අවසරයි; | දිනමිණ

අවසරයි;

 ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් ගමන් කරමින් සිටින්නේ කොතැනකට ද? අප අතීතය කරා නැවත ගමන් කරමින් සිටින්නේ ද? නැතහොත් අනාගතයේ සුබවාදී ආස්ථානයක් කරා ගමන් කරමින් සිටින්නේ ද? මේ කිසිවක් නිශ්චිත ව හා පැහැදිලි ව දකින්නට නැත. ර‍ටේ සිදුවීම් දෙස බලනවිට පෙනී යන්නේ අඩියක් පෙරට තබන අප නැවත අඩි දෙකක් පසුපසට තබන බව ය. මෙයින් ගම්‍ය වන්නේ අප තවම විශාල අවුලක සිටින බවය. අපට තවම හරි මාවතක් හා හරි දෘෂ්ටියක් නැති බව ය. ජාතියක් හැටියට ගත් කල අප තවම පසුගාමී ය. අපේ ම සමාජ කණ්ඩායම් තුළ පවතින මතවාද, සංකල්ප හා යෝජනා අපේ ඉදිරි ගමනට අවශ්‍ය තල්ලුව හා උත්තේජනය නියම අයුරින් සපයන්නේ ද යන ගැටලුව අප ඉදිරියෙහි පවතී.

ර‍ටේ ඉදිරි ගමනට අවශ්‍ය මාර්ග සිතියම සකස් කිරීමෙහිලා පුරෝගාමිත්වය ගතයුතු පිරිසක් සිටිති. දේශපාලන නායකයන්, ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, සමාජ ව්‍යාපාර, සමාජ නායකයන්, බුද්ධිමතුන් ඒ අතර ප්‍රමුඛ ‍බව අමුතුවෙන් කිව යුතු නැත. මේ අය අවංක ලෙස ද, සුබවාදී ලෙස ද රටේ ජාතික ප්‍රශ්න විසැඳීමෙහි ලා කැපවීමක් කළ යුතුව තිබේ. එය කළ යුත්තේ යුතුකමක් හා වගකීමක් හැටියට සලකා මිස පෞද්ගලික වාසි - ප්‍රයෝජන තකා නොවේ. එහෙත් ඇතැම් නායකයන් හා ව්‍යාපාර සිය පාර්ශ්වයේ හා ආයතනවල වාසිය තකා තීන්දු -තීරණ ගන්නා බව රටේ සිදුවීම්වලින් හොඳට ම පැහැදිලි වෙයි. අප එසේ කියනුයේ හේතු - සාධක සහිතව ය.

ඊයේ පුවත්පත්වල විශාල අකුරෙන් සඳහන් වූයේ ත්‍රෛනිකායික මහා සංඝ සභාව නව ව්‍යවස්ථා සම්පාදනයට එක හෙළා විරුද්ධ බවකි. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවද, අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට අදාළ පනත ක්‍රියාත්මක නොකොට කල් දැමිය යුතු යැයි ද සංඝ සභාව කියා සිටී. සභාවේ යෝජනා ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයා වෙත භාරදීමට ද නියමිත ය. සංඝ සභාව තුළ පැවැති සාකච්ඡාවේ දී බෞද්ධ ජනතාවට හා බුදු දහමට අයුක්තියක් සිදුවන බවට ද සංවාද ඇති වී තිබේ. මෙහි දී මතුවන ගැටලු දෙකක් පවතී. පළමු ගැටලුව වන්නේ නව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ සියලු කරුණු සංඝ සභාව වටහාගෙන තිබේ ද යන්න ය. දෙවන ගැටලුව වන්නේ ජාතීන් අතර සංහිඳියාව හා සහජීවනය සම්බන්ධයෙන් සංඝ සභාව දරන මතය කුමක් ද යන්න ය.

ශ්‍රී ලංකාව තුළ ජාතීන් අතර ගැටලු සමූහයක් ඇති බව පළමුව වටහා ගත යුතුය. මෙය වටහා ගැනීම සඳහා අමුතු ශාස්ත්‍රයක් හෝ අලුත් විද්‍යාවක් හෝ අවශ්‍ය නැත. සිහි නුවණින් යුතුව ජීවත්වන හා සමාජය සමඟ ගනුදෙනු කරන ඕනෑම කෙනකුට තත්ත්වය තේරුම් ගත හැකි ය. මේ ගැටලුවට ඉතිහාසයක් ඇත්තා සේ ම විසැඳුම් යෝජනාවලට ද ඉතිහාසයක් තිබේ. යටත් විජිතයක් ලෙස පැවැති ශ්‍රී ලංකාවේ ද ජනවාර්ගික ගැටලුව පැවැතිණි. නිදහසින් පසු ශ්‍රී‍ ලංකාවේ ද ජනවාර්ගික ගැටලුව පැවැතිණි. යුද්ධයකින් පසුව ද අදත් එය එලෙසින් ම පවතී. මේ ගැටලුවත් සමඟ රට පෙරට ගෙන යෑම අපහසු ය. අන්තර්ජාතික සංවිධාන අපට පෙන්වා දෙන්නේ ජාතීන් අතර සංහිඳියාව හා සහජීවනය ඇති කිරීම ශ්‍රී ලංකාවේ පළමු වගකීම විය යුතු බව ය. මෙය අත්හැරිය හැකි සාධකයක් නොවේ.

නව ව්‍යවස්ථාවක් සම්මතකොට ජාතීන් අතර සංහිඳියාවට, සාමයට හා සහජීවනයට මාර්ග තහවුරු කිරීම වත්මන් ආණ්ඩුවේ වගකීමකි. එම වගකීම ඉටු කිරීමට රජය අංශ ගණනාවකින් ම බැඳී සිටී. එක අතෙකින් එය වත්මන් ආණ්ඩුවේ ඡන්ද පොරොන්දුවකි. බහුතර ජනතාව ඊට එකඟතාව පළ කර සිටිති. තව අතෙකින් ජාත්‍යන්තරය වෙත ආණ්ඩුව එම පොරොන්දුවම ලබා දී ඇත. ජිනීවා මානව හිමිකම් කොමිසම ඒ සඳහා නිශ්චිත කාලයක් ද ලබා දී ඇත. තවත් අතෙකින් රටේ සුළු ජන කොටස් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ඡන්දය ලබා දී ඇත්තේ ද මේ පොරොන්දුව සැලැකිල්ලට ගනිමින් ය. ආණ්ඩුවට නව ව්‍යවස්ථා සම්පාදනයෙන් කිසිසේත් ම මගහැර යා නොහැකි බව උක්ත කරුණුවලින් පැහැදිලි වෙයි. රටේ යහපත් වෙනසක් ඇති කිරීමට ද නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තුළ ද සමාජ හා දේශපාලනික ක්ෂේත්‍රය තුළ ද භික්ෂූන් වහන්සේ යනු ආයතනයක් සේ සැලකීම නිවැරැදි ය. උන්වහන්සේගේ බලපෑම පවතින්නේ ආගමික හා සාංස්කෘතික දේවල්වලට පමණක් ම නොවේ. සමාජය නායකත්වයෙන් ද ප්‍රභූත්වයෙන් ද යුතුව භික්ෂූන් ගෞරවණීය පිළිගැනීමකට ලක් කරන්නේ යැයි කීම නිවැරැදි ය. අතීතයේ සිට ම රටේ දේශපාලනයට හා තවත් බොහෝ දේවල්වලට භික්ෂූන් වහන්සේ සම්බන්ධ වූහ. අදටත් මේ තත්ත්වය පවතී. මෙයින් ගම්‍යමාන සැබෑ අරුත වන්නේ උන්වහන්සේලා වෙත විශාල සමාජ වගකීමක් පැවරෙන බව ය. මේ වගකීම ඉටු වන්නේදැ’යි අද කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. ව්‍යවස්ථාවට අදාළ සංඝ සභාවේ තීන්දුව දෙස බලනවිට පෙනී යන්නේ ඉහත කී ආකාරයෙන් ප්‍රශ්න කිරීම සාධාරණ බව ය.

නව ව්‍යවස්ථාවක් සම්පාදනයට අදාළ ව මහජන අදහස් විමසීමක් පසුගිය දා සිදු විය. ඊට මහජනයා ස්ව කැමැත්තෙන් ම ඉදිරිපත් වී අදහස් හා යෝජනා ඉදිරිපත් කළ බව ද දැකගන්නට ලැබිණි. මත විමසුමෙන් පැහැදිලි වන්නේ සියල්ලන් ම පාහේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව වටහාගෙන ඇති බව ය. සංවාදයක් පවතින්නේ ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු වගන්ති සම්බන්ධයෙන් ය. මේවා සාකච්ඡාවට ගෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සම්බන්ධ කමිටුවක් ද පත්කර තිබේ. එම කමිටුවට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජකත්වයක් තිබේ. ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමේ නීත්‍යානුකූල ක්‍රමවේදයක් ද පවතී. මෙය විවෘත හා විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකිය. මේ මගින් අපට ඉතිහාසයේ සදොස් තැන් නිදොස් කරගත හැකි ය.

ජනවාර්ගික ගැටලුවට විසැඳුමක් සෙවීමට ගිය බොහෝ අවස්ථාවල දී අපට වැරැදී ඇත. 1950 ගණන්වල, 1960 ගණන්වල, 1980 ගණන්වල පමණක් නොව; 2000 ගණන්වලදී ද අපට වැරැදිණි. යුද ජයග්‍රහණයෙන් පසුව ද අපට වැරැදිණි. මේ උදා වී ඇත්තේ අවසන් අවස්ථාව යැයි සිතන්නට පුළුවන. මේ අවස්ථාවද අපෙන් ගිලිහී ගියහොත් සිදුවන්නේ කුමක් ද? ජාතියේ මුර දේවතාවන් ලෙස සලකන ගෞරවණීය ස්වාමීන් වහන්සේලා මේ ගැන නැවත - නැවත කල්පනා කළ යුතු යැයි අපට සිතේ. ජාතිය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය ජය ගන්නට භික්ෂු සමාජය වෙතින් මීට වඩා බුද්ධිමය දායකත්වයක් ලැබිය යුතුය යන්න අපගේඅවංක කල්පනාව ය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...