල වෘක්ෂයක් ලෙස වසර 200ක් දක්වා දියුණු වෙමින් පවතින ආකාරයයි. ඔහු තම දැක්ම සඳහන් කරන්නේ කළමනාකරණ දර්ශනය ලෙසයි. එහි ප්‍රධානතම අංගයන් ලෙස ඔහු හඳුන්වන්නේ “පිරිසිදුකම” ”නිහතමානී බව” සහ “දරා ගැනීමේ හැකියාවයි”.

මේ ගුණාංග තම සේවක කණ්ඩායම තුළ ගැඹුරු අවබෝධයක් ඇති කිරීම උදෙසා ඔහු ඉතා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් හඳුන්වා තිබේ. සෑම වසරකම තම ආයතනය අවට ප්‍රසිද්ධ පාසලක වැසිකිළි පිරිසිදු කිරීම තම අතින්ම සිදු කිරීම මගින් බලාපොරොත්තු වන්නේ පිරිසිදුකම සහ නිහතමානී බව ඔවුන් තුල ප්‍රචලිත කිරීම වන අතර, වාර්ෂිකව පවත්වන මැරතන් තරගය දරා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම ප්‍රගුණ කරයි. මේ ගුණාංග දිගු කාලයක් පැවත්විමට බලාපොරොත්තු වන නිෂ්පාදන ආහාර ආයතනයකට මොන තරම් නම් ගැළපේද?

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් පිළිබඳ කතා කරන විට ඉහළින්ම සඳහන් කෙරන මැලිබන් බිස්කට් නිර්මාතෘ හින්නි අප්පුහාමි මහතා ගැන සඳහන් කරන එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් පැවසුවේ එතුමා සිටින අවදියේ විකුණුම් නියෝජිතයන් යළි කර්මාන්ත ශාලාවට පැමිණි විට ඔවුන්ගෙන් එතුමා අසන පළමු ප්‍රශ්නය වී ඇත්තේ “ළමයෝ අපගේ විස්කොත්තු ගැන මිනිසුන් මොනවද කියන්නේ ?” යන්න බවයි. මන්ද එතුමාගේ දැක්මවී තිබෙන්නේ ජනතාවට විශිෂ්ට බිස්කට් නිෂ්පාදන ලබා දීම බවයි.

මේ උදාහරණ අධ්‍යයනය කිරීමෙන් අපට පැහැදිලි වන්නේ මෙවන් විශාල සිහිනයන්, නමුත් සරල පැහැදිලි සිහිනයන් තිබීමෙන් ඔවුනට තම ආයතනයන් ඉදිරියට ගෙන යාමට අවශ්‍යය දැක්ම පමණක් නොව ජවය ද ලැබුණ බවයි. එමෙන්ම එම දර්ශනයන්හි තිබෙන සරල බව නිසාම ඒවා ඕනෑම අඩු අධ්‍යාපන මට්ටමක් ඇති සේවකයකුට වුණත් අවබෝධ කර ගත හැකිවිමයි.

ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගොස් මෙවන් දර්ශනයන් ගැන සිතන විට අපට සිහියට එන්නේ රුවන්වැලි සෑය ඉදි කිරීමේ දී දුටු ගැමුණු මහ රජ පිහිටුවා ගන්නා ලද දැක්මයි.

“මගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසයි” යන්නයි. එහි ප්‍රතිඵලය වුයේ මුළු මහත් ජනතාවක්ම එම ව්‍යාපෘතියේ කොටස්කරුවන් බවට පත් විමයි. එය කෙතරම් ප්‍රබල වුයේ ද යත් නොමිලේ චෛත්‍යය කර්මන්තයට සහභාගීවීම වළක්වන්නට සතර වාහල්කඩ නිලධාරීන් යොදවා තබන්නට වුණ බව වංශ කතා සඳහන් කරයි.

එමෙන්ම මහා පරාක්‍රම බාහු රජතුමා “අහසින් වැටෙන එක වැහි බින්දුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයා යුතුයි” යන ප්‍රකාශයේ ප්‍රබලත්වය කෙසේ ද යත් ජාතියක්ම වැව බැඳීමට යොමු වුණ බව අදටත් දිවයින පුරා තිබෙන වැවුවලින් මෙන්ම පරාක්‍රම සමුද්‍රය දෙස බැලීමෙන්ම පැහැදිලිවේ.

එම දර්ශනයන් කෙනඩි ජනාධිපතිවරයාගේ “මේ සියවස් අවසන් වන්නට පෙර මිනිසෙක් සඳ මතට යවා නිරුපද්‍රිතව ගෙන්වා ගත යුතුයි” යන ප්‍රකාශයට කිසිසේත් දෙවැනි නොවෙයි. මේ ප්‍රකාශය ඇසුන කවර තරම් අමෙරිකානු තරුණයන් මුලින්ම සඳ මත පා තබන තැනැත්තා වන්නට සිහින මවන්නට ඇත්ද. වරෙක නාසා ආයතනයේ පිරිසිදු කරන සේවකයෙක්ගෙන් ඔබ කුමක් ද කරන්නේ යැයි විමසූ විට “මම මිනිසෙක් හඳට යවන්නට උදවු කරනවා” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

නායකයාට අන් අයට නොපෙනෙන ඉමක් පෙනේ. හරියට නිර්මාණකරුවකුට ගල් කුලක් තුළ සිරව තිබෙන බුදු රුවක් පෙනෙන්නාක් මෙනි.

ඔබේ ව්‍යාපාරයේ දැක්ම ද එවැනි විය යුතුයි. එයට ව්‍යාපාරයේ තරම බාධාවක් විය යුතු නැත.

නව අදහස දක්වන්න